යහපත් ක්‍රියා මගින් ජීවිතය කෙතරම් සාර්ථකත්වයක් ලඟා කළ ද ජීවිතයේ යහ මඟ පහදා දුන්නද ජීවිතය යනු කුමක්ද යන්න නියම ලෙස අර්ථය ගෙනහැර පෑවද බුදුදහම මෙලොව දියුනුවට මග නොපෙන්වන මෙලොව දියුණුව අඩාල කරන දහමක් ලෙස හඳුන්වන්නෝ ද මිහිපිට අඩුවක් නැත .
ඔවුන් බුදු දහම හඳුන්වනු ලබන්නේ පරලොව දියුණුවට මඟ පෙන්වන ලෝකෝත්තර සැපත ගැන උගන්වන දහමක් ලෙසයි .
එය තුල ඇති සාවද්‍ය වූ සහ අසාධාරණ වූ නිගමනයන් කෙසේද යන්න පැහැදිලි කිරීමට සිඟාලෝවාද සූත්‍රය පමණක් වුවද සෑහේ .දීඝ නිකායට ඇතුළත් ව ඇති මෙම සූත්‍රය අපේ පැරැන්නන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ගිහි විනය යන විශේෂ නාමයකින් .ඊට ප්‍රධානතම හේතුව වන්නේ ගිහි දිවිය හැඩ ගසා ගැනීමට විශාල මගපෙන්වීමක් එම සූත්‍රය හරහා සිදු වීමයි. එම සූත්‍රයේ ඇතුළත් කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිඟාල නම් තරුණයා ටයි.
සිඟාල නම් තරුණයා තම ආරක්ෂාව හා අභිවෘද්ධිය සඳහා ඉතා උදෙන් දිය නා පිරිසිදු වී නැගෙනහිර, දකුණ, බටහිර, උතුර ,යට ,උඩ, යන දිශාවන්ට නමස්කාර කළා .එය මිත්‍යා විශ්වාසය පදනම් කරගත් නිෂ්ඵල ක්‍රියාවක් බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, නිවැරදි ලෙස දිසා නමස්කාරය කිරීම නම් තමා හා සම්බන්ධ සමාජ කණ්ඩායම් හයකට යුතුකම් ඉටු කිරීම යැයි දේශනා කළ සේක.එය ශාසනික සදිසා නමස්කාරය හෙවත් ඡද්දිසා පටිච්ඡාදණ ය යනුවෙන් හැඳින්වේ.
ශාසනික වශයෙන් සදිසා නමස්කාරය කරන පුද්ගලයා විසින් බැහැර කළ යුතු පව්කම් දාහතරක් ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. චුද්දස පාප නමින් එසේ දක්වා ඇත්තේ පුද්ගලයෙකුගේ චරිතයක දක්නට ලැබෙන දුර්වලකම් හෙවත් ලාමක ධර්ම දාහතරකි. ඒවා කොටස් තුනක් වශයෙන් සිඟාලෝවාද සූත්‍රයෙහි දී විග්‍රහ කරයි
සතර කර්ම ක්ලේශ
සතර අගතිය
භෝග විනාශ මුඛ සය යනු එම කොටස් තුනයි.
චතුර්විධ වූ කර්ම ක්ලේශ නම්
ප්‍රාණඝාතය
අදත්තාදානය
කාම මිථ්‍යාචාරය
මුසාවාදය යි .
එනම් ජීවිත විනාශ කිරීම, සොරකම, සමාජයට හා සමාජ ආචාර ධර්ම වලට පටහැනි කාමාස්වාදය හි යෙදීම, සහ බොරු කීම,යි. මෙම සතර කම්ම නමින් හඳුන්වනු ලැබ ඇත්තේ ඒවා පුද්ගලයෙකුගේ චරිතයන් කෙළෙසන කිළිටි කරන කරුණු නිසයි. මේ චතුර්විධ කර්ම ක්ලේශයන් ගෙන් ඈත් වීම නම් පංචශීලයෙහි මුල් ශික්ෂා පද හතර ආරක්ෂා කිරීමයි. පස් වන ශික්ෂා පදයට අදාල මත් වන දෑ ගැනීමෙන් වැළකීම සඳහන් වන්නේ භෝග විනාශ මුඛ ගැන සඳහන් කෙරෙන අවස්ථාවේ දීය.
සතර අගතිය නමින් දක්වා ඇත්තේ පුද්ගලයා අසාධාරණකම් වලට අකටයුතුකම් වලට පොළඹ වන කරුණු 4 කිනි. එනම් ඡන්ද, දෝෂ, භය, මෝහ, යන හතරයි.
ඒවා අගති ලෙස නම් කර ඇත්තේ පුද්ගලයා නොමඟ යන කරුණු බැවිනි. ඡන්ද නම් කැමැත්තයි.
කෙනෙකු පිළිබඳව ඇති නෑදෑකම් හිතවත්කම් ආදිය සලකා කටයුතු අසාධාරණ ලෙස කිරීම ඡන්දයෙන් අගතියට යෑමවේ. වඩා සුදුසුකම් ඇත්තකු සිටියදී සුදුසු නැති තම හිතවතකුට ඥාතියකුට තනතුරක් ලබා දීම ඡන්දයෙන් අගතියට යෑම යි. පක්ෂපාතකම ඇත්තකු වැරදිකරුවා බව පැහැදිලිවම පෙනෙද්දී ඔහු නිවැරදි කරුවකු ලෙස පත් කිරීම වැනි අවස්ථාවන්වලදී දක්නට ලැබෙන්නේ ඡන්දයෙන් අගතියට යෑම යි.
යමෙක් පිළිබඳව ඇති අමනාපයක් නිසා ඔහුට අසාධාරණයක් කිරීම ද්වේෂයෙන් අගතියට යෑම යි .යම් කිසි පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ඇති බිය නිසා කළ යුත්ත නොකිරීමෙන් භයෙන් අගතියට යාමයි.
මෝහයෙන් අගතියට යෑම නම් කරුණු හරිහැටි වටහා ගැනීමට නොහැකිව මුළාවීමයි. මුලා කිරීම් වලට අසු වී අසාධාරණකම් කිරීමයි. මේ කවර කරුණක් නිසා හෝ අකටයුතුකම් කරන තැනැත්තෙක් අව පක්ෂයේ සඳ මෙන් යසසින් පිරිහෙන බවත් අගතිගාමී නොවන්නා පුර පක්ෂයේ සද මෙන් යසසින් සම්පූර්ණ වන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
භෝග විනාශ මුඛ නමින් දක්වා ඇත්තේ පුද්ගලයකු ගේ චංචල දේපල හෙවත් සම්පත් විනාශ වීමට හේතුවන කරුණු 6 කි හයකින්. එහිදී සම්පත් පරිහරණය කළ යුතු ආකාරය සඳහන් කර ඇති අතර ඒ අනුව උපයන ධනය කොටස් හතරකට බෙදුවොත් එයින් එක් කොටසක් පරිභෝජනය ටත් දෙකොටසක් ආයෝජනයටත් වෙන් කළ යුතු අතර එක කොටසක් විපත් කරදර අවස්ථාවන්හිදී ප්‍රයෝජනය ගැනීම සඳහා ඉතිරි කළ යුතුය. මේ සැලැස්ම ක්‍රියාත්මක කළ හැක්කේ භෝග විනාශ මුඛ වලට හසු නොවී සිටියහොත් පමණක් බව ද දේශනා කර ඇත .භෝග විනාශ මුඛ හය මෙසේ නම් කරමු.
මත්ද්‍රව්‍ය භාවිතය
අවේලාවේ වීථි සංචාරය
සමජ්ජාභිචරණය
දූ කෙළිය
පාප මිත්‍ර සේවනය
අලසකම
දියර ලෙස හෝ කුඩු ලෙස හෝ පෙති ලෙස හෝ දුම් ලෙස ඇති සෑම ආකාරයේම මත් වන දෑ ගැනීම භෝග විනාශ මුඛ යකි . එයින් සිදුවන්නේ බෝග විනාශය පමණක්ම නොවෙයි මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව හයක් දක්වා ඇත. ධන හානිය, කලකෝලාහල ඇතිවීම, ලෙඩ රෝග බහුල වීම ,අපකීර්තියට භාජනය වීම, විලි බිය නැති වීම, හා නුවණ දුර්වල වීම යනු එම ආදීනව හයයි.
අවේලාවේ වීථි සංචාරය නම් නුසුදුසු වේලාවන්හි නිකරුනේ මහමග ගැවසී මයි. එහිද ආදීනව හයකින් තමාගේ ආරක්ෂාව නැති වීම තමා හා අඹු දරුවන්ගේ ආරක්ෂාව නැති වීම ,තම සම්පත් වල ආරක්ෂාව නැති වීම, වැරදි ක්‍රියාවන් පිළිබඳව සැකකටයුතු පුද්ගලයකු බවට පත්වීම, බොරු චෝදනා වලට ගොදුරු වීම , හා තවත් නොයෙකුත් කරදර වලට මුහුණ පෑමට සිදු වීම යන මේවා අවේලාවේ වීදි සංචාරය කිරීමෙන් ඇතිවන අනතුරු යි
සමජ්ජාභිචරණය නම් විනෝදය සපයන තැන් සොයමින් ඒ සඳහාම සඳහා ම කාලය ගත කිරීමයි. එසේ නැටුම් ගැයුම් වැයුම් ආදිය ඇති සන්දර්ශන ස්ථාන කරා නිතරම යෑමට සහ ගැවසීමට පුරුදු වීම නිසා කාලය අපතේ යන අතර ධනය ද විනාශයට පත්වේ .
දූ කෙළියේ හෙවත් සූදුවේ ආදීනව හයක් ඇත දිනූ විට සතුරන් ඇති වීම පැරදුනු විට හිතේ ශෝකය ඇතිවීම ධනය විනාශ වීම විශ්වාස නොකරන පුද්ගලයකු බවට පත්වීම අවමානයට ලක්වීම විවාහ ජීවිතයකට නුසුදුසු පුද්ගලයෙක් බවට පත් වීම යනු ඒ හය වෙයි
පාප මිත්‍රයන් ඇසුරු කරන්නා සුදු කාරයින්ට සල්ලාල ජීවිත ගත කරන්නන්ට වංචනිකයන්ට අපරාධකාරයින්ට හසුවී තමනුත් එම තත්ත්වයට පත්වීම සිදු වන්නකි. විවිධ කරදර වලට භාජනය වී සම්පත් විනාශකර ගනී.
අලස පුද්ගලයාගේ ද ලක්ෂණ බොහෝ ඇත. සීතල නිසා උදාසීන වීම උෂ්ණය නිසා උදාසීන වීම අලුයම නිසා උදාසීන වීම හවස් වීම නිසා උදාසීන වීම කුසගින්න නිසා උදාසීන වීම හා ආහාර ගත් පසු උදාසීන වීම ඔහුගේ ලක්ෂණ වේ එබඳු පුද්ගලයා හැම විටම තැත් කරන්නේ කුමන හෝ හේතුවක් ඉදිරිපත් කරගෙන කළ යුතු දේ කල් දැමීමයි. ඔහුට අලුතින් උපදින ධනයක් නැත .සන්තකයේ පැවති ධනයද විනාශ කර ගැනීමට ඔහු පෙළඹේ .
මෙතෙක් සඳහන් කළ දුසිරිත් හා දුබලතා වලින් පුද්ගලයා බැහැර විය යුතු බව අපට අවබෝධ විය යුතුය .බුදුරජාණන් වහන්සේද දේශනා කළේ එය මයි. මේ පව්කම් පුද්ගලයාගේත් සමාජයේත් පිරිහීමට හේතුවන කරුණු බව බුද්ධිමත්ව සිතා බලන ඕනෑම කෙනෙකුට පැහැදිලි කරුණක් බවට පැහැදිලි වේවි .
බුදුරජාණන් වහන්සේ විසින් මෙම කාරණා බැහැර කළ යුතු යැයි දේශනා කරන ලද්දේ එසේ කිරීම හුදෙක් ම පරලොව දියුණුව පිණිස හේතු වන නිසාම නොවේ. මෙලොව දියුනුවට ද අවශ්‍යයෙන් ම එය හේතුවක් වන නිසාමය.
බුදුදහම මෙලොව දියුණුව ලෙස සලකන්නේ ආර්ථික දියුණුව පමණක් ම නොවේ.සදාචාරාත්මක දියුණුව අවශ්‍යම අංගයක් ලෙස සලකයි. සමාජීය පාරිසරික සෞඛ්‍ය දියුණු ආදිය ගැන ද එහි අවධානය යොමුකර ඇත. මේ සෑම ආකාර දියුණුවකට ම ඉහත සඳහන් දුසිරිත් බාධා කරයි.
වර්තමාන සමාජයේ බොහෝ ගැටලුවලට හේතු වී තියෙන්නෙ මිනිසා පව්කම් වලට ගොදුරු වීමයි. අපරාධ බහුල වීම සමාජයේ මුහුණපා ඇති ප්‍රධානම ගැටළුවයි .සතර කර්ම ක්ලේශයන් ගෙන් පුද්ගලයන් බැහැර වන්නේ නම් අපරාධ විශාල ප්‍රමාණයක් අඩු වෙයි. ජීවිත විනාශ කිරීම සොරකම් ස්ත්‍රී දූෂණ ඇතුළු විවිධ කාමාපරාධ පුද්ගලයන් බොරුවෙන් රැවටීම බොරු පැමිණිලි සාක්ෂි දීම ආදී කිසිවක් කර්ම ක්ලේශයන් ගෙන් වෙන් වුණු සමාජයක පැවතිය නොහැකිය. සැකෙන් බියෙන් තොරව ජීවත් විය හැකි සමාජ පරිසරයක් ගොඩ නැගෙන්නේ මේවායින් ඉවත් වූ පසුවයි.
මාරාන්තික වූ සමාජ රෝග වලින් නිදහස් වීමට ද කර්ම ක්ලේශයන් දුරු කිරීම උපකාර වෙයි. මත්ද්‍රව්‍ය භාවිතය විසින් අද සෞඛ්‍ය ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න පවුල් ප්‍රශ්න සාමාජික ප්‍රශ්න සදාචාර ප්‍රශ්න ආදිය නුහුරු වූ සමාජයක් නිර්මාණය කර ඇත. එම භෝග විනාශ මුඛයෙන් දුරුවන්නේ නම් සමාජ ගැටලු රැසකටම පිළිතුරු ලැබෙයි .
ඇසුරට සුදුසු කල්‍යාණ මිත්‍රයන් හිඟවීම නිසා පාප මිත්‍රයන් බහුල වීම නිසා සිදු වන්නේ පුද්ගලයාත් සමාජයත් පරිහානියට පත් වීමයි. වැරදි ඇසුර නිසා නොමග ගොස් සමාජයට මුහුණදිය නොහැකිව සියදිවි හානි කරගන්න වුන් පිළිබඳව අපට අසන්නට කියවන්නට බොහෝ ලැබේ .පාප මිත්‍ර ආශ්‍රයෙන් වෙන් වීම ඊට එක්තරා පිළියමක් ද සපයයි.
අසාධාරණකම් අකටයුතුකම් පළි ගැනීම් ආදිය ඇති වන්නේත් ඒවා මුල් කරගෙන කැරලි ගැසීම් ඇතුළු විවිධ ගැටළු මතු වන්නේත් පුද්ගලයා අගතියට යෑම නිසයි.
සතර අගතියෙන් වෙන්වන්නේ නම් එබඳු ගැටලු රැසක් විසඳෙයි. යුක්තිය සාධාරණය ඉටු වන සමාජයක් බිහිවේ. මේ ආකාරයෙන් සලකා බලන විට සිඟාලෝවාද සූත්‍රයෙහි සඳහන් පාප ධර්මයන්ගෙන් වෙන් වීම, විවිධ සමාජ ගැටලු විසඳාගැනීමට බෙහෙවින් උපකාර වන බව අපට තේරුම්ගත හැකි සරලම කාරණාවක්.
එසේනම් බෞද්ධ ඉගැන්වීම් වලින් දෙලොවටම වැඩක් ඇතැයි පැවසීම සාධාරණයි කියා හිතන්න. ශක්තිමත්ව අනාගතය සකස් කර ගන්න.
යහපත් හෙටක් උදා කර ගන්න…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood