නිහතමානී කම බබලන ආභරණයක්….
ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබෙන ඉවසීම වගේම නිහතමානීකම කියන්නෙම අපි ප්‍රගුණ කළ යුතුම අයිතමයන්…
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන් වෙන්නෙ මහා හාස්කමක් විදිහටයි…
එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න, ගැටලු වලදී තිසරණයේ බලය,පිහිට, අප ලබා ගන්නේ කොහොමද..
අසුර බලය පස්සේ දුවන්න සමහරු පෙලඹෙන්නේ, ඒ අයට අටලෝ දහමට මුහුණ දෙන්න බැරුවයි. ඒකට ඉවසීම අවශ්‍යයි. සාංසාරික වශයෙන් පිං උරුම නැති කෙනාට, තිසරණයෙන් පිහිටක් ගන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි, මේ අසුර බලය පස්සේ දුවලා තමන්ගේ ඉදිරි සංසාරයත් සමහරු අවුල් කරගෙන ඉවරයි. කෙනෙක් මනාකොට තිසරණයේ පිහිටාගෙන, ගුණධර්ම රැකගෙන ධාර්මික ජීවිතයක් ගෙන යනවා කියලා අපි හිතමු. ඒ මතයි එයාට පිහිට තියෙන්නේ. මෙතැනදී ගුණ ධර්ම ඉතා වැදගත්. දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරුන්ට මේ ලෝකයේ පුද්ගලයෝ එක්ක සම්බන්ධ වෙන්න නීත්‍යානුකුල සම්බන්ධයක් තියෙන්න ඕනේ… දෙවියන් සම්බන්ධ වෙන්නේ දිව්‍ය ගුණත් එක්කයි. මනුෂ්‍යයාට තියෙන්න ඕනේ දිව්‍ය ගුණ. එහෙම දිව්‍ය ගුණ තියෙන මනුස්සයා සමඟ දෙවියන් සම්බන්ධ වෙනවා. දිව්‍ය ගුණ පදනම් වෙලා තියෙන්නේ, ඉවසීමයි, නිහතමානීකමයි එක්ක. යමෙක් ඉවසන්නේ නැත්නම්, නිහතමානී නැත්නම් ඒ පුද්ගලයාට දිව්‍ය ගුණ ඇතිවෙන්නේ නැහැ. යම් අයෙකුට දිව්‍ය ගුණ පිහිටා තිබෙනවා නම් එයාට, දෙවියන්ගේ පිහිට ඉල්ල ඉල්ල ඉන්න දෙයක් නැහැ… එයාට දෙවි පිහිට නිකම්ම ලැබෙනවා.
කෝවිලකට ගිහිල්ලා බාරහාර වෙලා සමහරු බලාපොරොත්තු වෙන්නේ මේ දෙවි පිහිට… ඒ තැන්වලින් පිහිට ලැබිලා තමන්ගේ ප්‍රශ්න විසඳුනා කියලත් සමහරු කියනවා…
මේ තත්ත්වය සංකීර්ණයි. යමෙක් කෝවිලකට ගිහිල්ලා පිහිටක් ඉල්ලනවා. එයාගේ මිසදිටු ඥාතිවරයෙක් ඉන්නවා කියලා හිතමු. ඒ ඥාතිවරයාට අවස්ථාවක් තියෙනවා මෙයාට උදව් කරන්න. ඒ සඳහා ඥාතිවරයාට එන්න විදිහක් නැතුවයි ඉන්නේ. කෝවිලේ කැඹුරුමක් තමයි ඥාතිවරයාට තියෙන්නේ, මෙයා කෝවිලට ගිහිල්ලා මාලේ දාපු ගමන් ඥාතිවරයා උදව් කරනවා. කෝවිලේ දෙවියන්ගෙන් මට උදව් ලැබුණා, තිසරණයෙන් මට උදව් ලැබුණේ නැහැ කියලා එයා රැවටෙනවා. නමුත් උදව්ව ලැබුණේ ඥාතියාගේ කැඹුරුමකින්… ඒ සඳහා කොයි විදිහට, කොයි වෙලාවේ වන්දි ගෙවන්න වෙයිද කියලා එයා දන්නේ නැහැ. මේ නිසා දෙවියන්ගේ පිහිට ලබා ගන්න නම් ධර්මය පිහිට කරගෙන ඉවසීමෙන් තමන්ගේ ගමන යන්න ඕනේ.
සමහරුන්ට මේ ඉවසීම නැහැ. අෂ්ට ලෝක ධර්මයට මුහුණදීම ලෙහෙසි පහසු කාරණයක් නෙමෙයි. ඒ සඳහා හොදට ඉවසලා පුරුදු වෙන්න ඕනේ. අනිත් එක උපායශීලි වෙන්න ඕනේ. කිසිදෙයක් එකපාරට ළඟට එන්නේ නැහැනේ…
මේ උපාය සහ ඉවසීම සඳහා හොඳ උදාහරණයක් …
එක අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මට ප්‍රශ්න දිගටම එනකොට ඒ අම්මා කළේ පිරිත් කියන එක. දිගටම පිරිත් කියන්න ගත්තා. ඊට පස්සේ ඒ අම්මාගේ ප්‍රශ්න විසඳෙන්න ගත්තා. මම හිතන්නේ ඒ අම්මට දෙවි කෙනෙකුගේ උපකාරයක් ලැබෙන්න ඇති. ඒ අම්මා වෙන දෙයක් ගැන විශ්වාසය නොතබා ඒකම කරගෙන ගියා. ඒ අර්බුද කොඩිවිනයක් හරහා නාවොත් මේ විදිහට ජයගන්න පුළුවන්. නමුත් කොඩිවිනයකින් ඇතිවෙච්ච අර්බුදයක් නම් ඒක කපන්න ම වෙනවා. කොඩිවිනයක් කරනවා කියන්නේ මනුෂ්‍යයෙකුට හානි කරනවා කියන එකනේ… හානි කියන්නේ ඒ පුද්ගලයාගේ ධනය නැතිවෙනවා, සෞඛ්‍යය පිරිහෙනවා, කීර්තිය, යසස නැතිවෙනවා, මේ ඔක්කොම නැතිවුණාට පස්සේ තමයි සමහරු බලන්නේ මට මොකද වුණේ කියලා… ඊට පස්සේ හොයලා බලනකොට කොඩිවිනයක්. ඒක කපන්න ගියහම ලක්ෂ ගණන්වලින් සල්ලි ඉල්ලනවා. සමහරු ඒ වැඬේ කරන්න දන්නේ නැහැ, රැවටිලිකාර පිරිස්… එතකොට සිද්ධවෙන්නේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ දෙයක්. අන්තිමට ණය වෙලා, රස්සාවත් නැතිකරගෙන, පාරට ම වැටෙන්න වෙනවා. අද සමහරුන් අත් විඳින්නේ මේ වගේ දේවල්.
කොඩිවින කියන වචනය අහලා තිබුණාට, අපේ සමාජයේ බොහෝ දෙනෙක් මේ කොඩිවින කියන දෙය ගැන හරියාකාරව දන්නේ නැහැ
අපි දෙවියන්ට ප්‍රිය ගතිගුණවලින් යුක්ත නම් විතරයි අපිට ගැලවුමක් තියෙන්නේ. අසත්පුරුෂයාට ඉෂ්ඨ දේවතාවා පිහිටන්නේ නැහැ. අසත්පුරුෂයා කරන්නේ අසුර බලය නම්ම ගන්න එකයි. ඔහු විනාශ වෙන්නෙ ම ඒකෙන්.
කොඩිවින කරන මනුෂ්‍යයෙකුට කල්ප ලක්ෂ ගණනකට ආයෙත් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ නැහැ. යතොත් නිරයේ එහෙම නැත්නම් සතර අපායේ තමයි. කොඩිවින කරන කෙනෙකුට සතර අපායෙන් තොර ගමනක් නැහැ.
දෙවිවරුන්ගේ කරුණාව, බැල්ම ධර්මානුකුලව සිටින පුද්ගලයාට ලැබෙන බව අපි අසා තිබෙනවා. ධර්මානුකුලව සිටිමින් මේ දේව කරුණාව ලබා ගන්නා ආකාරය හරි අපූරුයි.
අපට පැහැදිලියි, බුද්ධ ශාසනයත් එක්ක දෙවිවරුන්ගේ සම්බන්ධයක් තියෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේනේ..
ඒ වගේ ම ධර්මයේ හැසිරෙන පිරිසත් එක්ක දෙවිවරු ගොඩක් සම්බන්ධයි. ඒ වගේ ම තිසරණයේ පිහිටලා හොඳට සීලාදී ගුණ රැකගෙන වාසය කළොත් එයාව ආරක්ෂා කරනවා කියලා දෙවිවරු පොරොන්දු වෙලා ඉන්නවානේ. ඒ විදිහට දෙවිවරුන්ගේ ගොඩක් සම්බන්ධකම් තියෙනවා.
අද අමනුෂ්‍ය ග්‍රහණය බලවත්. සමහර අය අවසාන මොහොතේ නිකන් තෝන්තුවෙන් වගේ කියනවා “අන්න අසවලා ආවා.. අන්න පුංචි අම්මා ආවා… මට අඬගහනවා..” කියලා. මේ වගේ දොඩවනවා. එතකොට ගෙදර අය මේක විහිලුවට ගන්න හොඳ නෑ. ඒ වෙලාවට එයාගේ ඔලුවට අත තියලා කියන්න ඕන “එහෙම නම් අම්මාව බුදුරජාණන් වහන්සේට භාරයි, ධර්මරත්නයට භාරයි, සංඝරත්නයට භාරයි. ගෞතම ශාසනය කෙරෙහි සිත් පහන් වූ සම්‍යයක් දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව අම්මාට ලැබේවා..” කියලා. එතකොට අර විදිහට යම් බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම බයවෙනවා, එයාව දැක්කා කියලා. මොකද, ඒගොල්ලෝ ගොඩාක් ළංවෙන්නේ ඒ අයව අපට පේන්නේ නෑ කියලා හිතලයි. කවුරු හරි කෙනෙක් එකපාරට කිව්වොත් “එහෙම කරන්න එපා..” කියලා එතකොට ඒ අය හිතනවා අපිව දැක්කා කියලා. එතකොට ඒගොල්ලෝ මග හරිනවා. ඒ වගේ දේවල් හරි පුදුම විදිහට තියෙනවා. සමහර අමනුෂ්‍යයෝ මිනිස්සු කන බොන දේවල්වල රසය උරා ගන්නවා. තවත් සමහර අමනුෂ්‍යයෝ මිනිස්සුන්ගේ ඇඟවලට රිංගලා ඇඟවල්වල ඉඳලා ජීවත් වෙනවා.
ඒකෙන් අපට එකක් තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි මේ සියල්ල අනාත්මයි කියලා. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ යම්කිසි ශක්ති සම්පන්නභාවයක් තිබුණා නම් එහෙම වෙන්නේ නෑනේ. එච්චර ඕන නෑ, එක්ස්රේ එකකට පුළුවන්නේ මේ ශරීරය හරහා යන්න. ඒ වගේ මේ ශරීර හරහා යන්න භූතයන්ට පුළුවන්. හැබැයි, අපේ පින් බලයෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ.
බුද්ධ දේශනාවේ තියෙනවා අපට ශරීර තුනක් තියෙනවා කියලා. එකක් මේ භෞතික ශරීරය. අනිත් එක මානසික ශරීරය. අනිත් එක සඤ්ඤාමය ශරීරය. සමහර අයගේ කර්මානුරූපව මානසික ශරීරයේ සිදුරු තියෙනවා. භූතයන්ට ගොඩක් වෙලාවට පේන්නේ මේ භෞතික ශරීරය නෙවෙයි, මානසික ශරීරයයි. ඒකයි ගොඩක් භූතයෝ බණ භාවනා කරන අයට කරදර කරන්නේ. මොකද, බණ භාවනා කරන කොට එයා මනස එකඟ කරනවානේ. ඒ විදිහට එකඟ කරන කොට එයාට තමන්ගේ බලය පවත්වන්න බැරුව යනවා. කුසලය පින කියන්නෙ ම අපි වැඩිය යුතු හා පැවැත්විය යුතු කාරනා…ඒ නිසාම අපට ජීවිතේ සුබ සිද්ධි ලඟා කර ගන්න ඒවා ඉවහල් වෙනවා..
දැහැමෙන් සෙමෙන් යන ගමන ඉතා සාර්ථක ඒකයි…..
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood