Temples of Sri Lanka

පින් සිතිවිලි රජයන උතුම් නිකිණි පුර පසලොස්වක පෝ දිනක් වේවා ඔබ සැමට…

කැලඹෙන රිදෙන මිනිසත් ජීවිත වලට
හිතසුව ගෙනෙන සුභ දිනයක උදාවට
ගරුකොට පුදමි ලෝසත සුවපත් වන්ට
නිකිණි පොහොය සමගින් දුක් දුරු වන්ට

දිනෙන් දින නොව මොහොතින් මොහොත වැඩිවන ලෝක ජනගහනයට අනුව පෘථිවි තලය වැඩි වීමක් සිදුවන්නේ නැත .

එහෙත් වැඩි වන ජනගහනයට ඉඩදෙමින් ගස්වැල් පොළොව තලයෙන් සමුගනී. සමුගන්න වාම නොවේ. මිනිසා විසින්ම තමාට අභිමත ලෙස එහෙත් සොබාදහමට අහිතකර ලෙස ඒවා කපා කොටා විනාශ කිරීමෙන් විශාල වනාන්තර අතුරුදන් වීම සිදු වේ. මේ මහා වන විනාශය තුළ පෙර කාලයේ පැවති දේශගුණික තත්ත්වයන් දැන් දැකිය නොහැකිය.

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ විසූ කාලයේ නිකිණි මාසය හෙවත් අගෝස්තු මාසය වස්සාන සෘතුවේ දෙවන මාසය විය. වෙසක් පොසොන් වැනි මාස වල තද වැසි නොලැබෙතත් ඇසළ නිකිණි මාස වැසි ලැබෙන මාස විය. තද වැසි ලැබී මහපොළොව මොළොක් වෙයි. ඉදිරියේ එන බිනර වල සිට පටන් ගන්නා ගොවිතැනට මහපොළොව සූදානම් කරයි.

කෘෂි ජීවිතය හා බැඳුණ නිකිණි මාසයේ ස්වභාවය එය වුවත් බෞද්ධ ශාසන ඉතිහාසය හා බැඳුණු නිකිණි මාසය පිළිබඳව දත යුතු තවත් බොහෝ දේ වෙයි මේ කාලයේ සූර්යයා සිංහ රාශියේ ගමන් කරන බව ජෝතිෂ්‍ය මතයයි.

මිනිසා ගහ කොළට ආදරය නොකිරීම නිසාත්, පරිසරය පෝෂණය නොකල නිසාත්, පසු කාලයේ මේ සුන්දර මාසය “කිණි”හෙවත් වැස්ස ” නි”හෙවත් නැති මාසය බවට පත්විය. ගංගා වැව් පොකුණු ඇළ දොළ බොහෝ විට සිදී යයි .වැව් ආශ්‍රිත ප්‍රදේශවල ජනයා වැව අලුත්වැඩියා කිරීම වැව් මාළු අල්ලා වෙලා ගැනීම ආදියට මේ මාසය යොදා ගනිති.

බුදුන් ජීවමාන කාලයේ දී වැඩි වශයෙන් පිණ්ඩපාතයෙන් යැපුන භික්ෂූන් වහන්සේලා වැසි කාලයේ දොරින් දොර පිඬුසිඟා යාම මහජනයාට කරදරයක් විය.

බුද්ධ ධර්මයේ මූලික අනුශාසනාවක් නම්, අනුන්ට කරදරයක් නොකර ජීවත් වීමයි. තම ශ්‍රාවක සංඝයා ගේ පිණ්ඩපාත ගමන ජනයාට කරදරයක් වන්නේ යැ යි ඇසූ බුදුරජාණන් වහන්සේ, වැසි කාලය තුළ විහාරාරාම තුළ රැඳී සිටින ලෙසත්, ධර්ම ප්‍රචාරය සඳහා හෝ ගෙයින් ගෙට ගමින් ගමට නොයන ලෙසත් භික්ෂූන් වහන්සේලාට අවවාද කළහ.

ඒ අනුව භික්ෂූන් වහන්සේ කෙනෙකුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, සපයමින් ස්ථානයක රඳවාගෙන උපස්ථාන කිරීමේ චාරිත්‍රය ඇති වීම මෙයින් ආරම්භ විය.

එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම බොහෝ විට ඇසළ පෝය දවසේ සිදුවිය. ඇසළ පෝය දවසේ වස් විසීම පෙර වස් විසීම වූයේ එම පෝයටවත් සිටිය නොහැකි වූ භික්ෂූන් වහන්සේලා නිකිණි පෝ දිනයෙන් පසු සිටීමට පුරුදු වූ නිසාය. නිකිණි පෝය පසු වස් සිටිනා පෝ දිනය සේ නම් කෙරිණි.

බෞද්ධ ශාසන ඉතිහාසයේ නිකිණි පොහෝ දිනයේ වැදගත් සිදුවීම් මෙසේයි ..

ධර්ම භාණ්ඩාගාරික වූ ද බුදුරජාණන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ව සිටියා වූ ද ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවය ලැබුවේ අද වැනි නිකිණි පෝදාකය

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි, යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සත්ව පරණ ගුහා ද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වූයේ අද වන් වූ උතුම් නිකිනි පුන් පෝ දිනයේදීය.

බුදුරජාණන් වහන්සේ සිය 14 වන වස් කාලය ශ්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙරේ වැඩ සිටිමින් සිටියදී ,රාහුල තෙරණුවන්ට “රාහුලෝවාද සූත්‍රය” දේශනා කරමින් සිටින අතර එම සූත්‍රයට දැඩි උවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත් භාවයට පැමිණියේ ද අද වන් වූ උත්තරීතර නිකිණි පොහොය දිනයකදීය

වස් විසූ භික්ෂූන් වහන්සේ කෙනෙකුට වස් සමය අවසන් වනතුරු පිට යා නොහැකි නමුත්, වස් ස්ථානයෙන් පිට වී සතියක් ඇතුලත ආපසු පැමිණිය හැකි නම්… එවැනි ගමන්වලට අනුමැතිය දීම බුදුරජාණන් වහන්සේ අනුමත කළ දිනය ද මෙදින ලෙස සඳහන් වී ඇත

වස්සාන කාලය ලෙස නිකිණි පොහොය ට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් නිධන් කර , සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහොය දිනකදී සිදුවිය. එමෙන්ම සේරුවාවිල පෙරහැර පැවැත්වෙන්නේ ද ඒ හා සමානව නිකිණි පෝයත් සමඟම වීමද තවත් සුවිශේශීය.

බෞද්ධයා දොළොස් පෝය ම පින් දහම් කිරීම සඳහා යොදාගෙන ඇති බැවින්, ඒ පුණ්‍ය චේතනා පෙරදැරි කොට ගෙන දිවයිනේ බොහෝ වෙහෙර විහාර වල මෙදින පින්කම් පැවැත්වීම සිදු කෙරෙන බව අප දන්නා සත්‍යයකි.

තුන්ලෝකාග්‍ර වූ අමා මෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ මහිමය මෙනෙහි කරමින් ලෝක සත්වයා වෙත කරුණාව.. දයාව.. සමානාත්මතාවය.. සහ සහජීවනය… පතල කරමින්, දැහැමි ආකල්පයෙන් හා දැහැමි චින්තනයෙන් ගතකරන්නට , නිකිණි පුර පසළොස්වක් පෝ දිනය…. සිතිවිලි පිනෙන් ආලෝකමත් වූ සුබ දවසක් වේවා !!!

සියලු සත්වයෝ නිදුක්,නීරෝගී,සුව ජීවනයෙන් වසත්වා!!!

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X