Temples of Sri Lanka

විජ්ජා බලයෙන් තොරවූ චතුර් වෛශාරද්‍ය මහිමය…

භාරත සමාජය තුළ මුල් බැසගෙන තිබූ මිථ්‍යා විශ්වාස ඇදහිලි හා පුද සිරිත් මිනිසා තුළින් බැහැර වන්නට වූයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව හා ඊට අදාල වූ ක්‍රියා පිළිවෙත් නිසාය.

මිනිසාගේ විමුක්තිය සාදා දිය හැක්කේ බ්‍රහ්මයා විසින් ලෝකයට පහළ කරන ලද බමුණු පූජකයන් විසින් නොවේ. තමාගේ විමුක්තිය තමා විසින්ම ලබනවා මිස අන් කිසිවෙකුට එය ලබා දිය නොහැකි බවත් ශාස්තෘවරයකු විසින් කළ හැක්කේ විමුක්ති මාර්ගය පැහැදිලි කර දීම පමනක් බවත් පිරිසුදු බව හා අපිරිසුදු බව තමා පිළිබඳවමයි යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ශාස්තෘවරයකු වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට උන්වහන්සේ හැම සුදුසුකමක් ම ලබා සිටි සේක බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ තමන් වහන්සේ විසින් ම යි .ලෝකයේ යථා තත්ත්වය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත් උන්වහන්සේට ඒ පිළිබඳ සැකයක් හෝ විමතියක් හෝ නොවූ යේය ඒ නිසාම ශාස්තෘවරයකු වශයෙන් මිනිස් සමාජය ඉදිරියේ සත්‍ය ප්‍රකාශ කිරීමට උන් වහන්සේ කිසිවිටෙකත් පසුබට නොවූ සේක

රජ මාලිගාවක ඉපිද, රජ සැප විඳ, රජ සැප කෙරෙහි කලකිරී තවුස් දිවියක් ගෙවමින් සය වසක් දුෂ්කර ක්‍රියා කොට එම පිළිවෙත් ද අත්හැර දමමින් මැදුම් පිළිවෙතට පිවිසීමෙන් සත්‍ය අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගැනීමට ලෝකවාසීන් පෙළඹුන ප්‍රබලතම කාරණයක් බවට පත්විය

සමාජයේ පැවති කුල භේද පන්ති භේද ගැන නොසැලකු උන් වහන්සේ සංඝ සමාජය තුළින් එවැනි වර්ග වාදයන් ඉවත් කොට තමා අනුශාසනා ඒ ආකාරයට ක්‍රියාවෙන් ඔප්පු කළ සේක බුදු දහමේ පිහිට සෑම දෙනාටම එක සේ ලබා ගැනීමට ඉඩකඩ සලසා දුන් සේක තමන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වීමට කැමති ඕනෑම කෙනෙකුට බුද්ධ ශාසනයට ඇතුළු වීමට කිසිදු අවහිරයක් නො තිබිණි යථාවාදී තථාකාරී ගුණය බුදුරජාණන් වහන්සේගේ ශාස්තෘත්වය තුලින් පැහැදිලිව දැකිය හැකි විය

ශාස්තෘවරයකු තුළ තිබිය යුතු ආගමික නායකයකු තුළ තිබිය යුතු සත්‍යය අවබෝධයෙන් සම්පූර්ණ වූ මහා පෞරුෂත්වයක් බුදුරජාණන් වහන්සේට තිබුණේ තමන් වහන්සේ අවබෝධ කරගත් තමන් වහන්සේ දේශනා කළ සත්‍ය පිළිබඳව පිළිබඳව විශාරදත්වය උන්වහන්සේ තුළ තිබිණි මේ නිසාම උන්වහන්සේ කිසිම කෙනෙකු ඉදිරියේ දුර්මුඛ නො වූ සේක විශාරදව වැඩ සිටි සේක

දෙපයින් ගෙන පරසක්වල ගසමියි කියූ ආලවක යක්ෂයාද, කඩුවෙන් සිඳ ඇඟිලි කපා ගනිමියි කියූ බුදු රජාණන් වහන්සේ පසුපස එළවූ අංගුලිමාලයා ද, දහදිය සොලවා වාද කොට පරදවමියි කියූ අද මට වඩා ශ්‍රේෂ්ඨයෙක් මේ ලොව නැතැයි මානයෙන් ඉදිමුණු බක බ්‍රාහ්මණයා ද, මා හැර වෙනත් රහත් කෙනෙක් නැතැයි කියූ උරුවෙල කාශ්‍යප ද, බුදුරජාණන් වහන්සේගේ මහා පෞරුෂත්වයට ශාස්තෘත්වය ට අවනත වූහ. බුදුරජාණන් වහන්සේ මේ කිසිම අවස්ථාවක පසුබට වූයේ නැත. කිසිම විටෙක පැරදී පලා ගියේද නැත.මෙවැනි මහා පෞරුශත්වයක් බුදුන් වහන්සේ තුල තිබි නිසා උන් වහන්සේ භාරත සමාජයට නියම ශාස්තෲවරයානන් කෙනෙක් වූ සේක.

එසේම උන්වහන්සේ කිසිම අවස්ථාවක තම ධර්මය බලයෙන් ඉගැන්වීමට සූදානම් නොවූ සේක .තමන් වහන්සේ දේශනා කළ සියල්ල සත්‍ය වන්නේය එය කා විසිනුත් පිළිගත යුතු ය යනුවෙන් අණ කිරීමක් බුදුරජාණන් වහන්සේ නො කළ සේක. පෙර අසා ඇති නිසා වත් පාරම්පරික චාරිත්‍ර වශයෙන් ඇති නිසා වත් කියවා තර්කයට ගැළපෙන නිසා වත් කිසිවක් පිළි ගත යුතු නොවේ. තම බුද්ධියෙන් විමසා බලා සත්‍ය යැයි තමාට වැටහේනම් පමණක් පිළිගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ශාස්තෘවරයකු තුළ තිබිය යුතු අගය කළ යුතු නිදහස් චින්තනයට ගරු කිරීමේ ශ්‍රේෂ්ඨ භාවය දෙවියන් සහිත මුළු මහත් ලෝකයටම පෙන්වමිනි.
ශ්‍රේෂ්ඨ ගුණයක් බව සැලකීමෙනි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාස්ත්‍රීය ලොව ප්‍රකටව පෙනෙන්නේ පුද්ගලයන් ඉදිරියේ තම ධර්මය දේශනා කරන අවස්ථාවන්හිදී කුසල්-අකුසල් පැහැදිලි කිරීමේ දී ධර්මය අධර්මය පැහැදිලි කර දීමේ දී ඒවා මෙසේ යැයි පෙන්වා දෙනු මිස දේශනාව අවසානයෙහි ඔබ මගේ ශ්‍රාවකයෙක් විය යුතු යැයි උන්වහන්සේ කිසිම අවස්ථාවක ප්‍රකාශ නොකළ සේක. දහම් ඇසීමට පමණක් කිසිවකු එළවා නොගත් සේක. පුද්ගලයින් තුළ පවත්නා මානසික තත්ත්වය හොඳින් අවබෝධ කරගත් උන්වහන්සේ ඒ ඒ පුද්ගලයාට සුදුසු අයුරින් අනුශාසනා කළ සේක .

ශ්‍රාවකයන්ට කරුණු අවබෝධ කරදීම සඳහා විවිධ දේශනා දහස් ගණනක් උන්වහන්සේ විසින් ප්‍රකාශකර ඇත .මේවා අතරින් ජාතක කතා මුල් තැනක් ගෙන තිබේ. උන්වහන්සේ ප්‍රශ්න ඇසීමෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් කිසියම් සිද්ධියක් මුල් කරගෙන ධර්ම දේශනා කිරීමෙන් හා සාකච්ඡා කිරීමෙන් කරුණු අවබෝධ කරමින්, ධර්මය දේශනා කිරීමේදී සාමාන්‍ය ජීවිතයේ දී හමුවන විවිධ දේ උපයෝගී කරගත් සේක. කරුණු පැහැදිලි කර දීමට සුදුසු දෙය ව්‍යවහාර ලෝකෙන් ඈතට නොගොස් සොයා ගත් සේක .රූපය කෙරෙහි පවතින දැඩි ආශාව දුරු කිරීමට සිරිමා නමැති ගණිකාව ගේ මළ සිරුර ඉදිරිපත් කිරීමෙන් ද සියලු දෙනාම මරණයට පත්වන බව අවබෝධ කරවීමට නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන්නට යැයි කියා කිසාගෝතමියට දුන් උපදේශනය මගින්ද බුදුරජාණන් වහන්සේ ශාස්තෘ වරයෙකු වශයෙන් අනුගමනය කළ ක්‍රියා ක්‍රියාමාර්ග පැහැදිලිය

ඇතැම් ගුරුවරු ශ්‍රාවකයන් නොදන්නා දේ ගැන ප්‍රශ්න ඇසූ විට එයට විරුද්ධ වූහ කිපුණහ දොස් නැගූහ පිළිතුරු නොදී සිටියහ එහෙත් භාග්‍යවතුන් වහන්සේ සතුටින් පිළිතුරු දුන්හ.බුදුරජාණන් වහන්සේ තුළ ශාස්තෘවරයකු වශයෙන් පැවැති ගුණය මෙයින් ද පැහැදිලි වෙයි

බුදුරජාණන් වහන්සේ තමන් ලැබූ විමුක්තිය හැමදෙනාම ලබන්නේ නම් මැනවැයි අවංකවම පැතූ ශාස්තෘවරයෙකු වූසේක. මිනීමරුවකු ලෙස සිට අංගුලිමාල ලෝසතුන් වැඩ විසූ රහතන් වහන්සේ නමක් කළ සේක වරක් ලිච්ඡවී රජුගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ නගර සෝබනිය ලෙස ප්‍රසිද්ධව සිටි අම්බපාලි ගණිකාවට ආරාධනාව පිළිගෙන දානයට වැඩ ඇය ගණිකා වෘත්තියේ යෙදුණු මහා උපාසිකාවක් කළ සේක .ප්‍රේම අම්බපාලිය ගේ අඹ වනය පිළිගත් සේක.

උන්වහන්සේ මේ සියල්ල කළේ තමන් වහන්සේ තුළ තිබූ විජ්ජා බලයකින් නොවෙයි. ශාස්තෘවරයකු වශයෙන් උන්වහන්සේ ලබා සිටි විශිෂ්ට ගුණ මහිමය නිසා චතුර් වෛශාරද්‍ය නිසාය.බමුණු පූජකයන් ඇඳුරන් තුළ ගුරු මුෂ්ටිය රැකගැනීම සම්ප්‍රදායක්ව පැවැති සමයක, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දත් සියල්ල නිර්ලෝභී ව දේශනා කළ සේක .අන්තිම මොහොතේ පවා උන් වහන්සේ කියා සිටියේ යමක් දැනගන්නට ඇත්නම් දැන්ම අසා දැන ගන්න යනුවෙන්. මේ කරුණු අනුව පැහැදිලි වන්නේ ශාස්තෘවරයකු වශයෙන් තිබිය යුතු හැම සුදුසුකමක්ම සර්ව සම්පූර්ණව බුදුරජාණන් වහන්සේ තුළ විරාජමාන වූ බවයි.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X