නිවන ලබන්න කැමැත්තක් තිබීම, අත්‍යාවශ්‍ය ම කාරණාවක්
බුදුන් වහන්සේගේ ශාසනය තුල පෙන්වා දෙන උසස් ම ප‍්‍රතිලාභය, උසස් ම පිළිසරණ ලබන්ට, විශාල පරිත්‍යාගයක්, විශාල කැපකිරීමක් කරන්ට වෙනවා. සාමාන්‍ය ලෝකයේ තිබෙන භෞතික දේවල් වලින් වුණත් යම් කැපකිරීමක් නැතිව ප‍්‍රතිලාභ ලබන්ට බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ප‍්‍රතිලාභයන්, සාමාන්‍ය මනුෂ්‍යයා අත් කරගන්නා ලෞකික ප‍්‍රතිලාභයන්ට වඩා වටිනාකමෙන් අග‍්‍රයි. සම කරන්ට බෑ.
මිනිසුන් ලෞකික ප‍්‍රතිලාභයන් අත්කරගන්ට කොච්චර පරිත්‍යග කරනවා ද? කොච්චර කැප කරනවා ද? කොච්චර ඉවසනවා ද? ඒ අනුව කල්පනා කරන්න අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පිළිසරණ ඇති කරගැනීම පිණිස කොයි වගේ පරිත්‍යාගයක් කළ යුතුද කියලා. ඒ වගේ පරිත්‍යාගයක් කරන්ට අපි උත්සාහ කළ යුතුයි. පරිත්‍යාගය කියන්නේ අත්හැරීම කියන එකයි. අතහරිනවා කියන එක සිතේ උපදින දෙයක්.
මේ ලෝකයේ මිනිසුන් හොඳ රැකියාවක් ලබාගන්ට, එහෙම නැත්නම් විභාගයකින් සමත් වෙන්ට වගේ දේකට ගන්න උනන්දුව බලන්න. සෑහෙන කාලයක් තිස්සේ මහන්සි වෙනවා. විශාල උනන්දුවක් ඇති කරගන්නවා. විශාල කැප කිරීමක් කරනවා. එතනදීත් අත්හැරීමක් තියෙනවා. සාමාන්‍ය විනෝදවීම් අතහැරලා, අනවශ්‍ය යාළු මිත‍්‍රකම් අතහැරලා, අනවශ්‍ය වැඩ ගොඩාක් අතහැරලා මහන්සිවෙන්න සිද්ධ වෙනවා. ඒ විදියට මහන්සි වෙන, කැපකිරීමක් කරන කෙනාට ඒ ප‍්‍රතිලාභය ලබන්ට පුළුවන්.
බුදුරජාණන් වහන්සේ පෙන්වන ප‍්‍රතිලාභය පිණිස විශාල කැපකිරීමක් කළොත්, පරිත්‍යාගයක් කළොත් ඒ ප‍්‍රතිලාභ ලබන්ට පුළුවන්. යම් කාලයක් ඒකට මහන්සි වෙන්ට වෙනවා. ඒ විදියට මහන්සිවෙන කෙනාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන විදියට ම ප‍්‍රතිලාභ ලබන්ට පුළුවන්. අද වෙනකොට ගොඩක් අය ලඟ තියෙන්නේ ප‍්‍රතිලාභ ලබන්ට පුළුවන් ද බැරි ද කියන එක ගැන සැකයක්. ගොඩක් අය තුල විශ්වාසයක් නෑ. හීන වීරියෙන් සහ වෙනත් ලෞකික ප‍්‍රතිලාභ වලට යට වුණ අය, ලාමක අපේක්‍ෂා තියෙන අය, ධර්මයෙන් ප‍්‍රතිලාභ ලබන්ට පුළුවන් කියන අදහස සමාජයෙන් ඈත් කරලා තියෙන්නේ. අනිත් අයටත් ඒ අවස්ථාව නැතිවන ආකාරයට කටයුතු කරනවා.
ඒ නිසා අපි පරිස්සමින් ධර්මය හොඳට තේරුම් අරගෙන, මේ ජීවිතයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු පිළිසරණ අත් කරගන්ට පුළුවන් කියන අදහස ඇති කරගන්ට ඕන. ඒක කළ හැකි දෙයක්. භාග්‍යවතුන් වහන්සේ නිර්භයව ප‍්‍රකාශ කරනවා, “ධර්මය වඳ බැහැලා නෑ. ඵල සහිත ධර්මයක්” කියලා.
ඒ ප‍්‍රකාශයත් අකාලිකයි. භාග්‍යවතුන් වහන්සේගේ යම් වචනයක් තියෙනවා නම් ඒ වචනය ධර්මයට අයිතියි. ධර්මයෙන් බැහැර නෑ. ධර්මය අකාලික ගුණයෙන් යුක්තයි. සන්දිට්ඨික ගුණයෙන් යුක්තයි. “මේ ධර්මය වඳ බැහැපු දෙයක් නෙවෙයි. ඵල සහිත ධර්මයක්” කියලා එදා කළ ප‍්‍රකාශය අදටත් වලංගුයි. අකාලික ධර්මයට අයිතියි. ඒ නිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ප‍්‍රකාශය ගැන විශ්වාසය උපදවාගන්ට ඕන. විශ්වාසය උපදවාගෙන, පැහැදීම ඇති කරගෙන, ඒ ප‍්‍රතිලාභය ලැබීම පිණිස ධර්මයේ හැසිරෙන්ට ඕන.
ධර්මයේ ප‍්‍රතිලාභ ලැබීම පිණිස යම් කාලයක් ගතවෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, “මහණෙනි, මේ අරහත්වය මා එක පාරට පත්වන්නේ නෑ” කියලා. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට කාලයක් තියෙනවා. අපි ඒ ධර්මය ඉගෙන ගැනීමෙන්, ධර්මයේ ස්වභාවය තේරුම් ගන්ට ඕන. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ඉලක්කය, ප‍්‍රතිලාභය, පරමාර්ථය ගැන කැමැත්තක් ඇති කරගන්ට ඕන. නිවන අවබෝධ කරගැනීමේ ආසාව, කෙළෙස් දුරු කරගැනීමේ ආසාව සිතක් තුල ඉපදෙන්ට ඕන.
ඇතැම් අය අරහත්වය සිහි කිරීමෙන් අරහත්වයට කැමති වෙනවා. ඇතැම් අය රාග ද්වේශ මෝහ දුරු කරගැනීමේ කැමැත්තක් ඇති කරගෙන ඒ ප‍්‍රතිලාභයට කැමති වෙනවා. සමහර අයට පිරිසිදු සිතක් ගැන ආසාවක් ඇති කරගන්ට පුළුවන්. සමහර කෙනෙකුට මේ දුකෙන් නිදහස් වීම ගැන කැමැත්තක් ඇති කරගන්ට පුළුවන්. ඒ විදියට තමන්ගේ සිතට ප්‍රිය ඇතිවන විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු ඉලක්කය ගැන සිහි කරන්න.
තමන් තුල යම් පීඩා තියෙනවා නම් ඒ පීඩා දුරු කරගෙන පීඩා රහිත ජීවිතයක් ගත කරන්ට ආසා කළොත් එයාට ඒක පහසු වෙනවා. පීඩා ඉපදෙන්නේ මොනවායින් ද? සමහර අයට රාගය බලවත් වෙලා ඒ රාගයෙන් පීඩා ඇතිවෙනවා. පටිඝය බලවත් වෙලා චිත්ත පීඩා ඇති වෙනවා. භය තැතිගැනීම් නිසා පීඩා ඇතිවෙනවා. හීන මානය නිසා පීඩා ඇතිවෙනවා. සමහර අයට අධිමානය නිසා, ආඩම්බරය නිසා පීඩාව ඇතිවෙනවා. ඊර්ෂ්‍යාව නිසා පීඩාව ඇති වෙනවා. මේ වගේ විවිධ විදියට චිත්ත පීඩා තමන් තුල ඉපදෙනවා. සිතේ උපදින පීඩාව අතිශය දුක් සහිතයි. ඒ විදියට, ‘දුක් සහිත ස්වභාවයක් නැතිව, සිතේ පීඩාවක් නැතිව, සංසිඳුන සිතකින් ඉන්ට ඇත්නම් කොච්චර පහසුයි ද’ කියලා කල්පනා කරන්න. ඒ විදියට නිකෙළෙස් බව ගැන ආසාවක් ඇතිකර ගන්ට ඕන.
ඊලඟට, සිතේ රාගය තියෙනවා නම්, ඒ රාගය නැති සිතක් කොච්චර හොඳයිද කියලා කල්පනා කරන්ට පුළුවන්. රාගය මුල් වෙලා සිත කෙළෙසුනාම එතන ප්‍රිය බවක් නෑ. රාගය අප‍්‍රසන්න ස්වභාවයක්. රාගය පිළිකුල් ස්වභාවයක්. පිරිසිදු නෑ. දුක් සහිතයි. පීඩා සහිතයි. ඒ රාගය නිසා ඇතිවන පීඩාකාරී ස්වභාවය, අප‍්‍රසන්න ස්වභාවය නැතිව විරාගී සිතක්, රාගය නැති සිතක් ගැන ආසා කරන්න. රාගය නැති සිත කොයි තරම් පිරිසිදුයි ද කියලා හිතන්න. පිරිසිදුයි, ලස්සනයි, බ‍්‍රහ්මයෙක් වගේ. ඒ විදියට විරාගී බවට ආසා කරන්න. නිකෙළෙස් බවට ආසා කරන්න. පීඩා රහිත සිතට ආසා කරන්න.
ඊලඟට, මේ සිතේ නොයෙකුත් අකුසල් තියෙනකොට, සිත එක එක අරමුණු ඔස්සේ දුවනවා. රාගය තිබුනොත් රාගය ඔස්සේ දුවනවා. තරහ තිබුණොත් තරහ ඔස්සේ දුවනවා. භය තිබුණොත් භය තැතිගැනීම් ඔස්සේ දුවනවා. ආඩම්බරය, ඉරිසියාව, හීනමානය, මේ විදියේ නොයෙකුත් අකුසල් තියෙනකොට ඒ ඒ අකුසල් ඔස්සේ සිත දුවනවා. ඒ අකුසල් මුල්වෙලා බොහෝ සිතුවිලි එන්ට පටන් ගන්නවා. සිතුවිලි වලින් තමයි පිඩාව උපදවන්නේ. ඒ සිතුවිලි උපදින්නේ යම් යම් අකුසලයන් මුල්වෙලා. සිතේ ඒ අකුසල් නැත්නම්, ඒ විදියේ අකුසල සහගත සිතුවිලි ඉපදෙන්නේ නෑ. සිත සංසිඳෙනවා. ශාන්තයි. ප‍්‍රණීතයි. පහසුයි. කිසිම කරදරයක් නෑ. නිශ්චලයි. එබඳු සිතකට ආසා කරන්න.
ඊලඟට, බාහිරින් මිනිසුන් අපිව අගය කරනවා. මිනිසුන් අපිව වර්ණනා කරනවා. ඒ වෙලාවට අපි හොඳට හිනාවෙලා කතා කරනවා. ඒ විදියේ ස්වභාවයක් තියෙනවා බාහිරින්. නමුත් තමන්ගේ සිත දිහා බලන්න. එතකොට අර බාහිරින් අපට ලැබෙන ප‍්‍රශංසාව වේවා, බාහිරට අපි පෙන්වන ස්වභාවය වේවා, හිත අභ්‍යන්තරයත් එක්ක ගැලපෙනවාද කියලා බලන්ට පුළුවන්. බාහිරින් අපිව හොඳ කෙනෙක් වගේ පෙනුණත්, සිත අභ්‍යන්තරයේ කෙළෙස් වලින් පීඩා විඳිනවා නම්, කෙළෙසුන්ට බරයි නම්, කෙළෙස් වලින් කිළිටි වෙලා නම් ඒක සුදුසු නෑ. මනුස්සයා නොදැක්කාට, ඒ ස්වභාවය දෙවියන් දකිනවා. දෙවියන් සතුටුවෙන්නේ නෑ අපේ ජීවිත ගැන. දෙවියන් සතුටු වෙන්නේ නැත්නම්, දෙවියන්ගේ ආශිර්වාදයක් රැකවරණයක් අපිට ලැබෙන්නේ නෑ. දෙවියන්ගේ ආශිර්වාදයක් රැකවරණයක් නොලැබෙනවා නම් කය බිඳිලා මරණින් මත්තේ දෙවියන් අතරට යාමක් සිදුවෙයි ද? දෙවියන් අතරට නොයනවා නම්, දෙවියන්ගේ අප‍්‍රසාදයෙන් යුක්තයි නම් මනු ලොවටවත් එයි කියලා හිතන්ට බෑ. දෙවියන් නොදැක්කත් තමාට ම දකින්ට පුළුවන් තමාගේ ස්වභාවය. ඒ වගේ කිලිටි සිතක් සහිතව කළුරිය කළොත් දුගතියේ යන්ට සිදු වෙනවා.
ඒ විදියට කල්පනා කරලා සිතේ ඒ දෙබිඩි ස්වභාවය ගැන අකමැත්ත ඇති කරගන්න. දෙවියන්, බඹුන්, නුවණැති මිනිසුන් ප‍්‍රශංසා නොකළ, බුදුරජාණන් වහන්සේ ප‍්‍රශංසා නොකළ ස්වභාවයක් නේද කියලා කල්පනා කරන්න. සිතේ දෙබිඩි ස්වභාවය අතහැරලා, නැතිකරලා, සිතේ ඍජු ස්වභාවයක් ඇති කරගන්ට ආස කරන්න. ඍජු ස්වභාවය කියන්නේ සිතේ බාහිරට ප‍්‍රකට වෙන ස්වභාවයත්, අභ්‍යන්තර ස්වභාවයත් එකයි. අන්න ඒ ස්වභාවයට දෙවියන් කැමතියි. දෙවියන්ගේ ප‍්‍රසාදය තියෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දෙවියන් දුර සිට වන්දනා කරනවා. ඒ විදියට කල්පනා කරලා සිතේ දොස් සහිත ස්වභාවය ගැන අකමැති වෙන්න. දොස් රහිත ස්වභාවයට කැමති වෙන්න.
නිවන ගැන සිතේ කැමැත්තක් ඇති කරගැනීම පිණිස වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම, ප‍්‍රියයන්ගෙන් වෙන් වීම, අප‍්‍රියයන් හා එකතු වීම, කැමති දේ නොලැබීම ආදී දුක්ඛ ආර්ය සත්‍යයට අයත් දුක් ස්වභාවයන් අපේ ජීවිතය තුල තේරුම් ගැනීමට උත්සාහ කරන්න. මේ දුක් ස්වභාවයන් ගැන කල්පනා කිරීමෙන් ඒ දුක් වලින් නිදහස් වෙන්ට කැමැත්ත ඇති කරගන්ට පුළුවන්.
මෙබඳු විවිධ ආකාර වලින් නුවණැති කෙනාට අකුසල් බැහැර වෙන විදියට හිත නවන්ට පුළුවන්. ඒ ඒ විදියට සිත පුරුදු කරද්දී අකුසලය බැහැර කරගෙන, කුසලයට පැමිණෙන්ට කැමැත්ත ඇති වෙනවා. කෙළෙස් බැහැර කරලා නිකෙළෙස් බවට පත්වෙන්ට කැමති වෙනවා. රාගය බැහැර කරගෙන විරාගී බවට කැමති වෙනවා. ඇවිස්සුන ස්වභාවය නැතිව සංසිඳීමට කැමති වෙනවා. මුළුමනින් ම පිරිසිදු, දුක් රහිත නිවනට කැමති වෙනවා. මේ විදියට කල්පනා කරලා සිතේ තියන මේ ලාමක ස්වභාවයන් බැහැර කරගෙන නිකෙළෙස් සිතක් ඇති කරගන්ට නුවණැත්තාට පුළුවන්කම තියෙනවා.
එහෙම නැත්නම් එක පැත්තක් දොස් සහිත වුණාම අනික් පැත්ත හොඳයි කියලා හිතෙනවා. එතකොට කෙළෙස් වලින් නිදහස් වෙන්ට තියුණු කැමැත්තක් උපදින්නේ නෑ. එනිසා සිතේ හැම පැත්තක් ම හොය හොයා බලමින් දොස් සහිත ස්වභාවයන් හැම විදියට ම තේරුම් ගන්ට උත්සාහ කරන්න. ඒ විදියට කල්පනා කරමින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වන ධර්මය තුල අග‍්‍ර ම ප‍්‍රතිලාභය ලබන්ට සිතේ කැමැත්තක් ඇති කරගන්න. ඒ කියන්නේ නිවන අවබෝධය පිණිස කැමැත්ත ඇතිකර ගන්න.
ඒකට තමයි “ඡන්දය” කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙන්නේ. ඡන්දය ඇති කරගන්න විදියවල් තමයි මේ නොයෙක් ආකාරයෙන් පෙන්වා දුන්නේ. සිතේ ඇත්ත ස්වභාවය තේරුම් ගත්තොත් පහසුවෙන් ඡන්දය ඇති කරගන්ට පුළුවන්. තමාගේ සිත ගැන තමා ම තේරුම් ගත්තොත් ඒ තුලින් ලොකු කළකිරීමක් ඇතිවෙනවා සිත ගැන. ‘මෙබඳු සිතක් සමඟ නේද වාසය කරන්නේ, මෙතරම් දුක් උපදින කෙළෙස් සහිත සිතක් එක්ක නේද වාසය කරන්නේ’ කියලා දැනගත්තොත්, තේරුම් ගත්තොත්, දැකගත්තොත් ඒ දැකීම සම්මා දිට්ඨිය ඇති කරන්ට හේතු වෙනවා. ආශ‍්‍රව ක්‍ෂය වෙන්ට මුල්වෙනවා. නිකෙළෙස් භාවය පිණිස ඡන්දය ඇතිවෙන්ට හේතු වෙනවා.
කෙළෙස් දුරු කරගන්ට කැමැත්තෙන් වාසය කරන කෙනා (ඡන්දය ඇති කෙනා) ඒ සඳහා වෑයම් කරනවා. වෑයම් කරන කෙනාට වීරිය ඉපදෙනවා. එයාට හුදෙකලාව වාසය කරන්ට පුළුවන්. හිත එහේ මෙහේ දුවන ස්වභාවය අඩුවෙනවා. ඇයි? තමන්ගේ සිත පිරිසිදු කරගැනීමේ කැමැත්ත ඉපදිලා. වෙනත් දෙයක් කරන්ට හිත දෙන්නේ නෑ. තමන්ගේ වස්ත‍්‍රය අපිරිසිදු වෙලා කියලා දැනගත්ත කෙනාට ඒ වස්ත‍්‍රය පිරිසිදු කරගන්ට කැමැත්තක් එනවා. ගොඩක් අපිරිසිදුයි කියලා දැනගත්ත කෙනා වෙන වැඩ කර කර ඉන්නේ නෑ. ඉක්මනින් ඒ වස්ත‍්‍රය පිරිසිදු කරගන්නවා. ඒ වගේ, සිත අපිරිසිදුයි කියලා දකින කෙනා ඉක්මනින් සිත පිරිසිදු කරගන්ට ආසා කරනවා.
තමන්ගේ සිතේ අකුසල් තියෙනවා කියලා දකින කෙනා, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන පහදිනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, ‘යම් කෙනෙක්, තමා තුල රාගය තියෙන කොට, රාගය තියෙනවා කියලා දකිනවා නම් එපමණකින් ම ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි’ කියලා. ඒ විදියට ක‍්‍රමක‍්‍රමයෙන් තමන් තුලින් ධර්මය දකිනකොට, ධර්මයේ ගුණ තේරුම් ගන්නකොට, නිතැතින් ම භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කියලා තේරුම් ගන්ට හැකිවෙනවා.
ඒ විදියට තමයි ධර්මය පුරුදු කරන්නේ. අපි සෙත් පතනවා, තම තමන්ගේ සිත දිහා හොඳින් බලලා සිත හොඳින් තේරුම් අරගෙන, සිතේ තිබෙන අකුසල ස්වභාවයන් තේරුම් ගනිමින් ඉතා ම පිරිසිදු සිතක්, ඉතා ම නිශ්චල වූ නිවුනු සිතක්, ශාන්ත වූ ප‍්‍රණීත වූ සිතක් ඇති කරගැනීම පිණිස නොසංසිඳුන ආසාවක් ඇති කරගන්ට සියලු දෙනාට දුර්ලභ වූ භාග්‍ය උදාවේවා කියලා.
තෙරුවන් සරණයි
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood