Temples of Sri Lanka

නොදැවුණු පින් සිතක උරුම කරුවා වන්න.

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ කොසඹෑ නුවර අසල සුංසුමාරගිරි පර්වතයෙහි වැඩ වසන සමයේ කොසඹෑ රජු ද, අගබිසව වෙස්සමිත්තාවෝ ද නිරතුරු බුදුහිමි හමුවෙමින් දහම් ඇසූහ.
බුදුහිමියන් කෙරේ මහත් සැදැහැයෙන්, මමත්වයෙන් පහන් සිතින් විසූහ.
දිනක් පසල් දනව් රජෙක් කොසඹෑ නුවර රාජ්යය අල්ලා ගනු රිසියෙන්
 
“රාජ්යය දෙව. නැතහොත් සටන් කරව“යි හසුන් එවුවේ ය.
රජතුමා බිසවුන් අමතා
“දේවිය රාජ්ය අනිකකු හට නොදෙමි, යුද කරමි, ඔබ ද මා සමඟ පැමිණෙන්න. සටන් කරන අයුරු බලන්න. මා යුද්ධයෙන් පරාජය වුවොත් රක්ත වර්ණ කොඩියක් ඔසවමි. ඒ ලකුණු දකින ඔබ වහා කොසැඹෑ නුවරට පලා යන්න.”යයි පැවසීය.
“යහපති ස්වාමීනි, ඔබතුමා සටනින් ජය ගන්න.” යයි ස්වාමි දුවද පැවසීය.
යුද බිම්හි මහ සටන් ය. කොසැඹෑ රජු, කෙසෙල් වනයට වන් මතැත් පොව්වකු සේ සතුරන් හෙළමින්, අසුන්, ඇතුන් නසමින් ජයග්රාහී ලෙසින්, පෙනී යයි. එහෙත් තමන්ට පරාජය අත්වන බව රජුට පෙනේ. බිසවට පෙනෙන ලෙස රතු කොඩියක් නංවා සටන් කරමින් යුද බිම සතුරන් අතින් මිය යයි.
වෙස්සමිත්ත, බිසව ඇසිපිය නොහෙළා සියල්ල බලා සිටියා ය.
“ඕහ්, රතු කොඩියක්…. රජතුමාට පරාජයක්”, බියට පත් දේවිය කොසැඹෑ නුවර බලා යන්නීය. ඇය කොසැඹෑ රජුගේ අගබිසව බව හඳුනා ගත්තෝ පසල් දනව් රජු වෙත ඇය ගෙනවිත් දෙති.
කොසඹෑ නුවර රජ්ජුරුවන්ගේ අග බිසොවගෙ ලස්සන. පුදුම රූපශිරයක්. ඈ මගේ අග මෙහෙසුන් කරගන්නව“
රජතුමා අභිෂේක මඟුල් සඳහා ඇමතිවරුන්ට අණ කළේය.. ඔවුහු අග බිසෝ තනතුරට පත් කිරීමට බිසවුනට යාඥා කරති.
 
ඇමතිවරුනි, මට අභිෂේකයෙන් ඇති ප්රයෝජන මොනවාද? නුඹලා යන්න”
ඇමැතිවරු අග මෙහෙසුන් වීමේ අකැමැත්ත රජුට කී විට රජු එතුමිය ගෙන්වා ඒ ගැන අසයි.
දේවිය කවර කරුණක් නිසා ඊට අකැමැත්තේ ද”
“දේවයන් වහන්ස, මෙය හොඳින් අහන්න. මට සියලු සම්පත් දුන් මගේ ස්වාමියා වූ රජතුමා මිය ගියා. එතුමා සොළොස් දහසක් බිසොවුන්ට නායක අගබිසෝ තනතුරට මා පමුණුවා මේ තාක් ඔහුගේ හදවත ලෙසින් මා රක්ෂා කළා. දැන් එතුමා සිහිවන කල මගේ සිත, කය වියෝග සෝක නමැති ගින්නෙන් දැවෙනවා. මම තව රජකුට අගමෙහෙසුන් වුණා නම් ඒ රජුටත් මෙහෙම විපත් ආ කල නැවතත් මම ඒ දුකෙන් කෙලෙස මිදෙම් ද ?, ඒ නිසා මම අගමෙහෙසුන් තනතුරුට අකැමැත්තෙමි.
දේවියගේ මෙබස් රජුගේ කෝපයට හේතු විය.
“තී අභිෂේකයට අකැමැති නේද? දැන්ම මම තී ගින්නේ දා වධ කරවමි”
         වහා ම මහා ගිනි සෑයක් කරන ලෙස දැන්වූ රජතුමා මෙසේ අණ කරයි.
“තිගේ මළ සැමියා පතා හිඳින් තී ද ගින්නට පැනිය යුතු ය”
“දේවයන් වහන්ස, නිරපරාධයෙන් මෙසේ වධයට පමුණුවාලීම මහා අකුසල්. ඒ විපාකය දෙලොවට ම අවැඩ ය, බරපතළ ය.”
“තිගේ ඔය පණ්ඩිත බසින් මට වැඩක් නැහැ. මගේ අණ තිට වෙනස් කළ නොහැකියි. රාජ පුරුෂයිනි, වහා මැය ඇවිළෙන ගිනිමැළයට දමා පුලුස්සව.”
රාජ පුරුෂයෝ සිවුමැලි බිසව මල්දමක් සේ දෑත් දෙපය මිරිකා අල්වාගෙන ගිනි දේවියට දෙන බිලියක් සේ ගිනිමැළයට දැමූහ.
ඒ අවස්ථාවේ කාගේවත් පිහිටක් නැති ඇය තිසරණ පිහිට සිහි කරමි’යි සිතමින් බුදු සරණ යමි, දහම් සරණ යමි, සඟ සරණ යමි’යි සිහි කරමින් මුමුණන්නට විය.
ආශ්චර්යයක මහත, ඇවිළෙන ගින්නෙන් බිසවගේ රෝම කූපයකට වත් හානියක් නොවීය. රතු පලසක් පොරවාගෙන සිරි යහනේ සැතපෙන ලෙසින් බිසොව සැප සේ හොත්තාහ.
රජ බියෙන් තැති ගත්තේ ය. මම කළේ මහා අපරාධයක්. ගින්නෙහි වන් දරුවකු කෑ මොරගාමින් වඩාගන්නා මවක සේ බිසවුන් දෙඅතින් ඔසවා ළයෙහි හොවාගෙන රාජාසනයේ වඩා හිඳවා දොහොත් මුදුන් තබාගෙන, ක්ෂත්රිය කන්යාවක දුටු සැඬොලකු සේ, ආදරයෙන් නැමී එකත්පස්ව සිට
 
“ස්වාමි දියණියෙනි කවර කරුණකින්, ආනුභාවයකින් මෙසේ ශරීරය නොපිළිස්සුණේ දැයි විමසීය.
“දේවයන් වහන්ස, මෙලොව යමකුට භයක් ආ විට තුණුූරුවන් සරණ හැර මවුපිය, නෑදෑ හිත මිතුරන් දෙවියන් ආදින් මෙන්ම, ඖෂධ, බලිබිලි, යාග කිරීම් ආදි ශාන්තිකර්ම ද පැමිණියත් ඒ භයට පිහිටට රැකගත නොහැකි ය. ඒ නිසා මම පිහිට තිසරණය සේ සලකා තිසරණ පිහිට කර ගතිමි.
ඒ ආනුභාවයෙන් ඇවිළෙන ගිනිමැළයෙන් මගේ රෝම කූපයක්වන් හුණු කළ නොහැකි විය. ඒ නිසා සියලු සම්පත් ගෙන දෙන, දෙලොව සැප සලසන අභිවෘද්ධිය ගෙනෙන, හැම ආරක්ෂාව සලසන, පිහිට වන බුදුන් සරණ යන්න. දහම් සරණ යන්න. සඟ සරණ යන්න”
රජතුමා බිසවුන් ක්ෂමා කරවාගෙන මහත් සත්කාර කොට අද සිට නුඹ මගේ මව යැයි බිසවුන් මව් තනතුරේ තබා බුදුන්, දහම්, සඟ තෙරුවන් සරණ ශීලයෙහි පිහිටියහ.
රැස්ව සිටියෝ ද ඒ ආශ්චර්යය දැක සරණ ශීලයෙහි පිහිටා සිටියහ. සියල්ලෝම දානාදි කුසල සම්භාර රැස්කොට කර්මානුරූප කටයුතු අවබෝධ කොට ගත් හ.
 
මෙලෙස ඒ වෙස්සමිත්තා බිසව උතුම් වූ සරණ ශීල මාත්රයක් ඉගෙන එම තෙරුවන් බෙලෙන් ඇවිළෙන ගිනිදැල් මැද කිසිම පීඩාවකට නොපැමිණ සිසිලස් සැපයම ලැබීය. ඒ නිසා උතුම් සරණ සීලය නිරතුරු රැකගෙන, සසර සියලු සැප සම්පත් ලබමින් කෙළවර නිවන් සම්පත් ලබා දෙන්නා වූ තිසරණ ශීලයෙහි පිහිටා සිටින්න.
 
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X