රජෙකුට වටින දැහැමි බව
බුද්ධ කාලයේ දී දඹදිව පැවැති ප්රබල රාජ්යයක් වූ මගධ රාජ්යයෙහි පාලකයා වූයේ බිම්බිසාර රජතුමා …මගධ දේශයට ආසන්නයේ පිහිටි කුඩා ජනපදයක් වූ අංග රට පාලනය කළේ ද බිම්බිසාර රජතුමා යි.මේ නිසා අංග මගදාධිපති යන විශේෂණය එතුමා ට යෙදී තිබුණා.මහා සේනාවක් එතුමා සතුවූ නිසා සේනිය බිම්බිසාර යනුවෙන් ද ප්රකට වුණා.
දැහැමින් රට පාලනය කළ නිසාම දම්මිකෝ යන විශේෂණ යත් එතුමා ගේ නමට එක් වෙලා තිබුණා. මෙයින් හෙළිදරව් වන්නේ බිම්බිසාර රජතුමා කෙතරම් බලවතෙක් වුණත් දැහැමිකමින් ඈත් නොවී පාලන බලය ක්රියාත්මක කිරීම නිවැරැදි ලෙස සිදු කළ බවයි.
සත්ය ගවේෂණයෙහි යෙදුන සිදුහත් බෝසතාණන්ට පැවිද්දෙන් පසු ප්රථමයෙන්ම හමුවුනු පාලකයා බිම්බිසාර රජු. බෝසතාණන් මහභිනික්මන් කොට අනෝමා ගඟින් එතෙර ව පැවිදි වී අහර සොයා ගැනීමට පිවිසියේ මගධ ප්රදේශයේ අගනගරය වූ රජගහනුවර ටයි. එහි පිඬුසිඟා ගිය බෝසතාණන්ගේ රූපශෝභාව හා සන්සුන් ඉරියව් කෙරෙහි පැහැදුණු බිම්බිසාර රජතුමා එතුමන් හමුවට පැමිණෙන තොරතුරු අසා දැන හැඳිනගෙන සත්ය අවබෝධය කොට ප්රථමයෙන් රජගහනුවරට වඩින්නැයි ආරාධනා කළා.
සිදුහත් බෝසතාණන් වහන්සේ මෙයින් අවුරුදු 6කට පසු සත්යාවබෝධය කොට බුද්ධත්වය ලැබුවා. බුදු රජාණන් වහන්සේ ප්රථම ධර්ම දේශනාවෙන් පසුව ධර්ම ප්රචාරයෙහි යෙදෙමින් උරුවෙල් දනව්ව ඔස්සේ පැමිණ රජගහ නුවර ආසන්නයේ සල් වනයේ නුග ගසක් මුල වැඩ උන්නා.
බිම්බිසාර රජතුමාට ඒ බව සැල වෙලා එක් ලක්ෂ විසි දහසක් පමණ සෙනගක් සමග බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට එහි පැමිණියා. බුදුරජාණන් වහන්සේ දැක ගැනීමෙන් මහත් සොම්නසට හා ප්රීතියට පත් එතුමා උන් වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හිඳ ගත්තා.
ප්රකට ආගමික නායකයෙකු වූ උරුවෙල් කසුප් ඇතුළු තුන් බෑ ජටිලයන් ඔවුන්ගේ පරිවාර ජටිලයන් ද දමනය කරනු ලැබ සසුන්ගත ව සිටිනු දක්නට ලැබීම එහි රැස් වූ බිම්බිසාර රජතුමා ඇතුළු පිරිස තුළ බුදුරජාණන් කෙරෙහි මහත් ප්රසාදයක් ඇති කිරීමට හේතු වුණා මෙහිදී බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් ඇසීමෙන් රජතුමා ඇතුළු බොහෝ දෙනෙක් සෝවාන් වුණා සෙසු අය තෙරුවන් සරණ ගියා.
බිම්බිසාර රජු ලෞකික බලාපොරොත්තු වලින් සිත පුරවා ගෙන සිටි පාලකයෙක් වුණේ නෑ. එතුමා ගේ බලාපොරොත්තු ඉතා සීමිත සහිතව පැවතුන අතරම එය ඉටු කර ගැනීමට සමත් වුණා. තවත් බලාපොරොත්තු හතරක් එතුමා සතු වුණා.
උන්වහන්සේ ඇසුරු කිරීමට ලැබීම
උන්වහන්සේගේ ධර්මය ශ්රවණය කිරීමට ලැබීම
ධර්ම අවබෝධය කිරීම යනු එම අපේක්ෂා හතරයි.
මේවා අධ්යාත්මික දියුණුවට අවශ්ය අපේක්ෂා. බුදුරජාණන් වහන්සේ මගධයේ රජගහ නුවරට වැඩම කිරීමෙන් ඒවා ඉටු වුණා .මෙසේ දිගු කාලයක් තිස්සේ තමා බලාපොරොත්තු වූ කරුණු පහක් ඉටු වීමෙන් රජතුමා සොම්නසට පත් වුණා .එතුමා ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වා වැඳ පැදකුණු කොට රජමැදුර බලා නික්මිලා ගියා
රජතුමාගේ ඇරයුම පරිදි බුදුරජාණන් වහන්සේ මහා සෙනගක් සමඟ පසුදා රජ මැදුරේ දනට වැඩියා. රජතුමා බුදු පාමොක් මහ සඟන සාදරයෙන් පිළිගෙන වඩා හිඳුවා දන් පිරිනැමුවා. තුණුරුවන් ළඟින් ඇසුරු කිරීමට රජතුමාට අවශ්ය වුණා. ඒ සඳහා මනා විවේක සුවය ගෙන දෙන රමණීය වේළුවන නම් උයන බුදුරජාණන් වහන්සේ ඇතුළු බුදුපාමොක් මහ සඟනට පූජාකළා.
මේ ආකාරයෙන් බිම්බිසාර රජතුමා බුදු සසුනට පළමුවන ආරාම පූජාව පූජා කළා.
බිම්බිසාර රජතුමා ඉතා සාමකාමී පාලකයෙක්. එකල දඹදිව පැවති මගධ කෝසල වත්ස්ය අවන්ති යන ප්රබල රාජ්යයන් හතරින් මගධයේ වඩාත් ප්රබල රාජ්ය බවට පත්කළේ බිම්බිසාර රජතුමා.මේ රජතුමාගේ පාලනය යටතේ රට සමෘද්ධිමත්ව පැවති ආකාරය එයින් වටහා ගන්නට පුළුවන්
අසල්වැසි රාජ්යයන් යටත් කර ගැනීම සඳහා බලය කිසිසේත්ම නොය ද වූ එතුමා ඒ වෙනුවෙන් ආවාහ මගින් ඥාති සම්බන්ධතා ගොඩනඟා ගත්තා.
කෝසල රාජ්ය රාජ්යය පසේනදී කොසොල් රජතුමාගේ නැගනියක කෙනෙකු වූ කෝසල දේවියත් මධු රටේ ඛේමා දේවිය ද බිසෝවරුන් වශයෙන් කැඳවා ගත්තේ එම රාජ්යයන් සමඟ සහ සම්බන්ධතා පැවැත්වීමටයි.
දහම ප්රචාරය කර හැරීමෙන් දුර බැහැර රාජ්යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට බිම්බිසාර රජතුමා වෙහෙසුණා. ගාන්ධාර දේශයේ පුක්කුසාති රජතුමාත් තිස්ස රජතුමාත් බෞද්ධයන් වී සත්ය අවබෝධයට යොමු වූයේ බිම්බිසාර රජතුමා නිසයි
රජතුමා උපායශීලී ලෙස කටයුතු කිරීම ,බලය යෙදවීමට වඩා අගය කළ බව… බුදුරජාණන් වහන්සේ රූපයට නිග්රහ කරතියි අසා උන් වහන්සේ වෙත නොගිය රූමත් ඛේමා බිසව උපාය මාර්ගයෙන් වේලු වනයට ගෙන යාමට සැලැසූ ආකාරයෙන් ද එය හෙළිදරව් වෙනවා
එතුමා ඉවසන සුළු කාරුණික පාලකයෙක් විදේශ දේවියගෙන් ලැබුණු පුත්රයා අජාසත් කුමරුට මහත් සෙනෙහසක් එතුමා දැක්වූවා.දිනක් ඇඟිල්ලක විස බුබුලක් හටගැනීමෙන් ළදරු අජාසත් කුමරා මහත් වේදනාවෙන් හඬන්නට වුණා. බිම්බිසාර රජතුමා කුමරුගේ හැඩිල්ල නවත්වනු පිණිස එම ඇඟිල්ල මුව තුලට ගෙන ඉරීම සිදුකළා.
ඇඟිල්ලෙහි වූ විස බුබුල පුපුරා මුව තුලටම ලේ සාරය ගැලුවා .එහෙත් පුතු සනසනු පිණිස එම ලේ සාරය ගිලිමින් ම ඇඟිල්ල ඉරුවා.
මෙසේ මහත් සෙනෙහසින් ඇති දැඩිකළ අජාසත් පසු කලෙක දෙව්දත් තෙරගේ උපදෙස් අනුව සිය පිය රජු මරා රජ වීමට සුදානම් උනා .මේ බව සැලවූ කල්හි රජතුමා පුතණුවනි ….රජකම ගැනීමට මා මරන්නේ කුමටද ..? රාජ්ය භාර භාරගන්න යයි පවසා තමාගේ රාජ්ය පැවරීමට තරම් එතුමා ඉවසන සුළු කාරුණික පාලකයෙක් බවට පත්වුණා.
බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ සැදැහැවත් දායකයකු වීම ගැන ඊර්ශයා කළ දෙව්දත් තෙර අජාසත් කුමරු ලබා කෙසේ හෝ රජතුමා මැරවීමට සිතුවා .
ඔහුගේ උපදෙස් අනුව අජාසත් බිම්බිසාර රජතුමා සිරකොට ආහාර නොදී පීඩාවට පත් කළා. එතුමා එම කායික පීඩාවක් යටපත් කර ගත්තේ මගධ රාජ්යය ගිජුකුළු පව්ව යන ස්ථානවල වැඩහුන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහියට නගා ගැනීමෙන් ඇති කරගත් බුද්ධාලම්භන ප්රීතිය නිසයි…
අජාසත් හට සිය පියාගේ ගුණ සිහියට නැගුණේ තමාටද පුතෙකු උපන් අවස්ථාවේ දී ඔහු සිය පියාණන් සිරගෙයින් නිදහස් කරන ලෙස අණ දුන් නමුත් ඒ වන විට එතුමා මරණයට පත්වෙලා තිබුණා. වැරදි උපදෙසින් නොමග ගොස් පියාණන් මැරීමෙන් සිදු කළ අපරාධය ගැන අජාසත් බලවත් සේ කම්පාවට සහ පසුතැවිල්ලට පත් වුණා
ඔහු තම මානසික පීඩාව නිවා ගැනීමට සුදුසු බණ ඇසීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තමා මෝඩකම දරුණුකම හා පවිටු ඇසුර නිසා ගුණවත් දැහැමි පියරජුගේ දිවි තොර කිරීමෙන් සිදුකළ බරපතළ පාප කර්මය ගැන පවසමින් හැඬුවා.
සැදැහැවත් බෞද්ධ උපාසකයෙකු වූ බිම්බිසාර රජතුමා තමාට එබඳු අපරාධයක් කළ සිය පුත් අජාසත් කුමරා කෙරෙහි දැක්වූයේ මෛත්රිය පෙරදැරි කරගත් අනුකම්පාවක් මේ නිසාම රජකු ලෙස බිම්බිසාර රජතුමා කෙරෙහි තිබූ දැහැමි බව හා ඉවසීමේ ගුණය මනා කොට පැහැදිලි වෙනවා.
රජෙකු අවිවාදයෙන්ම සමස්ත ජනතාව වෙනුවෙන් ආදර්ශමත් චරිතයක් ගොඩ නැගිය යුතුයි.එදා සමාජය තුළ රජකු ලෙස කිනම් බලය පැවරී පැවතුනත්… එය ධාර්මික හා ඉවසිලිවන්ත වීම තුළ තුල ලබාගත ජයග්රහණයන් බොහෝ බව පසක් කලා.
දැහැමි ජීවිතයක් තුළින් අත්හැරීම පුරුදු කර ගැනීම තුළින් සහ ධාර්මික ජීවිතයක් මතින් පාලන කටයුතු පවත්වා ගැනීමෙන් සමාජමය දායකත්වයක් සපුරා ලීමට රජකුට හැකියාව තිබුණා.මේවා සදාකාලික ආදර්ශයන් බවට පත් කර ගනිමු….රජෙකුගේ ජීවන දර්ශනයෙන් සමස්තයට ආදර්ශයක් වෙමු…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood