Temples of Sri Lanka

සමාජයේ කුඩාම ඒකකයෙන් විහිදූ බොදු සුවඳ….

පාසල නියම වේලාවට ආරම්භ කරයි. සීනු නාදය අනුව හැම කාලපරිච්ඡේදයකදීම එහි වැඩ කටයුතු මැනවින් සිදු කරයි .පාසල තුළ නියම කාල සටහනක් අනුව කාර්යයන් සිදු වන්නේ එහෙයිනි .ඒ ඒවා සඳහා මැනවින් කාලය යොදවා කළමනාකරණය කර ඇති බැවිනි.

කාල යනු ඉතා වටිනා දෙයකි .අපතේ ගිය හොත් නැවත ලබාගත නොහැකි දෙයකි. කාලයෙහි අගය වටහා ගත් උතුමෝ නියම දින චරියාවක් අනුව දවසේ කටයුතු කිරීමට කළමනාකරණයෙන් යුතුව මනා සංවිධානයකින් යුතුව කටයුතු කරයි.

කාලයෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්නා පුද්ගලයාගේ ක්‍රියාවන් එසේ සිදු වන අතර එසේ නොවුණ තැන දී නිසි ප්‍රයෝජනයක් කාලය හරහා ළඟාකරගත නොහැකි වනු ඇත.

ලක්දිව රජ රජකල පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා දඹදෙණිය රාජධානිය කොටගෙන ලක්දිව රජ කල රජවරයෙකි. එතුමා දින චරියාවක් අනුව කාලය ගත කළ උතුම් රජකෙනෙකි. ඔහු විසින් අනුගමනය කළ දින චර්යාව ලුහුඬින් දක්වා සිටියහොත් ,

පිබිදීම
භාවනා කිරීම
දළදා වහන්සේට පූජා පැවැත්වීම
උදෑසන ආගමික කටයුතු වල යෙදීම
රාජකාරි කටයුතුවල නිරත වීම
ශරිරික ව්‍යායාම ගැනීම
රාජ සභාව පැවැත්වීම
විනෝද ක්‍රීඩාවල යෙදීම
රාත්‍රියෙහි ආගමික කටයුතු වල යෙදීම නින්දට යාම

මේ තොරතුරු අපට හමු වනු ඇත .

මෙසේ මේ තොරතුරු හුවා දැක්වීමට ප්‍රධාන අරමුණක් ඇත .එදා රජ වරයෙකු වශයෙන් ඔහු තුළ තිබූ කාල කළමනාකරණය සහ දින චර්යාව ඉතා වැදගත් ස්ථානයක යෙහෙන් තිබුණු කර්යයක් බව මේ හරහා මනාව ප්‍රකට වනු ඇත .

රජු වශයෙන් හා රටේ නායකත්වය දැරූ එකම පුද්ගලයා වශයෙන් ඔහු තුළ තිබිය යුතු නායකත්වයේ දූරදර්ශී ක්‍රියාපිළිවෙත් ඔහු තුළ තිබුණා විය හැක .

ආදර්ශවත් වූ බෞද්ධ නිවසක් තුළ ද මෙසේ මැනවින් පිළියෙළ වූ දින චර්යාවක් තිබීම අත්‍යවශ්‍යය. එවිට හැමදෙනාම සැලැස්මක් අනුව කළමනාකරණයක් යටතේ සිය වැඩ කටයුතු කිරීමට නිරන්තර පුහුණුවක් ලබයි.

එයින් ගෙදර කටයුතු ද නිරවුල් වන අතර කලට වේලාවට සියලුම දෙනාගේ කාර්යයන් හොඳින් සිදු වීම ද දක්නට ලැබෙයි.එවිට පවුලේ දියුණුව සැලසෙන අතර එබඳු නිවසක දින චර්යාව තුළ මානසික ආතතියකින් තොරවූ නිදහස් මනසක් පවත්වා ගැනීම සහ පවුලේ සියලු දෙනා අතර එකමුතු භාවය නිරවුල්භාවය වර්ධනය කිරීමටද හේතු සාධක වන බවද පැහැදිලි වෙයි.

ආදර්ශමත් බෞද්ධ නිවසක දින චරියාව …

උදෑසනින් පිබිදීම
මූණ කට සෝදා ගැනීම
ආගමික වතාවත්වල යෙදීම
උදය ආහාරය ගැනීම
දවසේ වැඩ කටයුතු වල යෙදීම
දිවා ආහාරය ගැනීම
දවසේ ඉතිරි වැඩ කටයුතු වල යෙදීම
ක්‍රීඩා ශාරීරික ව්‍යායාම ආදිය යෙදීම
රාත්‍රියේ ආගමික වතාවත් වල යෙදීම
රාත්‍රී ආහාරය ගැනීම
පවුලේ සාමාජිකයන් ඇසුරු කිරීම
තුණුරුවන් සිහි කර නින්දට යාම

මෙබඳු දින චරියාවන් අනුගමනය කරමින්, නිවසක දෙමාපියන් උදෑසනින්ම අවදි වී, දූදරුවන් අවදි කරවමින්, සියලු දෙනාම පළමුකොට මුහුණ කට සෝදා පිරිසිදුවී , ඉන් ඉක්බිතිව සියලු දෙනාම ආගමික වතාවත්වල යෙදෙමින්, වැඩිහිටියන් උදේ ආහාරය පිළියෙල කරමින්, දරුවෝ පාඩම් කරමින් සුදුසු වේලාව පැමිණි විට කවුරුත් එකට හිඳ උදේ ආහාරය ගැනීමෙන්, රැකියා සඳහා පිටත්ව යන්නන් ඒ සඳහා නික්ම යාමෙන්, දරුවෝ පාසැල් යාමෙන්, නිවසෙහි රැඳෙන අය ගෙදර වැඩ කටයුතුවල නිරත වීමෙන්,කටයුතු කරන මේ සාමූහික එකඟත්වය තුළ යෙදෙන පවුලක් සමාජගත වේ .මෙය ගුණ සුවඳ වහනය වන්නා වූ සමාජමය දායකත්වයකි .

නිදහස් නිරවුල් මනසකින් යුතුව පවුල් ඒකකය තුළ සතුටින් රැඳෙන්නට වූ අවස්ථාවක උරුමය මෙහි ප්‍රථිපල වේ. සමාජයට දායක වන කුඩා ම ඒකකය වූ පවුල තුළින් වහනය වන සුන්දර අත්දැකීමකි.

පාසලට ගිය දරුවන් ආපසු නිවසට පැමිණ තමන්ගේ දවල් ආහාරය අනුභව කරමින් හා ඒ වන තුරුම ගෙදර සිටින අය සෑහෙන වෙලාවක් තමන්ගේ කටයුතු වල නිරත වීමෙන් එතැන් සිට සවස් වනතුරු දරුවෝ ද ගෙදර කටයුතුවලට උදව් දීම පාඩම් කිරීම ක්‍රීඩා කිරීම ආදී නොයෙක් කටයුතු වල යෙදෙමින් තම පවුලත් සමඟ එකට බැඳෙන අවස්ථා සහයෝගයෙන් භුක්තිවිඳීමට මෙම ක්‍රියාකාරී කාර්‍යයන් හමුවේ අපට හැකියාව ලැබේ.

සන්ධ්‍යාව පැමිණෙන විට පවුලේ සියලුම සාමාජිකයෝ යළිත් එකට මුණ ගැසෙති. කවුරුත් එකතු වී හවස් වරුවේ ආගමික වතාවත්වල යෙදෙමින් සියලු දෙනාම රාත්‍රී ආහාරයට සුදුසු වෙලාවට හා තමන්ගේ කටයුතු වල යෙදෙමින් පාසල් යන දරුවෝ පාඩම් කරමින් වැඩිහිටියෝ රාත්‍රී ආහාරය පිළියෙල කරමින් සියලුම සාමාජිකයෝ එකට හිඳ ආහාර අනුභව කරමින් නින්දට යන තෙක් ඔවුහු තමන්ට අයත් කටයුතුවල නිරත වෙති. දරුවො පාඩම් කරන අතර සියලු දෙනාම තුනුරුවන් සිහිකර පිරිත් සූත්‍ර දේශනා කරමින් නින්දට යද්දී දරුවෝ දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට වැඳ නින්දට පිවිසෙති .

සාරධර්ම ගහණ වූ පවුල් ඒකකයක් තුළින් සැනසිලිදායක මිනිසුන් සමාජයට එක් වන අතර ම ඒ සාමකාමී පවුල් සංස්ථාවන් සමාජගත වෙයි .

කුටුම්භයක් වශයෙන් ගත් කල පවුල් සංස්ථාව තුළ මෙවැනි ඒකාත්මික භාවයක් ගොනු වෙන විට පවුල් තුළ ඇති මනෝභාවයන් සාමකාමී වාතාවරණයක් සකස් කරයි .

පවුල තුළින් ගොඩ නැගෙන්නා වූ මානසික සහනය මතින් සමාජයට පීඩාවක් ඇති නොවේ .

වර්ධනය වන සමාජමය සුහදතා මත එකිනෙකාට ආලය කිරීම ,උදව් උපකාර කිරීම, කරුණාවන්ත භාවය, සහ මනුෂ්‍යත්වය මුල්කරගත් අදහස් වලින් ගහන වීම විශේෂයෙන් දැකිය හැකියි .එවන් සමාජයක පිරිහීමේ දොරටු අවම කර ගැනීමේ අවකාශය සකස් වෙයි .මිනිසාට මිනිසා වෙනුවෙන් වූ දයාබරත්වය පිටතට විසරණය වන්නේ පවුල් සංස්ථාවක් තුළින් හටගන්නා මනෝභාවයන් නිදහස් වන තරමටය .

මේ සාමකාමී වාතාවරණය නිවසෙන් අරඹමු .
ලොවක් සනසන හදක් නිර්මාණය කිරීම පවුලෙන් ආරම්භ කරමු …
සුවිසල් සමාජ මෙහෙවරක් ඒ මතින් උදාකරනු හැකිය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X