සම්බුදු දහම සුප්‍රතම ධර්ම සංගායනාවෙන් සුරක්ෂිත වූ වගයි…
ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූයේ තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවූ තැන නිකිණි පුන් පොහෝ දිනකදීය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් නොබෝ දිනකින්ම බුදුදහම සම්බන්ධයෙන් පැනනැගුණු ශාසන විරෝධී හා විනය විරෝධී දෘෂ්ඨීන් සියල්ල මුලිනුපුටා දමමින් බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමේ උදාර අභිලාෂයෙන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ තීරණයක් පරිදි මෙම සංගායනාව පැවැත්විණ.
එවකට විසූ සුභද්‍ර නම් භික්ෂුවකගේ විනය විරෝධී ප‍්‍රකාශයක් ප‍්‍රථම ධර්ම සංගායනාව සිදුකිරීම සඳහා හේතු වූ බව චුල්ලවග්ගපාලියෙහි දක්වා ඇත.
පාවානුවර සිට කුසිනාරාවට තම පිරිස සමග වැඩම කරමින් සිටි මහාකාශ්‍යප හිමියන් හට අතරමග දී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ දුක්මුසු පුවත සැළ විය. ඒ පුවත ඇසූ සිහිනුවණින් යුතු භික්ෂූන් වහන්සේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කළ අතර, කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේ හඬා වැළපෙන්නට විය. එකල්හි ශාස්තෘ වියෝගයෙන් වැළපෙන භික්ෂු පිරිස ඇමතූ සුභද්‍ර නම් මහලූ භික්ෂුව මෙවන් ප‍්‍රකාශයක් කළේය.
අලං ආවුසො මා සොචිත්ථ, මා පරිදේවිත්ථ,
සුමුත්තා මයං තෙන මහා සමණෙන උපද්දුතාව
මයං හොම ඉදං වො කප්පති, ඉදං වොන
කප්පතී’ති ඉදානි පන මයං ය ඉච්ස්සාම
තං කරිස්සාම, යං න ඉච්ýස්සාම න තං කරිස්සාමාති
”ඇවැත්නි, කම් නැත, ශෝක නොකරමු. නොවැළපෙවු. අපි ඒ මහා ශ‍්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. පෙර මෙය තොපට කැපය, මෙය නොකැපය කීමෙන් උපද්‍රවයට පත් කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය නොකරන්නෙමු.” යනුවෙනි.
ඉහත සුභද්‍ර භික්ෂුවගේ ප‍්‍රකාශය මෙන්ම, බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂූන් අතර මතභේද ඇති කළ දේවදත්ත, අරිට්ඨ, සාතිය, ඡුබ්බග්ගිය, ඡුන්න ආදී භික්ෂූන් වහන්සේලා හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ ක‍්‍රියාකලාපයන් ද ධර්ම සංගායනාවක් කල් නොයවා සිදු කිරීමට හේතු සාධක වූවා විය හැකිය.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා බෙදාගත් ඒ ඒ රජදරුවන් එම ධාතූන් වහන්සේලා නිධන් කොට චෛත්‍ය බැඳවීමෙහි යෙදී සිටි අතර, ඒ වන විට භික්ෂු සංඝයා වහන්සේ අතර ජ්‍යෙෂ්ඨත්වය ඉසිලූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉතා ඉක්මණින් තම ශාස්තෘන් වහන්සේ දෙසූ ධර්ම විනය සංග‍්‍රහ කොට තැබීමේ වටිනාකම පිළිබඳව සිත මෙහෙයවීය. සැරියුත් – මුගලන් අග‍්‍රශ‍්‍රාවක දෙනම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම පිරිනිවන් පෑ හෙයින් බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා අතර ඊළඟ තැන වැජඹුණ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා කාර්යයෙහි වගකීම භාරගත්හ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්ථානවල දී දේශනා කොට වදාළ ධර්ම කොට්ඨාශයන් ක‍්‍රමානුකූලව සකස් කොට ආරක්ෂා කරලීම සඳහා ගත් මූලික පියවරක් වශයෙන් එය සැලකිය හැකිය.
ප‍්‍රථම ධර්ම සංගායනාව සඳහා සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා එකුන් පන්සිය නමක් (499* මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තෝරා ගැනිණි. පන්සියයට එක් නමක් අඩුවෙන් තෝරා ගන්නා ලද්දේ ධර්ම සංගායනාවට අත්‍යාවශ්‍යම, එහෙත් එතෙක් රහත් භාවය නොලැබ සිටි අනඳ හිමියන්ට ඉඩක් තබාගෙනය. බුද්ධත්වයෙන් විසිවන වර්ෂයේ පටන් භාග්‍යවතුන් වහන්සේගේ අග‍්‍ර උපස්ථායකව සිටි අනඳ හිමියන් ධර්ම භාණ්ඩාගාරික තනතුර දරමින් සියලූ ධර්මය අසා දැන සිටියත්, උන්වහන්සේ රහත්ව නොසිටියදී සංගායනාවට තොරා ගනිතොත් චෝදනා එල්ලවිය හැකි නිසා එවැනි පියවරක් ගන්නා ලදී.
සංගායනාව සඳහා තෝරා ගැනුණේ රාජානුග‍්‍රහය ද පහසුවෙන් සලසා ගත හැකි රජගහ නුවරය. අජාසත් රජතුමා රජගහනුවර අටළොස් විහාරයන්ම පිළිසකර කළ අතර, සංගීතිකාරක මහරහතුන් වහන්සේලා හැර වෙනත් භික්ෂූන්ට එම වස්කාලය තුළ රජගහනුවරට පැමිණීමට අවසර නොලැබිණ. ඒ, සංගායනාවට කිසිවෙකුගෙන් බාධාවක් නොවනු පිණිසය.
වේළුවනාරාමයට නුදුරෙහි වූ වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සංගායනා ශාලාව පිළියෙළ කොට ආසන ද පැනවිණ. එහි රැුස්වූ මහරහතන් වහන්සේ අනඳ හිමියන්ගේ අසුන පමණක් හිස්ව තිබියදී සෙසු අසුන්හි වැඩ සිටියහ. ඊට පෙර දිනයේ දී රහත් භාවය ලබාගත් අනඳ මහරහතන් වහන්සේ ද නියමිත වේලාවට තම ආසනයට වැඩම කළහ.
මුලින් සංගායනා කළ යුත්තේ ධර්මය ද? විනය ද? යනුවෙන් නැගුණු පැනයට ”විනයො නාම සාසනස්ස ආයු” යනුවෙන් ‘ශාසනය රැුකෙන්නේ විනය නිසා’ බව රහතන් වහන්සේලා පැවසූයෙන් මුලින්ම විනය සංගායනාව ආරම්භ විය. එහිදී විනයධාරීන් අතර අගතැන් දැරූ උපාලි මහරහතන් වහන්සේ ධර්මාසනයට පැමිණ එහි වැඩසිටි විට මහාකාශ්‍යප හිමියන් විනය කරුණු හා නිදාන පිළිබඳව ඇසූ පැනවලට උපාලි හිමියන් පිළිතුරු දීමෙන් විනය පිටකය සංගායනා විය.
ඊළඟට ධර්මාසනාරූඪව වැඩසිටි අනඳ හිමියන් ධර්මය සංගායනා කරන ලදී. ‘විනයට’ ඇතුළත් නොවූ සෙසු සියලූ බුද්ධ වචනයන්ම ‘ධර්ම’ යන්නට ඇතුළත් විය. සූත‍්‍ර පිටකයේ හා අභිධර්ම පිටකයේ සියලූ ධර්මය මෙහිදී සංගායනා වූ බව සඳහන්ය.
බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් සත්වන වර්ෂයේ දෙව්ලොව දී දේශනා කළ අභිධර්මය, සැරියුත් මාහිමියන් වෙත ද දේශනා කරන ලදී. එම අභිධර්මය දත් සැරියුත් මාහිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් ද මෙම සංගායනාවට සහභාගි වී ඇත.
මේ ආකාරයෙන් විනය, සූත‍්‍ර හා අභිධර්මය යන ත‍්‍රිපිටකයම මෙහිදී සංගායනා විය. පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් සංගායනා වූ බැවින් මෙය ”පංචසතිකා” යනුවෙන් හැඳින්වූ අතර, සත් මසකින් සංගායනාව නිමා විය.
අනතුරුව ධර්ම විනය සුරක්ෂිත කොට අනාගතයට දායාද කරලීම සඳහා කටයුතු සම්පාදනය කෙරිණ. විනය පිටකය කටපාඩමින් දරාගෙන අනාගතය සඳහා සුරක්ෂිත කරලීමේ කාර්යය උපාලි මාහිමියන් ඇතුළු ශිෂ්‍ය පිරිසට භාර විය. සූත‍්‍ර පිටකය – දීඝ, මජ්ක්‍ධිම, සංයුත්ත, අංගුත්ත හා ඛුද්දක යනුවෙන් නිකාය පහකට බෙදිණ. දීඝ නිකාය කටපාඩමින් ගෙන ඒමේ කාර්යය ධර්ම භාණ්ඩාගාරික අනඳ මාහිමියන්ගේ ශිෂ්‍යයනට පැවරිණ. ඒ පිරිස පසුකාලීනව ‘දීඝභාණක’ නමින් හැඳින්විණ. එසේම මජ්ක්‍ධිම නිකාය අග‍්‍රශ‍්‍රාවක ධර්ම සේනාධිපති සැරියුත් මාහිමියන්ගේ ශිෂ්‍යනට ද, සංයුත්ත නිකාය මහාකාශ්‍යප මාහිමියන්ගේ ශිෂ්‍යනට ද, අංගුත්තර නිකාය දිවැස්ලාභීන් අතර අග‍්‍ර වූ අනුරුද්ධ මාහිමියන්ගේ ශිෂ්‍යයනට ද පැවරිණ. ඛුද්දක නිකායට අයත් ග‍්‍රන්ථ පසළොස සෑම දෙනාම පොදුවේ කටපාඩමින් දරාගත්හ.
බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන් මෙම සංගායනාව සිදු කිරීම නිසා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම කරුණු මගහැරීමට ඉඩක් නොතිබුණු අතර, බුද්ධ භාෂිතයන් තමන්ම ශ‍්‍රවණය කොට පිළිපැදි රහතන් වහන්සේලා විසින්ම සංගායනාව සිදු කෙරිණ. මෙසේ සිදුකළ ප‍්‍රථම ධර්ම සංගායනාව වනාහි බුද්ධ ධර්මයේ දිගුකාලීන පැවැත්ම තහවුරු කරලීම උදෙසා තැබූ මූලික පදනම බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood