සැනසුම ලබන්න නම්.. හරියටම සිත දිහා බලන්න
බුදු දහම කියන්නේ පරම පවිත්‍ර වූ දැක්මක්.. කිසිම තැනක වැරදීමක් නෑ. කෙනෙකුට ඕනෑම අවස්ථාවකදී මෙහොතක් පාසා සැනසිල්ල උදාකර දෙනවා. එයට අමුතු අත්සාහයක් ගන්න ඔනේ නෑ. ඇස් පනාපිටම දැන් දැන් ම අත්දකින්න පුළුවන්. කවුරුන් හෝ කීවාට, කවර තැනක හෝ සදහන් වූණාට, ඒවා පිළිගැනීමෙන් පලක් නෑ. ප්‍රතිඵලය ලැබෙන්නේ තමාගේ ඇතුළතින්ම දුටු ප්‍රමාණයටයි.
ඒ අත්දැකීමෙන් ලබන සැනසුම කිසිම කෙකකුට කවර අයුරකින්ත් වෙනස් කරන්න බෑ වචනයෙන් විග්‍රහ කරන්නත් බෑ. ඒ සැනසුම ලැබූ තැනත්තාට හැම තැනක දීම ලොව්තුරු සුවය විදිමින් කාලය ගත කරන්න පුළුවන්. ඔහු ලෝකය වෙනස් කරන්නේ නෑ. ඔහු ලෝකය පිළිබද තමා තුළ පැවැති වැරැදි මත, වැරදි ද්‍රෂ්ටි අයින් කළා පමණයි. වස්ත්‍රෙය් කිලිටි බව අයින් කළාම සැහැල්ලුව පිරිසිදු බව ප්‍රිය මනාප බව නිරායාසයෙන්ම ලැබෙනවා වගේ ඒ සදහා අප දකින්න ඔනේ අප තුළ ක්‍රියාත්මක වන ධර්මයයි.බුදුරදුන්ගේ පවිත්‍රත්වය හෝ අධ්‍යාත්මිකව ලැබූ ශක්තිය අපට පොතක් තුළින් දැක ගන්න බැහැ.
අප විසින් කළ යුතු වන්නේ ඒ පාරිශුද්ධ වූ ආධ්‍යාත්මික ශක්තිය අපේ ජීවිත තුළත් වර්ධනය කරගැනීමට උත්සාහ කිරීමයි.
මෙය තම තමා විසින් කරගත යුතු දෙයක් “ පච්චත්තං වේදිතබ්බෝ,, කීවේ ඒ නිසාම තමයි.
තමා ලබාගන්නා දේ තමා සතුයි. තමා සතු දේ කිසිවකුට වෙනස් කරන්න බෑ. තමා පසු පස ගමන් ගන්නා හොදම කල්‍යාණමිත්‍රයා තමන් සතු ධර්මය ශක්තිය පමණයි.
ධර්මය ඉගෙනීම යථාර්ථයෙන් ම කළ යුතු දෙයක්. අපේ ජීවිත තුල පවතින අතෘප්තිකර භාවය, අසහනකාරී ස්වභාවය, අසතුට ට පත්වන ස්වභාවය යන තත්ත්වයන්ගෙන් ඉවත් වී තෘප්ති කර ආකාරයකට දවස ගත කිරීම සහ සතුට හා සැන සුම ලබා ලැලීමටත් අප හා ජීවත් වන අසල්වැසියන්ටද සතුට හා සැනසුම ලබා දීම සදහාත් ධර්මය ප්‍රායෝගික ජීවිතයට ආවේණික කර ගත යුතුයි.
එවිට ඇත්තෙන් ම අපට ධර්මය ආශිර්වාදයක් වෙනවා. ධර්මය පිළිපදින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියන්නේ ඒ නිසයි.
මනස සන්සුන් කර ගත්තට පස්සේ මනස පවතින්නේ මනසට ආවේණික වූ සත්‍ය වූ ස්වභාවයෙන්. මනස සසල වූණාට පස්සේ කෙළවරක් නැති සිතිවිලිවලින් පුරවලා මනස දූෂිත වූවක්, විකෘති වූවක් කරනවා. මේ නිසා අප පළමුව කළ යුතු වන්නේ මනස සැහැල්ලු කරමින්, මනස සන්සුන් කරමින්, මනස නීරෝගී කරමින් සහ මනස ශක්තිමත් කරමින් අප ජීවත් වන මේ විශ්වයේ පවතින සැබෑ වූ සත්‍ය අවබෝධ කර ගැනීමටට වීර්ය උපදවා ගැනීමයි.
මිනිසා ජීවත් වීමේ දී සෑම මොහොතක ම ඇසට, කණට, නාසයට, දිවට, ශරීරයට මූලිකත්වය දෙමින් කටයුතු කරනවා. මේ පංචන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තු ගෝචර වීම හේතුවෙන් හා ඒවාට අනුව සිත මෙහෙයවීම හේතුවෙන් අපගේ කටයුතු වල ව්‍යාකූල ස්වභාවයක් ඇති කරනවා.
මෙහිදී කළ යුතු වන්නේ ධර්මය ප්‍රායෝගිකව භාවිතයට ගැනීමයි. මෙහිදී ධර්මය ලෙස මා අදහස් කරන්නේ ස්වභාව ධර්මයේ පවත්නා වඋ පරම සත්‍ය ස්වභාවයයි. ස්වභාව ධර්මයේ පවත් නා වූ මෙම පරම සත්‍ය ස්වභාවය අප ජීවිතය තුළත් සාධාරණව පවතින බව අවබෝධ කර ගත යුතුයි. එහි දී මනසට මුල්තැන ලැබෙන අතර මනසේ ක්‍රියාකාරීත්වය ද පළමු කොට අවබෝධ කරගන්න ඔන. සිත දුබල දුර්වල එකක්. දියෙන් ගොඩ දැමූ මාළුවෙක් සේ චලනය වන ස්භාවයෙන් යුත්තයි. චලනය වන නිසා සිතේ ශක්තියක් නෑ. මේ චලනය නතර කර ගත්තොත් එතැනයි ශක්තිය ගොඩ නැගෙන්නේ.
පහනක දැල්ල සෙලවෙනවා නම් ඒ දැල්ලේ ආලෝකයෙන් යමක් කියන්න බෑ, ඒ දැල්ල සෙලවෙන නිසා ඒ දැල්ලේ ආලෝකයෙන් වැඩක් ගන්නනම් ඒ දැල්ල සෙලවීම නතර කරන්න ඕනේ.
දැල්ලේ සෙලවීම නතර වුනාම, නතර කළාම ඒ පැතිරෙණ ආලෝකයෙන් වැඩක් ගන්න පුළුවන්. දැල්ල සෙලවීම නතර කිරීමට බලන්න ඕනේ. ඇයි මේ පහන් දැල්ල සෙලවෙන්නේ කියලා. දැල්ල සෙලවෙන්නේ සුළග නිසා. කොහෙන් ද මේ සුළග හමන්නේ. දොරටු වලින්. දොරටුවලින් සුලග එනතාක් කල් දැල්ල සෙලවෙනවා.
සෙලවීම නවත්වන්නට නම් සුළග ඒම නවත්වන්න ඕනේ. සුළග ඒම නවත්වන්නට නම් හොදින් දොරටුව වහන්න ඕනේ. ඔබෙත් මගෙත් සිත සෙලවෙනවා. සිත සෙලවෙන්නේ කුමක් නිසා ද? අරමුණු නිසා. චක්ඛුද්වාර, සෝතද්වාර, ඝාණද්වාර, ජිව්හාද්වාර, කායද්වාර, මනෝද්වාර යන දොරටු නිසා.
ඒ නිසා දොරටු වලට රැකවරණයක් අවශ්‍ය වෙනවා. මොනවාද මේ ඉන්ද්‍රිය ගෝචරවන්නේ? කොහොම ද සිත පිරිසුදු කර ගන්න ඕනේ?. තණ්හාව, අවිද්‍යාව, නිසා. අවිද්‍යාව නිසා තණ්හාව ඇත්තේ. අවිද්‍යාව තණ්හා දෙක නිසයි සසර දුක අපට උරුමයක් වගේම අරුමයක් වෙලා තියෙන්නේ. ලැබීම අපේක්ෂාව නම් අවිද්‍යා, තණ්හා දෙකන් මිදෙන්න ඕනේ.
ඔබට තෙරුවනේ අනන්ත ගුණ බලය ලැබේවා…
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood