Temples of Sri Lanka

සතර අගතියට නො වැටී දිවි ගෙවමු

ජීවිතය සාර්ථක කරගන්නට කොතෙකුත් උත්සාහයන්  විවිධ උපක්‍රමයන් යොදා ගත්තත්  සමහර අවස්ථාවල දී ඒවා බිඳ වැටෙනවා  ව්‍යාපාර , තමන්ගේ පවුල් පරිසරය ,දියුණු කරගන්නට අප නොයෙක් අන්දමින් තමන්ගෙ ධනය ශ්‍රමය කාලය කැප කරනවා මූලික අවධානයක් ලබා දුන් අවස්ථාත් ඒ සඳහා එමටයි .

අපට බොහෝ අවස්ථාවලදී දානමාන දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා  මනා ලෙස අලංකාර අන්දමින් පින්කම් කරලා තියනවා  ඒ දේවල් කිරීමේදී අපට නොයෙකුත් වගකීම් ලැබෙන්නත් ඇති මේ වගකීම් සාර්ථකව ඉටු කරන්නත් ඇති

හැබැයි මේ විදියට කිසිදු දෙයක් සාර්ථකව සිදුකර ගන්නට නොදෙන අන්දමින් අපේ ජීවිතය තුළ කරුණු හතරක් පවතින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා මෙන්න මේ කරුණු හතර අපේ ජීවිතය තුළින් ප්‍රහාණය කිරීමට අප අපොහොසත් වුනොත් බොහෝ කරදර මධ්‍යයේ ජීවත් වීමට සහ සමාජයෙන් නින්දා අපහාස ගැරහුම් ලැබීමටත් සිදුවන බව සහ පරලොව දුගති ගාමී වීමටත් සිදුවන බවත් බුදුන් වහන්සේ  දේශනා කළා

ඒ වගේමයි අප විසින් සිදු කරන පින්කම් බාහිරට අලංකාර ලෙස පෙනුනත් එයින් රැස්වෙන පින මහත්ඵල මහානිශංස වෙන්නේත් නැහැ.

අවස්ථාවකදී  බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා…

ඡන්දා දෝසා භයා මෝහා
යෝ ධම්මං අති වත්තති
නිහීයතී තස්ස යසෝ 
කාල පක්ඛේව චන්දිමා

යමෙක් කැමැත්ත හේතුවෙන් ද්වේශය හේතුවෙන් බය හේතුවෙන් මෝහය හේතුවෙන් සත්පුරුෂ ධර්මය ඉක්මවා යයිද කළුවර පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පිරිහී යයි.

මේ හේතුව නිසාම මේ කරුණු හතර මුල් කරගෙන ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුළ සතර ආකාරයකින් අකුසල් රැස් වෙනවා

චන්දය කියන්නේ කැමැත්තට හැබැයි ඒ කැමැත්ත තුළින් අපි අගතිගාමී වුවොත් අපට නොයෙකුත් ප්‍රශ්න අර්බුද කම්කටොලු ඇතිවෙනවා ඒ වගේමයි සතුටුදායක අවස්ථා එනකොට අපි කයින් වචනයෙන් සිතින් ක්‍රියා කරන ආකාරය අනුව අපට නොයෙකුත් පාපී අකුසල් රැස් වීමේ අවදානමක් තියෙනවා

පිරිසක් සමඟ එකට වාසය කරන විට ඒ පිරිස සිතින් ඇසුරු කිරීමට අපට නොහැකි වන්නේ ඡන්දයෙන් අගතියට යෑම නිසයි ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කිරීම නිසා කේලම් කීමෙන් සුදුස්සාට සුදුසු තැන දීමෙන් නොදීමෙන් නොයෙකුත් වංචනික ක්‍රමයන් අනුගමනය කිරීමෙන් අපේ ජීවිතයට නොයෙකුත් අපායගාමී පව් රැස් කර ගන්නවා

යම් යම් කරුණු මුල් කරගෙන අපට තරහ ගියා අවස්ථාවට බොහෝ මතක ඇති නමුත් එය අවස්ථාවට අනුවවැලි වල ඇඳපු ඉරක් වගේ දියේ ඇඳපු ඉරක් වගේ අපට ප්‍රහාණය කරගන්න බැරි  උනොත් හරියට ගලේ කොටපු දෙයක් වගේ සටහන් වෙනවා

එසේ හිතට ක්‍රෝධය බද්ද වී වෛරයක් වන පාපී අකුසල් ඇතිවන්නේ ද්වේෂයෙන් අගතියට යෑම නිසයි

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යහපත හා ධර්මය නොදැන යම් ප්‍රබෝධයක් මිනිසකු මැඩගෙන යයිද එකල්හි ඔහු අඳුරට පිවිසි අන්ධයෙක් වැනියි කියලා

තමන්ට තියෙන තැන නැති වෙලා යයි  නැත්නම් තමන්ට තියෙන කීර්තිය ප්‍රශංසාව නැතිවෙලා යයි රස්සාව මට නැති වෙලා යයි කියලා ලාමක අකුසල් ස්වභාවයක් නිසා අපි භයෙන් අගතියට ගොස් කටයුතු කළ අවස්ථා කොතෙකුත් ඇති

උදාහරණයක් විදියට අපි හිතමු කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක් ඔබ කියලා දවසක ඔබටත් වඩා පළපුරුදු ඇති දක්ෂ සේවකයෙක්  එතනට බඳවා ගන්නවා එතකොට අපේ හිතට විශාල භයක් ඇතිවෙනවා මට තියෙන තනතුරු ලාභ සත්කාර මේ පුද්ගලයා විනාශ කරාවි කියලා ඒ නිසාම පුද්ගලයා කෙරෙහි ඇතිකරගත් බය නිසා අගතිගාමී වීම නිසා අපේ ජීවිතයට වචනයෙන් පව් රැස්වෙනවා මෙන්ම සිතෙන් ද පව් රැස් කර ගන්නවා

මෝහය කියන්නේ මුලාවට

මෝහයෙන් අගතියට ගියාට පස්සේ එයාට හරි වැරැද්ද තේරෙන්නේ නැහැ යහපත අයහපත පිළිබඳ තේරෙන්නේ නෑ ඒ වගේමයි මධ්‍යස්ථව නුවණින් යුක්තව කල්පනා කරලා තීරණයක් ගන්න හිත නැමෙන්නෙ නෑ

ඒ නිසා තමන් හරි කියන මාන්නය නිසා තමන්ගේ අඩුපාඩු අඳුනගෙන අඩුපාඩු නිවැරදි කර ගෙන ජීවිතය නිසිලෙස දියුණුවක් ලබා ගැනීමට අපොහොසත් වෙනවා .

මේ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා යමෙක් කැමැත්ත හේතුවෙනුත් ද්වේෂය හේතුවෙනුත් බය හේතුවෙනුත් මෝහය හේතුවෙනුත් සත්පුරුෂ ධර්මය ඉක්මවා නොයයි නම් මෝරන පක්ෂයෙහි සඳක් මෙන් ඔහුගේ කීර්තිය පැතිරී යනවා කියලා

දුර්ලභ මිනිසත් බව ලැබූ අප දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලැබූ අප සතර අගතියට යට නොවී කටයුතු කරන්නේ නම්, අපගේ ජීවිත සාර්ථකව ගත ගත කිරීමට හැකියාවක් ලැබෙනවා .

මේ නිසා ආර්ය ශ්‍රාවකයා  කිසි දිනෙක කිසි තැනක  සතර  අගතියට නො යයි . ඒ සියලු දෙනාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනෙහි සැබෑ ම පිළිසරණ ලබා ගත්තෝ බවට පත් වෙන බව උන් වහන්සේ පැහැදිලි කලා.

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X