Temples of Sri Lanka

ඇසල සඳයි සඳ එළියයි…නිවුණු සිතයි මෙත් සිසිලයි…

ශ්‍රී ලංකාවාසී සියලුම ජනයාට ඇසළ  මාසය උත්සවශ්‍රියෙන් ආගමික භක්තියෙන් ගත කළ හැකි මාසයක් වෙනවා.  ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල පෙරහැර පැවැත්වීම කෙරෙන්නේ ඇසළ මාසයේ නිසා එය සිංහල සංස්කෘතිය තුල පෙරහර මාසය ලෙසත් හඳුන්වනවා .මේ කාලයේ සූර්යයා කටක රාශියේ ගමන් කරන බව ජෝතිෂ්‍ය මතය බවටත් සඳහන් වෙනවා.

ඇහැල මල් පිපෙන මාසය කියා මේ මාසය ඇසළ වී යැයි මතයක්ද තිබෙනවා. යල කන්නයේ අස්වැන්න මෝරන කාලයේදී අතීතයේ ගැමි සංස්කෘතියට අනුව විහාරවල යුගාසන දහම් දෙසීම, ගමේ නාඩගම් නැටීම, බලි තොවිල් කිරීම, මේ කාලයේ බහුලයි.

සිදුහත් ගෞතම තවුසාණන් නේරංජනා නදිය අසබඩ ඇසතු බෝ  සෙවණේ දී බුදුබව ලැබුවේ වෙසක් පුර පසළොස්වක  දිනක නිසා සියලු බෞද්ධ ජනයාට එම දිනය ඉතා උතුම් දිනයක්. එසේම සිදුහත් උපත සිදු වුණේත් බුද්ධ පරිනිර්වාණය සිදු වුණේත්  එදින නිසා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකරන දිනය ලෙස තවත් වැදගත්කමක් තියෙනවා

එහෙත් ඇසළ පොහොය බුදුසිරිතේ වඩා වැදගත් පොහොය දිනයක් වන්නේ සිදුහත් කුමරා සත්‍ය සොයා ගිහිගෙයින් නික්ම ගිය හෙවත් මහාභිනිෂ්ක්‍රමණය කළ දිනය ඇසළ පොහෝ දිනය නිසයි

අසීමිත ධර්ම ඥානයේ දුකින් පෙළෙන සත්වයාට  එය අවබෝධ කර දීමේ ශ්‍රේෂ්ඨ ආරම්භය බුදුරජාණන් වහන්සේ විසින් ඇසල  පුන් පොහෝ දිනක සිදු වූ නිසා ධර්මකාමී ජනයාට ඇසළ පොහොය දිනය ඉතාමත් වැදගත් දිනයක්

ලෝවැසි පොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි….

👉ඉන් පළමුවැන්න සිදුහත් කුමරා ඇසළ පුන් පොහෝ දිනයේ දී මහාමායා දේවියගේ කුසෙහි පිලිසද ගැනීමයි.

👉බෝසත් කුමරා ගිහි ගෙයින් නික්ම යාම හෙවත් අභිනිෂ්ක්‍රමණය හා ඊට සමගාමීව රාහුල කුමරාගේ උපත සිදුවූයේ ද ඇසළ පුන් පොහෝදා කයි

👉ගිහි ගෙයින් නික්ම ගිය ඒ ගමන සාර්ථක වීමෙන් බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම ධර්ම දේශනාව උදෙසා (ධම්මචක්කප්පවත්වන සූත්‍රය වෙනුවෙන්) පස් වග තවුසන් හෙවත් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි ,යන තවුසන් සොයාගෙන බරණැස ඉසිපතනයේ මිගදාය ට බුදු හිමියන් වැඩම කරන ලද්දේ ද අද වන් වූ ඇසළපුන් පොහෝ දිනකයි

👉එසේම ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ ද අද වන් වූ උතුම් පොහෝ දිනකයි.

👉බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් විසීම  සිදු වූයේත් ඇසළ පුන් පොහෝ දිනයේ දීයි.

👉එමෙන්ම සංඝයා වහන්සේගේ පෙර වස් එළඹීම ද මෙම පොහොය දිනයේදී සිදු කරන ලදී.

👉බුදුරජාණන්වහන්සේ තව්තිසා දෙව්ලොවටවැඩම කොට  මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන් වහන්සේ උදෙසා අභිධර්මය දේශනා කරන ලද්දේත් ඇසළ පොහොය දිනයකදී යි.

👉ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු ආරම්භ කිරීමද මෙම පොහොය දිනයේ දී සිදුවුණා

👉අපේ රටේ මහනුවර දළදා පෙරහර සහ සතර මහා දේවාල පෙරහැර  රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර ගඩ ලා දෙනිය පෙරහැර මැද වල සහ බෙල්ලන්විල පෙරහැර ගල්ගමුව පෙරහැර ආදී බොහෝ ප්‍රධාන පෙරහැරවල් මෙම මාසය තුළ දී පවත්වනු ලබනවා

👉දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දළදා වහන්සේ මෙරටට රැගෙන ආවේ අද වන්වූ උතුම් ඇසළ පොහෝ දිනකයිශසන ඉතිහාසය පුරා බුදු දහමේ වැටීම් නැගීම් පෙන්නුම් කරන අවස්ථාවන්හි දී බුදුදහම මෙරට අතුරුදහන් ව තිබූ යුගයක උපසම්පදාව යළි ඇති කිරීම සඳහා සියම් රටින් උපාලි නම් භික්ෂුන් වහන්සේ කෙනෙකු ගෙන් වා උපසම්පදාව පිහිටවූයේ අදවන් උතුම් ඇසළ පොහෝ දිනකයි .ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලයේදීය

බුදුන් වහන්සේ ලොව පහළ වීමට පෙර සිටම  ඇසළ පොහොය විවිධ ආගමික පිළිගැනීම් හා සම්බන්ධව තිබුණු අතර විශේෂයෙන් දෙවි දේවතාවුන් පිදීමට මෙම පෝය දිනය වෙන් කර තිබුණා.

මෙවන් උතුම් වූ ආදර්ශයෙන් පිරුණු සිදුවීම් සහ සංස්කෘතික හරයන් සහිත ඇසල පොහොය දිනයේ බෞද්ධ වෙහෙර විහාර පුද පුදබිම් බැතිමත් ජනයාගෙන් පිරී යාම විශ්මයට… පුදුමයට …කාරණාවක් නොවේ.

විශේෂයෙන් අනුරාධපුරය පොළොන්නරුව මැදිරිගිරිය දිඹුලාගල හා සෝමාවතිය ආදී පුදබිම්වල අද දිනයේ උත්කර්ෂවත් අන්දමින් ආගමික උත්සව පැවැත්වෙනවා .

ඇසල සමයේ දිවයින පුරා පූජනීය වෙහෙර විහාර හා පුදබිම්වල පවත්වන පෙරහැර ගැන සිතන විට මේ මාසය පෙරහැර මාසය සේ නම් කිරීමේ වරදක් ද නෑ.

ලෝකප්‍රකට මහනුවර ඇසළ පෙරහැර බුදුදහමින් ඔප වැටුණු සිංහල හා ශ්‍රී ලාංකික ජන සංස්කෘතිය මැනවින් විහිදා දක්වන ජාතික පූජෝත්සවයක් ලෙසද සඳහන් කළ හැකියි….

මෙවන් වූ ඓතිහාසික වැදගත්කමක් උසුලන්නා වූ අද අදවන් වූ උතුම් ඇසළ පුර පුන් පොහෝ දිනය…දහම් කටයුතු, දහම් සිතුවිලි පුබුදුවාලන උතුම් පුර පසළොස්වක පොහෝ දිනක් වේවායි!!! බෞද්ධ සහෝදරත්වයේ පැතුමයි…🙏🙏🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X