Temples of Sri Lanka

සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ

මානව සමාජයේ අනෙකවිධ ගැටුම් තැවුල් වියවුල් වගේම ස්වභාවධර්මයේ විපර්යාසයන් මැද මහා පොළොව සේ නොසැලී නුවණින් යුතුව කටයුතු කරන්නේ අම්මායි..

අවට ඇති සමාජය සසල වන හැම අවස්ථාවකදීම කරුණාව දයාව පෝෂණය රැකවරණය සලසා දෙන්නේ ද අම්මායි.

එබඳු උතුම් මව් පදවිය උවම් කළ හැක්කේ මහා බෝධියකට මයි..

අම්මා තරම් සම්මානයට පාත්‍ර වූ මිනිස් චරිතයක් මේ ලෝක ප්‍රජාව අතර තවත් නැහැ. ආදරය සෙනෙහස උල්පතක් ලෙස හඳුන්වන අම්මාගේ කයෙන් බිහිවූ දරුවෝ මානව වර්ගයාගේ සම්භවයේ සිටම වරින්වර ලෝක ඉතිහාසයම වෙනස් කළා. මේ මහා භද්‍ර කල්පය තුල මිනිස් මවක කුසින් ලොවට බිහිවූ උතුම්ම මනුස්ස රත්නය වූයේ ගෞතම බුදුන් වහන්සේ යි.

වහලියක් ලෙස මිනිස් සමාජයෙන් කොන්කර මුළු ගන්වා සිටි සමස්ත කාන්තා ප්‍රජාවට නිදහස උදා කොට දුන් උන් වහන්සේ තමන් වහන්සේගේ මෑණියන්ට දැක්විය යුතු උසස්ම උපහාරය පුද කොට වදාළා.

බුදු සමයේ ආස්වාදය ලද පෙරදිග ආසියානු කලාපයේ රටවල ආදිතම ශිෂ්ටාචාර යුගයේ අම්මා පුද සත්කාර ලැබූයේ මව් දෙවගනක් වශයෙන්.

ලෝකයේ වෙන කිසිදු රටකට නොදෙවැනි වන පරිදි දෙදහස් වසරක් මුළුල්ලේ ශ්‍රී ලක්දිව දී අම්මා පිදුම් ලැබුවා. ගෙදර බුදුන් අම්මා වශයෙන් හඳුන්වා දෙන තරමට ම ඇයට ගරු බුහුමන් දැක්වීමට අප රට ජනතාව පෙළඹුණේ බුදුසමයෙන් ලද සමාජ හික්මීම නිසාමයි.

ශ්‍රී ලාංකික ගැමි සමාජ පරිසරය තුළ අම්මා පවුලේ වගකිවයුතු ම චරිතය බවට පත්වුණා. දරුවන් හදා වඩා පෝෂණය කිරීම ගෙදර දොර වැඩ කර ගැනීම සැමියා උපයන දේ සැකසුරුවම් සහිතව පරිහරණය කිරීම නෑදෑ හිතමිතුරන් අතර සහජීවනය පවත්වා ගැනීම ආදී සත් ගුණ දහමින් ගෘහ ජීවිතයේ ඒකමිතිය සුරැකුණේ අම්මා අතින්.

මේ නිසා අම්මාට උපහාර දක්වනු පිණිස ලියැවුණු විශිෂ්ටතම ගැමි කවි සාහිත්‍යයක් මධ්‍යතන යුගයේදී මේ රටේ පැතිර පැවතුනා. එම පද්‍ය සාහිත්‍යය නිර්ව්‍යාජ ගැමි අත්දැකීම් වලින් වගේම ගැමි භාෂාවෙන් පෝෂණය වුණා. මවක තුළ පවත්නා දරු සෙනෙහස මෙතෙකැයි කියා ප්‍රමාණ කොට දක්වන්නට නොහැකි බව ජන කවීන් විසින් නොයෙක් ආකාරයෙන් වර්ණනා කරන ලද්දේ ඒ නිසා වෙන්නට පුළුවන්…

මව විසින් මේ සංසාරයේ දී දරුවෙකුට පෙව් කිරි සප්ත සප්ත මහා සාගරය පිරී යන තරම් බව එක් ජන කවියක සඳහන් වූයේ මෙන්න මේ ආකාරයටයි..

ඇතින්නියක් ලත් දරු පෙම්බරේයා
ඇතිනි රැළේ හැමටම කිරි එරේයා
දෙතනේ මවක දුන් කිරි මෙසසරේයා
පුතුනේ බලන් සත් සමුදුර පිරේයා

වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළ ජන කවියා… මවකගේ දරු සෙනෙහස විවරණය කළේ ඉහත දැක්වූ රූපයට වඩා වෙනස් ආකාරයකිනුයි..

ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපෙ අම්මා
අහසෙ තරුත් මදෙයි සිතා විලි ලැදැයි අම්මා
මුහුදෙ දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා

ජීවිතයේ අප්‍රමාණ කම්කටොළු හා දුක් වේදනාවන් හිතින්, හිසින්,දරාගෙන වුවත් අම්මා දරු සෙනෙහස මදකුදු අඩු නොකොට ළමයින් පෝෂණය කරන ආකාරය පිළිබඳව මෙබඳු අනගි නිදසුන් ජනකවි සාහිත්‍ය තුළින් අපට හමු වෙනවා.

ඉර පායා ඉර මුදුනට එන්න එපා
සඳ පායා සඳ මුදුනට එන්න එපා
හැඬූ කඳුළු මූදට එක් වෙන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා 

දදරුවන්ට  සෙනෙහස ලබා දුන් අම්මා කෙනෙකු නැති අඩුව මිහිපිට ජීවත්වන තවත් කිසිම අයෙකුගෙන් පිරිමසා ගත නොහැකි බව හා මව් සෙනෙහස අහිමිවීම නිසා වදනින් කියාගත නොහැකි තරම් දුක් සුසුම් හෙලන දරුවන් නගන අඳෝනා ජනකවියෙන් තරම් සංවේදී ලෙස වෙනත් කිසිදු මාධ්‍යයකින් පළ වී නැති තරම් මෙයින් ප්‍රකට වෙනවා…

ලෝකයක් බිහි වෙලා ඇත්තේ මවකගේ කිරි වලින් හා හිරුගේ කිරණින් යැයි ලොව පතල රුවන් වැකිය සිහි ගන්වන මේ ජන කවි දරුවන්ගේ විලාපය ලොවට හඬ නගා පළකිරීමක් ලෙස ඉදිරිපත් වී ඇත්තේ මව් රැකවරණය නොමැති කලක දරුවන්ගේ ලෝකය සදාකාලික අඳුරේ බව ප්‍රකාශ කිරීමටයි…

ඉර හඳ එළිය කරන පරිසරයේ දැක්ම ඔවුනට කටුක වේදනා ගෙන දෙන්නක් බවත් නෙතින් ගලන කඳුළු ධාරා මහ මුහුදු පවා නොඋසුලන බවක් දක්වන බවත් ඉහත කවියේ අවසාන පදය මවු සෙනෙහස අහිමි දරුවන් ගැන අනන්ත දරුවන්ගේ දුක ජීවිතය හරහා හෙළි කරන්නක් බවට ප්‍රකට වෙනවා

ගෘහණියක් ලෙස මවක විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනත් අයකු ලවා ඒ ආකාරයෙන්ම සිදු කරවා ගැනීම ඉතාමත් වෙහෙස කරයි.

බඩු මුට්ටු පිළිවෙළකට තබා තැබීම අරපිරිමැස්ම නිවැසියන්ගේ අවශ්‍යතා දැන හඳුනාගෙන කෑමබීම පිළියෙල කිරීම ආදී මවකගේ මෙහෙවර ඇය නොමැති කල්හි දියණියකට පැවරුණු අවස්ථාවක ඒ දුෂ්කරතාව මෙන්ම අම්මා නැති අඩුව පාලුව ඇය පළ කළ අයුරු මේ ආකාරයෙනුයි පෙන්නුවේ…..

කුකුලා නැති ගෙදර එළිවෙනවා නොදැනේ
ගවයා නැති ගෙදර වැවෙනවා නොදැනේ
බල්ලන් ඇති ගෙදර හොරු එනවා නොදැනේ
අම්මා නැති ගෙදර පණ යනවා නොදැනේ

නිදහස් බෞද්ධ සම්ප්‍රදායෙන් සිතුවිලි ගෙනා පාරම්පරික ජන සංකල්ප උරුම කොට ගත් ජන කවියා අම්මාට සිය ඉහළම උපහාරය පුද කළේ මේ ආකාරයට… ඇය මහා බෝධියට උවම් කරමින්..

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X