යශෝධරාවන්ගේ ගුණ ගැයුණු මැදින් පුර පසලොස්වක පුන් පොහොය අදයි
බුදු සිරිත තුළ වුවද, සූත්ර පිටකයේ වුව ද, ජාතක කතා වස්තූන් ඔස්සේ වුවද මිහිපිට වෙසෙන්නා වූ උදාරතම ස්ත්රිය ලෙසින් බුද්ධ භාෂිතයේ දී විවරණ ලැබුවේ රාහුල මාතාවන් ම පමණි. ඇය බිම්භා දේවි හෙවත් යශෝධරා නමින් ප්රකට ය. ආත්මයක් ආත්මයක් පාතා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ හට සිය විමුක්ති මාර්ගය සාක්ෂාත් කරගැනීම උදෙසා මනා සහයක් වෙමින් ආත්මයක් ආත්මයක් පාසා සම්බුද්ධත්වය ලබන තෙක් ම උන්වහන්සේ ම පතාගෙන පැමිණි පාදපරිචාරිකාව ඇයයි. අද වන් උතුම් මැදින් පුර පසලොස්වක පොහොය දිනෙක මේ ලෝ තලයේ වෙසෙන්නට වූ උදාරතම පතිනිය වූ ද, දුහිතෘ වූ ද, භගිනිය මෙන්ම මෑණියන් වූ ද යශෝධරාවන්ගේ ගුණ බුදුන් වහන්සේ විසින් අගය කොට වදාළහ. එනිසා ම අදවන් දිනෙක අප රාහුල මාතාවන් වහන්සේ වැනි සුචරිතයක් මෙනෙහි කළ යුතු වන්නෙමු.
සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු බුදුන් වහන්සේ තම ශ්රාවක පිරිස සමගින් පිඬු සිඟා වඩිමින් දානය සම්පාදනය කරගන්නා බව අසා ශාක්ය රජු මහත් සේ කැළඹුණු අතර, කිහිපවරක් ම විවිධ වූ පිරිස් යවා බුදුන් වහන්සේට කිඹුල්වත්පුර රජ මාළිගය වෙනුවෙන් වැඩම කරන ලෙස පැවසුවද බුදුන් වහන්සේ වැඩම කළේ හෝ පණිවුඩය රැගෙන බුදු හිමි පාමුලට ගිය පිරිස නැවත මාළිගයට පැමිණියේ ද නැත. අවසන් වශයෙන් සිද්ධාර්ථ කුමරු උපන් දිනයේ ම උපන් කාලුදායි ඇමති තෙමේ මේ පණිවුඩයක් රැගෙන ගොස් පණිවුඩය ලබා දී බුදුන් වහන්සේ අභියස පැවිදි දිවියට අවතීර්ණ වූ අතර අද වැනි මැදින් පොහෝ දිනයක් එළඹි පසු රජගහ නුවර වේළුවනාරාමයේ එවකට වැඩ සිටි බුදුන් වහන්සේ තම ශ්රාවක භික්ෂූන් වහන්සේලා පිරිවරමින් කපිලවස්තුපුර තම ශාක්ය වංශික ඥාති හිතමිත්රාදීන් වෙතට වැඩම කළ සේක.
තමන් වහන්සේ සමගින් මේ සංසාර චාරිකාවට එක්වූ ඥාතී පාර්ශවයන් ද සසර දුකින් මුදවාලනු පිණිස උන්වහන්සේ කපිලවස්තුපුර රජ මාළිගය වෙත වැඩම කොට සුද්ධෝදන රජු ඇතුළු ඥාති පිරිස අරභයා ධර්මපාල ජාතක කතා වස්තුව දේශනා කළ අතර දේශනාව අවසානයේ සුද්ධෝදන රජු සකෘදාගාමි ඵලයට පත්වූ අතර, මහා ප්රජාපතී ගෝතමියන් සෝවාන් ඵලයට පත්වූ සේම නන්ද කුමරු, නන්දා කුමරිය ඇතුළු ශාක්ය කුමර කුමරියන් ද ධර්මාවබෝධය ලැබීය.
ධර්මය හොඳින් අසා අසමින් ධර්මාවබෝධය ලබාගත් අනුරුද්ධ, ආනන්ද, දේවදත්ත සහ උපාලි යන කුමරුවන් සතර දෙනා ද අද වැනි දිනයක ම තම රාජකීය සැප සම්පත් අත්හැර පැවිදි බිමට වැඩම කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. මේ දේශනාව අවසානයේ එම ස්ථානයට නොපැමිණි යශෝධරාවන් සොයා ඇයගේ මාළිගාව වෙතට වැඩම කරන බුදුන් වහන්සේ දැක ඇය එතෙක් කල්ප ගණනාවක් රැකගත් ළයාදර සෙනෙහස ද හිමියන් නොසිටි කාලයේ විඳි දුක් කම්පාව ද පිටකරමින් බුදුන් වහන්සේ පාමුල හඬා වැළපෙන්නීය.
බුදුන් වහන්සේගේ දෙපතුල් ස්පර්ශ කොට, පාදයන් වැළඳගනිමින් හඬා වැළපෙන යශෝධරාවන්ගේ එම ක්රියාව දැක රාජකීයන් ඇය වැළක්වීමට උත්සහ ගත් අවස්ථාවේ බුදු හිමියන් එය වළක්වාලමින් සසර පුරාවට ඇය තනිව ඉවසා දරාගත් එම දුක්ඛයන් මෙසේ හෝ පිටකරගැනීමට ඇයට අවස්ථාවක් දෙන ලෙස වදාලහ. අනතුරුව රැස්ව සිටි පිරිස වෙනුවෙන් ද යශෝධරාවන්ගේ නිම් නොවූ ගුණ ගයමින් චන්දකින්න ජාතක කතා වස්තුව දේශනා කළ අතර බුදුන් වහන්සේ දවස පටන් අද ගෙවෙන යුගය දක්වා ම ප්රේමය, සෙනෙහස විෂයෙහි අප මුදුන්මල්කඩ සේ සලකන ප්රධානතම කාන්තාව යශෝධරාව ලෙස තුන්කාලීන සබහුමානයට පාත්ර වූ සේක.
මෙම කපිලවස්තුපුර වැඩම කිරීමෙන් අනතුරුව නැවත උන්වහන්සේ වේළුවනාරාමය වෙතට වැඩම කිරීමේ චාරිකාව ඇරඹි පසු රාහුල කුමරුන් පැමිණ බුදු හිමියන්ගේ අතැඟිල්ලක එල්ලෙමින් බුදුන් වහන්සේ සමගින් ම වැඩම කළ අතර, රාහුල කුමරුන් සසුන්ගත කරවීම ද අද වැනි දිනයක් ම මුල් කරගනිමින් සිදුවුණ බව සඳහන් ය. එමෙන්ම රාජකීය පවුලේ යුවරජු වූ නන්ද කුමරුන් ද බුදු හිමියන් දානය වැළඳූ පාත්රය ද ගෙන බුදු හිමියන් පසුපසින් විත් අවසානයේ බුදුන් වහන්සේ පැවිදි වන්නේ දැයි විමසූ විට යහපති යනුවෙන් පවසා සසුන්ගත වීය. තම රාජකීයත්වය ආරක්ෂා කිරීමට එකඳු රාජකීය කුමරුවෙකු හෝ ඉතිරි නැති බව දැනගත් සුද්ධෝදන රජු බුදු හිමියන් හමුවෙමින් මව්පියන් නොදැන කුල කුමරුවන් සසුන්ගත නොකරන්න යැයි ඉල්ලා සිටි බුදු හිමියන් ද අද වැනි දිනයක ම තම ශාසනයේ දෙමාපිය අවසරයකින් තොරව කුඩා ළමුන් සසුන්ගත නොකරමු’යි බුද්ධ වචනයක් ස්ථාපිත කළ සේක.
මැදින් පෝය ශ්රී ලාංකික අපට ද වැදගත් වන තවත් කරුණක් ඇති අතර, එනිසා ම අප මැදින් පොහොය ‘සිරිපා පොහොය’ ලෙස ද හඳුන්වන්නට හුරුව සිටින්නෙමු. මාස කිහිපයක් වෙනුවෙන් සිරිපා වන්දනාව මිනිසුන් හට සීමා වන අවාර කාලය අවසන් වී නැවත සිරිපා වන්දනාව ඇරඹි පසුව මෙම පොහොයේ දී වැඩි වශයෙන් සම්බුද්ධ වන්දනාව උදෙසා සිරිපා වන්දනාවේ යෙදෙන්නෝය. එනිසා ම සිරිපා වන්දනාවට වඩාත් යෝග්ය වූ පොහොය මෙය බැවින් ලාංකේය සංස්කෘතියේ දී මෙය ‘සිරිපා පොහොය’ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
මෙවැනි උතුම් හේතු කාරණා ගණනාවක් ම සිදු වූ අති උතුම් අද වැනි මැදින් පුර පසලොස්වක පොහෝ දිනයක් හද බැතින් අප සැමරීම වටිනා සේ ම අද වැනි දිනෙක සිදු වූ අති උතුම් ශාසනික කාරණා මෙනෙහි කරමින් අප ද ජීවිතාවබෝධය ලැබිය යුතු වන්නෙමු.