ප්‍රසංසාවට පත් පාලනයේ තතු…
යහපත් පාලකයකු විසින් ගුරු කොට ගත යුතු මූලධර්ම හතක් සප්ත අපරිහානිය ධර්ම ලෙස සැලකිල්ලට ගනිමු. බුදුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වූ මේ ධර්ම හත වජ්ජි රජදරුවන්ගේ රාජ්‍ය පාලනය පිළිබඳ විස්තරයෙහි දක්වා ඇත.
වජ්ජින්ගේ පාලන තන්ත්රය විධිමත් ව, ශක්තිමත් ව, ස්ථාවර ව පවත්වාගෙන යාමට හේතු වූහ. මෙම මූලධර්ම හත ය. ඒ හත මෙසේ ය.
1. නිතර රැස් වීම.
2. සමගි ව එක්රැස් ව, සමඟිව කටයුතු කොට, සමගි ව විසිර යාම.
3. පෙර නො පැනවු නීති නො පැනවීම, පැනවූ නීති කඩ නො කිරීම හා පැරණි වජ්ජ ධර්ම අනුගමනය කිරීම. (සම්ප්‍රදායානුකූල වීම)
4. වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම හා ඔවුන්ගේ වචනවලට සවන් දිය යුතු බව පිළිගැනීම.
5. විවාහක හා අවිවාහක කාන්තාවන්ට කරදර නො කිරීම හා බලහත්කාරයෙන් වාසය නොකිරීම.
6. වජ්ජි රාජ්‍යය ඇතුළත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලය ගරු සත්කාර කිරීම හා ඒවා නඩත්තු කිරීම.
7. ආගමික පූජ්‍ය පක්ෂයට පහසුකම් සැලසීම, රටට පැමිණි පූජකයන් එහි සුවසේ විසීමට සැලැස්වීම හා නොපැමිණි පූජකයන් එහි පැමිණවීම.
සමස්තයක් වශයෙන් සලකන කල මෙම කරුණු ස්ථාවර රාජ්‍ය තන්ත්රයක යහ පැවැත්ම සඳහා කොතරම් වැදගත් දැයි වටහා ගැනීම දුෂ්කර නොවේ. මේවා ප්රජාතන්ත්රවාදී පාලනයක පැවැත්මට අතිශය උපකාරි වෙයි. සදාචාරාධර්ම පද්ධතියක් මත මෙහෙයවන රාජ්‍ය පාලනයක් මෙමගින් අවධාරණය කෙරේ. බුදුසමය රාජ්‍ය පාලනයෙහි ආර්ථික සමෘද්ධිය හා සදාචාර සමෘද්ධිය එක හා සමාන වටිනාකමකින් අවධාරණය කරන බව පිළිගත යුතු ය
බුදුන් වහන්සේ පන්සාලිස් වසක් දඹදිව නොයෙක් ස්ථානයන්හි, නොයෙක් පුද්ගලයන් පිළිබඳව දේශනා කළ ධර්මයන්හි කෙටි හැඳින්වීම් හෙවත් ඒ ධර්ම දේශනාවන්ගේ මාතෘකා පාඨ පමණක් මහාපරිනිර්වාණ සූත්‍රයේ දී මතක් කර දුන් බව ප්‍රකාශ වේ. බුදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී කළ දේශනාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති ඒවා බව තේරුම් ගත හැකිවන්නේ එම දේශනාවන් විමසා බැලීමෙන් ය. එසේම එම දේශනාවන් විශාල පශ්චාත්කාලීන බෞද්ධ කලා ශිල්පයන්ගේ මූලාරම්භයට මෙන්ම එහි වර්ධනයට හේතු වූ බව පෙනේ. බෞද්ධ සංස්කෘතික ජීවිතය කෙරෙහි ද මහාපරිනිර්වාණ සූත්‍රයේ එන දේශනාවන් උපයෝගී වී ඇත.
මහා පරිනිර්වාණ සූත්‍රයේ දී භික්ෂු සමාජය හා ගිහි සමාජය වශයෙන් සමාජ දෙකක් දැක්වේ. භික්ෂු සමාජයේ හැඩ ගැස්මට හා අභිවර්ධනයටත් ගිහි සමාජයේ දියුණුවටත් උපයෝගී වන ධර්ම දේශනා, උපදෙස්, අවවාද, මහා පරිනිර්වාණ සූත්‍රය තුළින් එළි දැක්වේ. අපරිහානිය ධර්ම ධම්මදාස, අභිහායතන, අෂ්ට විමොක්ෂ, චතුරාර්ය සත්‍ය, සතර මහා පදෙස, යනාදී දේශනා ඉතා වැදගත් ය. එසේම මේ සූත්‍රයේ එන ආශ්චර්ය අද්භූත, මාරකථා විස්තරය, දේව බ්‍රහ්ම විස්තර කුකුත්ථතා නදියෙන් ගෙනෙන ලද, පැන් පිරිසුදු වීම යනාදී තොරතුරු වර්තා, පසුකාලීනව මහායාන ඉගැන්වීම්වල මුලාරම්භ අවස්ථාවක් හෝ මහායාන අදහස් මහා පරිනිර්වාණ සූත්‍රයට ඇතුළත් වීමක් හෝ ලෙසට සිතීමට ඉඩ දෙයි. මේ සූත්‍රයේ සඳහන් වන ස්ථාන හා ග්‍රාම, නගර යනාදියද ආවසථාගාරය, රාජගාරය යනාදී ගොඩනැගිලි පිළිබඳ තොරතුරු ඓතිහාසික මෙන්ම සංස්කෘතික අතින් ද උසස් ස්ථාන ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ වැඩ සිටින අවස්ථාවේදී අජාසත් රජුගේ වස්සකාර බමුණා හමුවෙහි ආනන්ද හිමියන් අමතා වජ්ජින්ට දේශනා කළ අපරිහානිය ධම්ම හත නැවතත් දේශනා කළහ. වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මදේශනාව කළේ, බුදුරජාණන් වහන්සේ වරක් වේසාලියේ සාරන්දද චෛත්‍යයේ වැඩ සිටිද්දී ය. වජ්ජීන්ට, ලිච්ජවීන් යයිද ව්‍යවහාර කරති. ඔවුහු සමුහාණ්ඩු ක්‍රමයක් ඇතිව සිටියෝ ය. එසේම ඔවුන්ගේ බලයද විශාල වන අතර සමගිය නිසාම ඔවුන් පිරිහෙලීම අපහසු බව සඳහන් වේ. බුද්ධ කාලීනව ඉන්දියාවේ ගණ තන්ත්ර රාජ්‍යයක් ඇතිව සිටියෝ වජ්ජිහු ය. ඔවුන් බුද්ධ කාලයටත් පෙර සිට උසස් ගුණධර්මයන්ගෙන් යුක්තව විසූ බව සඳහන් වේ. එබඳු උසස් පිරිසකට බුදුන් වහන්සේ අපරිහානිය ධර්මයන් දේශනා කළහ. එම ධර්මය නැවත මහා පරිනිර්වාණ සූත්‍රයේ දී වස්සකාර බමුණා හමුවේ දේශනා කරන්නේ එම ධර්ම කාරණා හතෙහි ඇති වැදගත් කමත්, ඒවා පිළිපදින්නේ ඉක්මනින් පරිහානිය කරා ළඟා නොවන බවත් ප්‍රකට කිරීමට ය.
එම අපරිහානිය ධර්ම හත වජ්ජීන් පිළිපැදීම නිසා ඔවුන්ගේ පිරිහීමක් නොවුන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළසේක. සාමාජික වශයෙන් සලකා බලන විට මෙම වජ්ජි ධර්ම කවර සාමාජයටත් ගැලපෙන අතර එම සමාජ සංස්ථාවන්ගේ අභිවෘද්ධියට මේ කාරණා මහත්සේ බලපාන බව පැහැදිලි වේ.
“සාමග්‍රිය, නිත්‍යානුකූල වීම, වැඩිහිටියන්ට සැලකීම, කුලකාන්තාවන්ට රැකවරණය කිරීම, පූජනීය ස්ථානයන්ට (චෛත්‍ය, දේවාල ආදියට) ගරු කිරීම, පූජ්‍ය පක්ෂයට ගරු සම්මාන දැක්වීම” යන මූලික කරුණු පෙරදැරිකොට මෙම අපරිහානිය ධර්ම බුදුන් වහන්සේ දේශනා කළ බව පෙනේ. එම උසස් ධර්මතාවයන් කවර සමාජයකට වූවද කවර රටකද වූවද කවර කාල පරිච්ඡේදයකට වූවද එසේ බලපාන කරුණු ය. ඒ නිසා සංස්කෘතික අතින් විශාල වටිනාකමක් මේ වජ්ජීන්ගේ අපරිහානිය ධර්ම තුළින් උද්ගත වන බව පැහැදිලි ය.
වජ්ජීන්ට දේශනාකළ අපරිහානිය ධර්මයන් උපයෝගී කර ගෙන බුදුරජාණන් වහන්සේ මහ පරිනිර්වාණ සූත්‍රයේ දී, භික්ෂූන් උදෙසා ද අපරිහානිය ධර්මයන් දේශනා කොට ඇත. එහිදී බුදුරජාණන් වහන්සේ වජ්ජි ධර්මය අනුව යමින් මුල් අපරිහානිය ධර්ම හත දේශනා කළහ.
භික්ෂුන් නිතර එක්වීම, බහුලව එක්වීම.
භික්ෂූන් සමගිව එක්වීම, සමගිව නැගි සිටීම, සමගිව සංඝ කෘත්‍යයන් කිරීම, මෙයින් භික්ෂු සමාජයේ සමගිය අපේක්ෂා කර ඇත. කෝසම්බි, ධම්මචේතිය යනාදී සූත්‍රවලින් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයෙත් “සුඛා සංඝස්ස සාමගගි” යන අදහස ප්‍රකාශ කොට ඇත. බුදුන් වහන්සේ සමහර විනය නීති පවා භික්ෂූන් වහන්සේගේ සමගිය උදෙසා පනවා ඇත. මහාවග්ග පාලියේ උපොසථක්ඛන්ධයේදී “අනුජානාමි භික්ෂවෙ වාතුද්දසේ පණ්ණජසෙ පක්ඛමියාව අට්ඨමියං සන්නි පතිත්වා” යනාදී ක්‍රමයට රැස්වන ලෙස විනය ශික්ෂා පද දේශනා කළේ සමගිය උදෙසා ය. මේ අන්දමට භික්ෂුසංඝයාගේ සාමගි‍්‍රය බුදුන් වහන්සේ බලවත් සේ අපේක්ෂා කර ඇත.
භික්ෂූන් නොපැන වූ නීති නොපැන වීම, පැන වූ නීති නොසිඳීම.
භික්ෂූන් වැඩිමහලු සංඝ ස්ථවිරයන් වහන්සේලාට ගරු කිරීම, පිදීම හා ඔවුන්ගේ වචන ඇසිය යුතු බව සිතීම.
භික්ෂූන් තණ්හාවගේ වසඟයට නොපැමිණීම.
භික්ෂූන් ආරණ්යසේනාසන්නයන්හි සාපේක්ෂව වාසය කිරීම.
භික්ෂූන් බ්‍රහ්මචාරිව වාසය කිරීම, ආගන්තුක සත්කාර කිරීම.
යන මේ සප්ත අපරිහානිය ධර්ම භික්ෂු සමාජයේ අභිවෘද්ධිය සඳහා දේශනා කර ඇති බව පෙනේ. එම සප්ත අපරිහානිය ධර්ම පොදු භික්ෂු සමාජයේ දියුණුවට අදාළ වන කරුණු ය. වජ්ජි ධර්මය මෙන්, ඒවාද සමාජ ධර්මයක් ලෙස සිතිය හැක. බුදුන්වහන්සේ භික්ෂූන් උදෙසා අපරිහානිය ධර්ම හතක් පමණක් දේශනාකර නොනැනවතී, තවත් අපරිහානිය ධර්ම (7) හතේ කොටස් හතරක් ද (6) හයේ කොටස් 1 ක් ද වශයෙන් අපරිහානිය ධර්ම (41) හතලිස් එකක් දේශනා කළහ.
බුදුන් වහන්සේ ඊළඟට දේශනා කළ අපරිහානිය ධර්ම (7) භික්ෂූන්ගේ බාහිර කරුණු පිළිබඳවය.
එම අපරිහානිය කරුණු බොහෝ විට භික්ෂු සමාජයෙන් පරිබාහිර කරුණු කෙරෙහි යොමු වූවා සේ පෙනේ. භික්ෂූත්වයට නොගැලපෙන කටයුතුවලට භික්ෂූන් නොයැදී සිටීම දියුණුවට හේතුවක් බව දක්වා වදාළහ. ඒ හැර අධ්‍යාත්මික දියුණුව භික්ෂූන් තුළ ඇති කර ගැනීමට උපකාරී වන අපරිහානිය ධර්ම ඊළඟ කොටස් වලින් පැහැදිලි කොට ඇත. “ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බාහුසචිඡය, උට්ඨාන වීර්ය, පිහිටුවා ගත් සිහිය, ප්රඥවන්ත බව“ යහ කරුණු (7) හතත් “සති, ධම්මච්චය, වීරිය, පී‍්‍රති, පස්සධි, සමාධි, උපේක්ඛා යන බොජ්ඣංග ධර්මයනුත්, “අනිච්ච, අනාත්ම, අසුහ, ආදීනව, ප්‍රහාණ, විරාග, නිරෝධ යන සප්ත සංඥා වනුත්, කය, වචනය, සිත, යන ද්වාරත්‍රය සංවර කර ගැනීම හා ලද දෙය සාධාරණව බෙදා ගැනීම, සිල් වලින් සමානාත්වයට පත්වීම, සාමාන්‍ය දෘෂ්ටියෙන් සමානව විසීම, යන කරුණු (6) හයත්, භික්ෂූන් වහන්සේලාගේ අභ්‍යන්තරික ගුණ වගාව පිණිස අපරිහාණිය ධර්ම මාර්ගයෙන් මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුන් වහන්සේ විසින් අවධානය කොට ඇත. අපරිහානිය ධර්මයන් යම්තාක්කල් භික්ෂූන් අතර පවතී නම් ඒතාක් කල් භික්ෂූන්ගේ දියුණුවක් මිස පරිහානියක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. භික්ෂූන්ගේ අභ්‍යන්තර හා බාහිර දියුණුව පිණිස උපයුක්ත අපරිහානිය ධර්ම දේශනා කළ අතර බුද්ධ ධර්මයේ නිවන් අවබෝධ කිරීමට උගන්වා වදාළ, කය, වචනය, සිත, සංවරණය පිණිස උපකාරී වන ධර්ම පටිපාටිය අපරිහානිය ධර්මයන්හිලා ඉගැන්වීම වැදගත් ය.
බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බොහෝ තැන “ඉති සීල, ඉති සමාධි, ඉති පඤ්ඤා, සීල පරිභාවිතො සමාධි මහ පඵලො හොති, මහානි සංසො, සමාධි පරිභවිතා පඤ්ඤාම මහප්ඵලා හොති මහානිසංසා, පඤ්ඤා පරිභාවිතං ට්ත්තං සම්මදේව ආසාවෙහි විමුච්චති සෙය්යටිදං කාමසවා, භවසවා, (දිටිඨසවා) අවිජ්ජාසවාති” යන දේශනාව බහුලව කළ බව පෙනේ. බුද්ධාගමේ මූලික පදනම සීල, සමාධි, ප්‍රඥා තුනයි. මේ කාරණා තුන එකිනෙකට සම්බන්ධ වන බව හා ඒ හේතුකොට ගෙන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ආශ්‍රව ධර්මයන් ප්‍රහීන වන ආකාරයත් පැහැදිලි කොට ඇත. මේ ධර්ම තුන මත සියලු බුද්ධ ධර්මය පදනම් වී ඇති බව හා සියලු බුද්ධදේශනාවන් එම ශීල සමාධි ප්රඥායන ධර්ම තුනට අඩංගු වන බව පැහැදිලි වෙයි. එසේම බුද්ධාගමේ උගන්වන ආර්යඅෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා තුනට බෙදෙන අතර ඒ ආර්ය මාර්ගය පිළිපැදීමෙන් සීල, සමාධි, ප්‍රඥා යන තුන වැඩේ. ඒ නිසා නිර්වාණබෝධය සිද්ධවන්නේ ය. මේ ත්රිශික්ෂාවට මුළු මහත් බුද්ධ ධර්මයම අන්තර්ගතය. කය, වචනය, දෙක හික්මීම සීලයෙනුත්, සිත හික්මීම සමාධියෙනුත් සිදු කෙරෙන අතර සීල සමාධි දෙක හේතු කොට ගෙන නිර්වාණාවබෝධ ප්‍රඥාව ලැබෙන්නේ ය.
බුදුරදුන් නාලන්දාවෙහි වැඩ වාසය කරද්දී සැරියුත් හිමියන් බුදුරදුන් හමුවට ගොස් බුදුන් වහන්සේගේ සම්බෝධිඤාණය පිළිබඳ කරන වර්ණනාව සිංහ නාදයක් ලෙස උන්වහන්සේ සලකා ඇත. එහිදී සැරියුත් හිමියන් “ධර්ම අනුවෘත්තිය” ගැන කියයි. දීඝ නිකායේ සම්පසාදන සූත්රයේත්, සංයුත්ත නිකාය මහා සතිපට්ඨාන සූත්රයේත්, ධර්මාශෝක රජුගේ බාභෲ සෙල් ලිපියේත්, මෙම බුදු වරුන් පිළිබඳ වර්ණනාව සඳහන් වන්නේ ය. බුදුන් වහන්සේ හා සැරියුත් හිමියන් අතර කෙරුණු මෙම සංවාදය අතීත, වර්තමාන අනාගත යන කාලත්රය පිළිබඳව වූ බුදුවරුන් සිහිපත් කරයි. ඒ බුදුවරුන්ගේ ගුණ ප්‍රකාශ කරන අතර සම්බෝධි ඥානය ගැනද විස්තර වේ.
බුදුරජාණන් වහන්සේ පාටලීගම ආවසථා ගාරයේ වැඩ සිටිද්දී පාටලිගම උපාසක වරුන් උදෙසා සීලවිපත්ති දෝස පහකුත්, සීල සමාපත්ති ගුණ පහකුත් දේශනා කළහ. ඒ ගම උපාසක වරුන් අවසථා ගාරය සැරසූ ආකාරය ඉතා විසිතුරු ය. ආවසථාගාරය නම් අමුත්තන්ට හෙවත් ආගන්තුකයන්ට නවාතැන් දෙන ස්ථානයයි. මෙම ස්ථානය රෙදි අතුරා, අසුන් පනවා, පැන් පෙරා තබා, තෙල් පහන් දල්වා, අලංකාර කොට ඇත. මේ අන්දමට අදත් භික්ෂූන් වහන්සේ සඳහා ගිහි අය නවාතැනක් හෝ ධර්මදේශනා ස්ථානයක් සකස් කරන විට මේ ආකාරයට කටයුතු කරන බව පෙනී යයි. බෞද්ධ සම්ප්රදායක් ලෙස මේ අවාස, ආසන, පහසු සැලසීමේ දී අනුගමනය කළ වැඩ පිළිවෙල එදා සිට අද දක්වාම නොනැසී පැවතීගෙන එන බව ප්‍රකට ය. එය වැදගත් සංස්කෘතික ලක්ෂණයකි.
බුදුරදුන් පාටලී ගම උපාසකයන් අරභයා සීල විපත්ති දෝස පහ දේශනා කරමින් දුස්සීලයා
1. භෝග විනාසයට පත්වේ,
2. අපකීර්තියට පත්වේ,
3. නිතර බියෙන් හා ලජ්ජාවෙන් යුක්ත වේ,
4. මුළාව මැරෙයි,
5. මරණයෙන් මතු අපායේ උපදියි. යන දුර්විපාක සීල විපත්තියට පත් දුස්සීලයාට ලැබෙන බව දේශනා කළ සේක. මෙසේ දේශනා කළ උන්වහන්සේ සීලවන්තයා ලබන්නා වූ සම්පත් පහක් ද දේශනා කළහ.
1. මහත් භෝග ලබයි,
2. කීර්තිය වැඩෙයි,
3. ලජ්ජාව හා බියක් නොමැතිව පිරිස් ඉදිරියට යයි,
4. නොමුලාව මැරෙයි,
5. මරණින් මතු ස්වර්ගයේ උපදියි, මේ අන්දමට සීලවන්තයාගේ ගුණ පැහැදිලි කොට පාටලී ගම උපාසක වරුන්ට සිල්වත් වීමේ වැදගත් කම දක්වා වදාළහ. බුදුන් වහන්සේ සිල්වත්කම උසස්කොට දේශනා කළ ශාස්තෘවරයෙකි. උන්වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සිල්වත්කම ගැන විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වා ඇති බව නොයෙක් දේශනාවන්ගෙන් පැහැදිලි වන්නේ ය.
බුදුන් වහන්සේ භණ්ඩ නාම ග්‍රාමයේදී භික්ෂූන් අමතා චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කළ සේක. චතුරාර්ය සත්‍ය අවබෝධ සහ ප්‍රතිවේධ නොකිරීම නිසා බොහෝ කළක් මමද ඔබද සසර සැරිසැරූ බව දැක්වූහ. දුක්ඛ සමුදය, නිරෝධය මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම සසරින් එතෙර වී නිවන් ලැබීමට හේතු වන බව පැහැදිලි කළ සේක. මෙයින් බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්රයේදීත් සූත්‍ර පිටකයේ නොයෙක් තැනදීත්, භික්ෂූන් උදෙසා ද ගිහියන් උදෙසා ද දේශනා කළ චතුරාර්ය සත්‍ය දේශනාව ඉතාම ලුහු¼ඩින් දේශනා කළ ස්වරූපයක් දක්වයි. බුදුන් වහන්සේ ආර්ය සත්‍යය ධර්මයට උපයෝගී වන පරිදි සෑම දේශනාවක්ම කර ඇත. ඒ නිසා මහාපරිනිර්වාණ සූත්‍රයේදී එය අවසාන වශයෙන් මතක් කර දුන්හ.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ නාදිකාවේදි ආනන්ද හිමියන් විසින් සාළ්හ නන්ද සුදත්ත, යනාදි භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා මරණින් මතු කොහි උපන්නේදැයි ඇසූ ප්රශ්නය අරභයා ‘ධම්මදාස’ ධර්ම න්‍යාය දේශනා කළහ.
එම ධම්මදාස මගින් උන්වහන්සේ පැහැදිලි කළේ නව අරහාදි බුදු ගුණයත්, ෂට් විධ ධම්ම ගුණයත්, නව විධ සංඝ ගුණයත් යන සුවිසි මහා ගුණයන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව සිටි කෙනෙකු මරණයට පත් වුවහොත් ඔහු අපායගාමි නොවී යහපත් පුනර්භවයක් ලබන බවය. රත්නත්‍රය කෙරෙහි ස්ථිරසාර ශ්‍රද්ධාව (අවෙච්චපස්සාදන ශ්‍රද්ධාව) ඉතා උසස් බවත්, අපාය ගාමි නොවී සුගති සංඛ්‍යාත වීමට මෙන්ම සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් ලැබීමට ද එය උපස්ථම්භක වන බව විස්තර කොට දක්වා ඇත.
වේසාලියේදි බුදුන්වහන්සේ විසින් සිහියෙන් හා නුවණින් යුක්තව විසීමේ අගය දක්වන ලදී. සිහියෙන් යුක්තව විසීම හා අර්ථ අනර්ථ වැටහෙන නුවණින් යුක්තව විසීම මෙලොවත් පරලොවත් අභිවෘද්ධි දායක ගුණයක් බව ප්‍රකාශ කොට ඇත. මෙහි අගය සාමාජික වශයෙන් වුවද ඉතා විශාලය. සිහි අඩුකම තමාගේ් මෙන්ම, අනුන්ගේද පිරිහීමට විනාසයට කාරණයක් වන්නේ ය. එසේම යමක් තේරුම් ගැනීමේ නුවණක් නොමැති කමද නොයෙක් අන්දමේ පිරිහීම් වලට හේතුවක් වෙයි. ප්රඥාගෝචරව කටයුතු කිරීම දියුණුවට උපස්ථම්භක වෙයි. අභ්‍යන්තර හා බාහිර දියුණුව ප්‍රඥාව උඩ රැඳී පවතී. ඒ නිසා එහිදී තථාගතයන් වහන්සේ භික්ෂූන්ට කළ එම දේශනාව ඉතා කෙටි වුවත් එහි අගය නිමක් නැත.
බුදුන් වහන්සේ බේලුව ගමේදී වේශාලිය අසල මිත්‍ර විශ්වාස දැක පුරුදු භික්ෂූන් සමඟ වස් වසන ලෙස භික්ෂූන්ට නියම කළහ. එයින් පෙනී යන්නේ මිත්‍ර බව, විශ්වාසි බව දැක පුරුද්ද එකට වාසය කිරීමට උපකාරි වන බවයි. තම තමාගේ සුඛ විහරණය සඳහා එබඳු මිත්‍ර පිරිස් උපස්ථම්භක වන බව ප්‍රකට කළහ. බුද්ධාගම මිත්‍රත්වය උඩ රැඳුනක් නිසා එම අවවාදය ඉතා අගනේය.
එසේම බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා කළ ප්‍රකාශය ඉතා වැදගත් එකකි.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood