Temples of Sri Lanka

විශ්වීය බොදු සමුළුව – 2026

ලොව දැවැන්තම බෞද්ධ සමුළුව වන විශ්වීය බොදු සමුළුව – 2026 (Global Buddhist Summit) ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපයේදී ඊයේ දින (ජනවාරි 24) අතිඋත්කර්ෂවත් අයුරින් ආරම්භ වුණි. මෙවර එම සමුළුව පැවත්වෙන්නේ දෙවන වරටයි. එහි සියලු සංවිධානය කර්තව්‍යයන් සිදු කරනු ලබන්නේ ඉන්දීය රජය නියෝජනය කරමින් සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයත්, අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයත් (IBC) ඒකාබද්ධව ය.

‘සාමූහික ප්‍රඥාවක්, එක්සත් හඬක්, සාමකාමී සහජීවනයක්’ යන්න මෙවර සමුළුවෙහි තේමාවයි. මෙම සමුළුව සඳහා ලොව පුරා රටවල් හතළිහකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා, ආධ්‍යාත්මික නායකයන්, ගිහි විද්වතුන් දහසකට අධික පිරිසක් සහභාගී වූහ.

සමුළුවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දියාවේ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගජේන්ද්‍ර සිං ශිකාවත් මහතා ද විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජ්ජු මහතා ද සහභාගී වූහ.

පාලි හා සංස්කෘත ද්විත්ව බෞද්ධ සම්ප්‍රදායානුකූලව සිදු කෙරුණු ආගමික වතාවත්වලින් අනතුරුව, සභාව පිළිගනු ලැබුවේ අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයෙහි ලේකම් ශාස්ත්‍රේ කෙන්සූර් ජැන්චුප් චෝඩන් රින්පොචේ හිමියන් විසිනි. අනතුරුව ආරාධිත අමුත්තන් විසින් සභාව ඇමතූහ. ඉන්පසු අධ්‍යාපනික සැසි ආරම්භ විය.

සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් වැඩම කළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරයට අභිනවයෙන් තේරී පත් වූ අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක හිමි එම පදවි ප්‍රාප්තියෙන් අනතුරුව ප්‍රථම වරට සහභාගී වූ විදෙස් වැඩසටහන මෙය වන බවත්, එය ඉතාමත් සුවිශේෂී වන්නක් බවත් උන්වහන්සේ සඳහන් කළ සේක.

ඊට අමතරව ජාත්‍යන්තර බෞද්ධ සමිති සම්මේලනයෙහි සභාපති, අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහනායක හිමි, අන්තර් ආගමික කමිටුවේ සාමාජික අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි මහනායක හිමි, අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි විදුහල්පති ධූරන්දර පූජ්‍ය හඳගනාවේ විමලධම්ම හිමි, මල්වතු මහාවිහාරයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමි යන විද්වත් භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී වූහ.

එමෙන්ම අන්තර්ජාතික බෞද්ධ සම්මෙලනයෙහි (IBC) නියෝජ්‍ය මහාලේකම් ද බෞද්ධ සහෝදරත්ව පදනමෙහි, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ වූ ද ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි ලේඛකාධිකාරී ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ඇතුළු මෙරට බෞද්ධ විද්වතුන් ද මේ සඳහා සහභාගී වූහ.

මෙම බොදු සමුළුවට මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

You might also like
en English
X
X