Temples of Sri Lanka

හිතේ හැටියට වැඩ කරන්න එපා…

බොහොමයක් ගැටලුවලට හේතුව සිතයි, තුන්දොර පාලනය කර නොගැනීමයි

සමාජය තුළ අද දක්නට ලැබෙන බොහෝ ගැටලුවලට හේතුව තුන්දොර සංවර කර නොගැනීමය. බෞද්ධයාට පමණක් නොව සියලු ජනකොටස්වලට මෙය එකසේ වැදගත් ය. සිත් තුළ අකුසල පෝෂණය වීම නිසා එක් පැත්තකින් සමාජ පරිහානියක් සිදුව, අනෙක් පසින් මිනිසා සසර ගමන දිගුකර ගනියි. මේ සියල්ලට හේතුව
සිතයි.

වත්මන් සමාජයේ පවතින බොහෝ ගැටලුවලට මූලය පුද්ගලයා සිත, කය හා වචනය සංවර කර නොගැනීමයි. මේ සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ දේශනාව සරලව පැහැදිලි කරන්න පුලුවන්..

බුදුරජාණන් වහන්සේ රාහුල හිමිට දේශනා කළ චූල රාහුලෝවාද සූත්‍රයේ මේ ගැන පැහැදිලි කෙරෙනවා. එහිදී බුදුන් වහන්සේ සිත, කය හා වචනය කියන තුන්දොර සංවර කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙනවා. සිතින්, කයින් හා වචනයෙන් කරන ක්‍රියා, කරන්න පෙර, කරන මොහොතේ හා කළාට පසු හිතන්න කියලා බුදුන් දේශනා කරනවා. වත්මන් සමාජය තුළ බොහෝ ගැටලුවලට හේතුව තුන්දොර සංවර කර නොගැනීමයි. වචනයක් කියන්න පෙර මම මේක කියන එක හොඳයි ද කියලා හිතන්න, ඒ කියන අවස්ථාවේදීත් ඒ ගැන හිතන්න. කිව්වට පස්සේ මම මේක කිව්ව එක හොඳයි ද කියලා හිතන්න. සිතින් හා කයින් කරන ක්‍රියා ගැනත් මේ තුන් ආකාරයට හිතන්න කියලා බුදුන් වහන්සේ පෙන්වා දුන්නා. සිත, කය, වචනය කියන තුන් දොරින් විය හැකි වැරදි, මග හරවා ගැනීමට එක් අවස්ථාවක් නොව තුන් අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. වත්මන් සමාජයේ දක්නට ලැබෙන බොහෝ ගැටලුවලට ප්‍රධාන හේතුව සිත, කය හා වචනය කියන තුන්දොර පාලනය කර නොගැනීමයි.

සියලු දේට මුල් වන්නේ සිතයි. සිත පාලනය කර ගැනීම හිතන තරම් පහසු නැහැ නේද?

සත්ත්වයා නිර්මාණය වී තිබෙන්නේ ස්කන්ධ පහක එකතුවකින්. ඒවා රූප ස්කන්ධය,වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය ලෙස හඳුන්වනවා. පංචස්කන්ධය ලෙසින් හඳුන්වන්නේ මෙයයි. අපි නාම හා රූප ලෙස මෙය බෙදා වෙන් කරනවා. රූප ස්කන්ධය එක් කොටසකටත් අනෙකුත් ස්කන්ධ හතර නාම කොටසටත් ඇතුළත් වෙනවා. රූප කොටසට සිත හා සිතුවිලි අයත්. නාම කොටසට වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණ ඇතුළත් වෙනවා. සිත එක්ක බැඳී තිබෙන සියලු ක්‍රියාකාරකම් මේ මගින් තමයි මෙහෙයවන්නේ. ඇහැත් රූපයත් අතර ගැටීම චක්ඛු විඤ්ඤාණය යි. කනත් ශබ්දයත් අතර ගැටීම සෝත විඤ්ඤාණයයි. දිවත් රසයත් අතර ගැටීම ජිව්හා විඤ්ඤාණයයි. නාසයත් ගන්ධයත් අතර ගැටීම ඝාණ විඤ්ඤාණයයි. ශරීරයත් ස්පර්ශයත් අතර ගැටීම පොට්ටබ්භ විඤ්ඤාණය යි. සිත තමයි අපිව කුසල පැත්තට ද අකුසල පැත්තකට ද යොමු කරන්න මූලික වෙන්නේ. සිතුවිලි යහපත් කර ගැනීමට තමයි භාවනාව තිබෙන්නේ. සතර සතිපට්ඨානයෙන් පෙන්වා දෙන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවෙන් සිත එක් අරමුණක පිහිටුවා ගැනීම තමයි පෙන්වා දී තිබෙන්නේ. කායානු පස්සනාවේ දී පෙන්වා දෙන්නේ කයෙහි හැසිරීම සිහියෙන් යුතුව සිදු කිරීමයි. යනකොට, එනකොට, නිදා ගන්නකොට හෝ වෙනත් කටයුත්තක් කරනකොට, ඒ කරන දේ අවදියෙන් යුතුව කරන්න කියන එක තමයි මෙතැන දී පෙන්වා දෙන්නේ.

වේදනානුපස්සනා කියන්නේ විඳීමයි. ඒක සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, නැත්නම් ඒ දෙකටම අතරමැදි අවස්ථාවක් විය හැකියි. ඒක සිහියෙන් යුතුව විඳීම තමයි මෙහි දී සිදු වන්නේ. ධම්මානුපස්සනා යනු ලෝක ධර්මතාව අවබෝධ කර ගැනීම යි. ඉපදුණු කෙනෙක් ජරාවට පත්වෙනවා, මරණයට පත්වෙනවා කියන කාරණය සිහියෙන් මෙනෙහි කිරීම ධම්මානුපස්සනාවයි. චිත්තානුපස්සනා යනු සිතේ හැසිරීම අවබෝධ කර ගැනීමයි. ඒ අනුව අපට යම් යම් දේවල් වෙනස් කර ගන්න පුළුවන්. සිත ක්‍රියාත්මක වන ආකාරය ගැන තමන් සිහියෙන් යුතුව සිතන්න ඕන. සිත පාලනය කරගන්නා මග තමයි බුදුන්වහන්සේ පෙන්වා දී තිබෙන්නේ. කය නොමැතිව දුර ගමන්වල සිත නිරත වෙනවා. සිතේ ස්වභාවය ක්ෂණිකව වෙනස් වීමයි. මාර බන්ධනවලින් ගැලවෙන්න නම් සිත සංවර කරගත යුතුමයි. හිතන තරම් පහසුවෙන් සිත සංවර කර ගන්න බැහැ. කායික හා වාචික සංවරය ඔස්සේ තමයි සිත සංවර කර ගන්න ඕන.

එහෙමනම්, අකුසල් යනුවෙන් හඳුන්වන්නේ මොනවාද?

ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූලයන් පදනම් කර ගනිමින් කෙරෙන ක්‍රියා අකුසල් ලෙස හඳුන්වනවා. ඕනෑම අකුසලයක් කරනවිට මේවා මුල් වෙනවා. පුද්ගලයා සිදුකරන සචේතනික සියලු ක්‍රියාකර්ම ලෙස හඳුන්වනවා. මේවා මුල් කරගෙන ඇතිවන කායික, වාචික හා මානසික ක්‍රියාවන් පදනම් කර ගනිමින් තමයි අකුසල් ඇති වන්නේ. අකුසල් යන්න පාප, අධම්ම, විෂමචරියා ආදී වදන්වලින් ද හඳුන්වනවා. ධර්මය තුළ අකුසල් හඳුන්වා දී තිබෙන්නේ කෙලෙස් ධර්ම ලෙසයි. දස අකුසල් පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා.

ප්‍රාණ ඝාතනය, අයිති නැති දේ ගැනීම, කාමයේ වරදවා හැසිරීම, මුසාවාදය භේද කිරීම, පරුෂ වචන කීම, හිස් දේ කීම, අන්සතු වස්තු තමාගේ වේවායි සිතීම, අන්‍යයෝ නැසේවායි සිතීම, වැරදි මතයන් සත්‍ය යැයි පිළිගැනීම යන මේවා ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා පදනම් කර ගනිමින් අපේ සිත තුළ උපදිනවා.

කුසලින් පිරි සිතේ ස්වභාවය ගැන යමක් සඳහන් කරනවා නම්?

අලෝභය, අද්වේෂය, අමෝහය කියන කරුණු මුල් කරගෙන කරන ක්‍රියා තමයි කුසල ක්‍රියා ලෙස හඳුන්වන්නේ. කුසල යන්න නිවැරදි, නීරෝගි, දක්ෂ ලෙසත් කුසලය හඳුන්වනවා. රෝගී වූ සිතකින් හොඳ දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. සිත හැරෙන්නේ නරක පැත්තට නම් කරන ක්‍රියා යහපත් වෙන්නේ නැහැ. සෑම දේටම සිත මුල් වෙනවා. හොඳ සිතින් කරන දේ යහපත් සේම නරක සිතින් කරන දේවල් තමන්ට මෙන්ම සමාජයට ද අහිතකරයි. නිර්වාණය නමැති උත්තරීතර තත්ත්වයට පත්වීමට නම් කුසල් රැස්කර ගත යුතුයි. පින් පව් දෙකම ඉවත් කළ කෙනා රහතන් වහන්සේ නමක් ලෙස හඳුන්වනවා. දස අකුසල්වලින් වැළකී සිටීම තමයි දස කුසල්වලින් පෙන්වා දී තිබෙන්නේ. සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ චර්යාවන් තුළින් අපට කුසල් සිත් හා අකුසල් සිත් ඇත්තෝ පහසුවෙන් හඳුනා ගැනීමට පුළුවන්. මෙය එක්තරා අන්දමක කැඩපතක් හා සමානයි. අද දේශපාලන රැස්වීමක් දිහා බැලුවොත් දස අකුසල් ලෙස නම්කර තිබෙන කීයක් දේවල් එතැන දී දකින්න ලැබෙනවා ද ? හිස් වචන, මුසාවාදය, භේද කිරීම තමයි වැඩිපුර මේවගේ දකින්න ලැබෙන්නේ.

පුද්ගලයෙක් මරණයට පත් වුණත් ඔහුගේ විඤාණය නොනැසී ගමන් කරනවා නේද?

විඥානය එක භවයකට සීමා වෙන්නේ නැහැ. මේ භවයේ දී පවතින විඤාණ ශක්තිය ඊළඟට භවයටත් සම්බන්ධ වෙනවා. සත්ත්වයා සසර තුළ කෙළවරක් නොමැතිව ගමන් කරන්නේ විඤාණය නිසයි. අයුෂය, උෂ්ණය, විඤාණය බැහැර වී ගියාට පසු ශරීරය දිරා ගිය දර කැබැල්ලක් බවට පත්වෙනවා. ඒ වගේ තත්ත්වයකට පංචස්කන්ධය පත්වෙනවාමයි. නිවණ (නිර්වාණය) යනු බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන උසස්ම ධර්මතාවයි.

පුද්ගලයෙකු රාගය, ද්වේෂය සහ මෝහය ක්‍ෂය කිරීම නිර්වාණයට මග පාදනවා. කුසල් අකුසල් කියන්නේ මොනවා ද කියලා හරියට අවබෝධ කරගෙන ජීවත් වෙනවා නම් මේ ලෝකය මීට වඩා ගොඩක් සුන්දර තැනක් වේවි.

තෙරුවන් සරණයි🙏

යහපත්,
ගුණවත්,
මිනිසෙකු බිහිවන්නට නම්…

බුදුදහමේ දැක්වෙන ලාභ, අලාභ, යස,අයස, සැප දුක, නින්දා, ප්‍රශංසා යන අටලෝ දහමට අප නොසැලී සිටිය යුතුයි.

එහෙත් ජයග්‍රහණය කරාම පමණක් යාමට දරන උත්සාහයක් නිසාම විශාල ගැටුම් නිර්මාණය වනවා.

ක්‍රීඩාව කියන්නේ යහපත් දරුවකු බිහි කිරීමට සවියක් මිස දරුවන්ගේ ගැටුම් ඇති කිරීමට අවියක් නොවිය යුතුයි.

සිදුහත් කුමරාගේ ළමා කාලය කෙළිදෙළෙන් ගත වුණා. සර්ව මිත්‍ර බමුණාගෙන් සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. කඩුශිල්ප, දුනු ශිල්ප ආදිය මෙන්ම අනෙකුත් ශාස්ත්‍රයන්ගේද කෙළවරටම පැමිණියා යැයි කිවහොත් නිවැරැදියි.

වර්තමානයේ දරු දැරියන් මෙන්ම මව්පියන්ගේද ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශාස්ත්‍රය හොඳින් හැදෑරීම මිස ශිල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නොවේ.

කෙසේ වෙතත් ක්‍රීඩා ශිල්පය කෙරෙහි අප වඩාත් අවධානය යොමු කළ යුතු වෙනවා. දරුවා සහ ක්‍රීඩාව ගහට පොත්ත මෙන් පවතින්නක්.

දරුවාට යහගුණ සපිරි සමාජයකට පිවිසීමට විශේෂයෙන්ම කායික හා මානසික අතින් පිරිපුන් දරුවකු වීමට ක්‍රීඩාව මහත් පිටිවහලක් වනවා. අද ක්‍රීඩාව දරුවා හා මවුපියන් යන තුන් කොටස නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද? මව්පියන් උපරිම ලෙස දරුවන් ශාස්ත්‍රය හැදෑරීම පිණිස යොදවන නිසා සිසු දරුවන්ගේ සහ දැරියන්ගේ මනස දැඩි ලෙස තෙරපෙනවා.

මේ තෙරපෙන ළමා මනස, ඉඳහිට අධ්‍යාත්මික සුවයක් ලබපු මනස , විනෝදාස්වාදය පිණිස එළිදකින ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. ඉන් පළමු වැන්න සිසු දරු දැරියන් දෙපිරිසටම සහභාගි විය හැකි නිවාසාන්තර ක්‍රීඩා තරග, එසේම ක්‍රිකට් තරග උණුසුමේ අවසානය වන මහ ක්‍රිකට් තරග, නැත්නම් ‘බිග් මැච්’ .

දරු දැරියන්ගේ තෙරපුණු මනස විනෝදය පිණිස එළි දකින්නේ මේ අවස්ථාවන්හිදී පමණයි.

මානසික සුවයක් මෙහිදී ඔවුන්ට නිතැතින්ම ලැබෙනවා. මානසික සුවය, සතුට බුදු දහමේදී උසස්ම සැප ලෙසින් දක්වා තිබෙනවා. එහෙත් අප රටේ සංස්කෘතිය අනුව අපේ දරු දැරියන් ක්‍රීඩා තරගවලදී එක්වරම විවෘත භාවයකට පත් වෙනවා.

දරු දැරියන් ක්‍රීඩා තරග, ක්‍රිකට් තරග ඇතුළු සියල්ලටම යොමු කළ යුතුයි. එහෙත් දරු දැරියන් තුළ සාමූහික හැඟීම, සමඟිය ආදි ගුණාංග ඇති කිරිම බෙහෙවින්ම වැදගත් වනවා.

ක්‍රීඩා තරගවලට සහභාගිවීමේදි දරුවන් අතින් සිදුවිය හැකි වැරැදි මව්පියන් හඳුනාගත යුතුයි. දරුවන් වරදින් මුදා ගත යුතු බව සිඟාලෝවාද සූත්‍රයෙහි පැහැදිලිව දක්වා තිබෙනවා.

වර්තමාන සිසු දරුවන්, විශේෂයෙන්ම ‘බිග් මැච්’ සමයේ පාසල් පද්ධතියෙන් දුරස්ව කරනු ලබන වැරැදි, අඩුපාඩු මව්පියන් හඳුනා ගත යුතු වෙනවා.

මේ වැරැදි පංචශීල ප්‍රතිපදාව කඩා දැමීමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. හොඳීන් බලන්න ඇතැම් සිසුන් ‘හිංසනය’ මූලික කරගෙන කටයුතු කරනවා නේද? හිංසනය කුමන අයුරින් බැලුවත් වැරැදියි.

ඒ වගේම තමන්ගේ මිතුරු පාසල් සිසුන් සතුරන් ලෙස සලකා ඔවුන්ගේ පාසලට ගිහින් , එහෙමත් නැත්නම් පාසල් බස් රථ වෙත ගොස් ඔවුන් විරුද්ධවාදීන් ලෙස හඳුන්වමින් ඇතැම් විට එම සිසුන්ට පහර දෙන අවස්ථාද තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැර¼ඩියකු පෙලූ දරුවන්ට ලබා දුන් අවවාදය අප මෙහිදී සිහියට නැගිය යුතුය. සතකුට, සර්පයකුට පවා හිරිහැර නොකළ යුතු බවයි බුදු දහම දක්වා ඇත්තේ.

එසේම මහ ක්‍රිකට් තරග පවත්වන්නේ පාසල් අතර සුහදතාවය සමඟිය වර්ධනයට, එහෙත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අධර්මය ඉස්මතුවනවා නම් එතැන ගුණ දහම් රැකදීමක් සිදුවනවාද?

එසේම හිත මිතුරන්ගේ නැත්නම් වැඩිහිටියන්ගෙන් ලබාගන්නා වාහනවල විවෘත ලෙස ගමන් කරමින් පාසල්වල කොඩි වනමින් පිරිමි සිසුන් ගැහැනු වෙස්ගත් ඇඳුම්වලින් සැරසී ගමන් කිරීම අපගේ සංස්කෘතියට ගැලපේද? ආගමට දහමට ගැලපේද?

එතැනදීත් මහ මඟ ජනතාවට කරදර වන ආකාරයෙන් හැසිරීම කෙතරම් අශීලාචාරද?

කෝ අපේ බෞද්ධකම , සංවරකම ,සදාචාරය , ශීලය, හිරි ඔතප් බිඳ වැටිලා.තමන් වියත් යැයි වැරැදි අර්ථකතනයේ මානසිකත්වය ඉහළ යන්නේ තමන්ට කළ නොහැක්කක් නොමැති ලෙසින්. මෝහය ඇඟ පුරා දුව යනවා. මේ මෝහය නිසා තමන් කවුද? කල යුත්තේ නොකළ යුත්තේ මොනවාදැයි ඔවුන්ට පැහැදිලි නැහැ.

හිරි ඔතප් දෙකම බිඳ වැටෙනවා. තමන් තනිවම කෑමට බීමට කාගෙන්වත් අතපාමින් මුදල් යදින්නේ නැති වුවත් මෙහිදී පිරිස හා එක්ව කැටයක් නැත්නම්, හිස් වැසුමක් අරගෙන මුදල් යැදීමෙහි යෙදෙනවා. ඒ අතර හිංසනය, නොසරුප් වදන් භාවිතයන් සිදු වෙනවා.

එසේම කාම චිත්‍රපට බැලීමටත් මේ සමයේ සිසුන් පෙළඹෙනවා. ක්‍රීඩාව අප උපයෝගී කර ගත යුත්තේ සහෝදරත්වය, සමඟිය උදා කර ගැනීමටයි.

එහෙත් අප ආගම දහමින් බලාපොරොත්තුවන සමඟිය, සමාදානය මේ තුළින් ඉටුවනවාද? එසේත් නැතිනම් එමඟින් සිදුවන්නේ පංචශීල ප්‍රතිපදාව කැඩීයාමද? මව්පියන් පවා නොදැන මේ තත්ත්වයට රුකුල් දෙන බවක් අප සමාජයේ ඇතැම්විට දක්නට ලැබෙනවා. පූර්ණ ඇඳුමින් සැරසී තම පුතාගේ පාසලට යන පියා බිග්මැච් එකට අඳින්නේ මොනවාද? මව සහෝදරිය ඇඳගෙන යන්නේ මොනවාද?

මෙමඟින් මව තම මිතුරන්ගේ උසුළු විසුළුවලට ලක්වන බව බොහෝ විට දැක ගන්නට පුළුවන්.

පාසල් අතර සහයෝගය සමඟිය වර්ධනය පිණිස පවත්වන මහ ක්‍රිකට් තරගයන්ට පෙර ආදි සිසුන් සහ වත්මන් සිසුන් අතර ක්‍රිකට් තරග පැවැත්වෙනවා. ශිෂ්‍ය නායකයන් අතර තරග පැවැත්වෙනවා. ගුරුභවතුන් අතර තරග පැවැත්වෙනවා. ඒ සියලුම තරග හොඳින් සාමය, සමඟිය ,කරුණාව, දයාව මුල් කරගෙන පැවැත්වෙනවා.

එහෙත් සිසුන් අතර පැවැත්වෙන තරගය අර සියලුම ගෞරව නාමයන් ඇතැම්විට විනාශ කර දමනවා. වැඩිහිටියො මෙහිදී ආදර්ශවත් විය යුතු වනවා.

අනෙක් පාසල් සිසුන් තම වෛරකාරයන් හෝ තමන්ගේ සතුරන් නොවන බවට සිසුදරුවන්ට තේරුම් කර දිය යුතුයි. බුදුදහමේ දැක්වෙන්නේ ලාභ, අලාභ, යස, අයස, සැප දුක, නින්දා, ප්‍රශංසා යන අටලෝ දහමට අප නොසැලී සිටිය යුතු බවයි.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X