Temples of Sri Lanka

අෂ්ඨපරිෂ්කාර පූජාව..

 

අටපිරිකර පුදා මෙලෙස සැප ලබමු..

වස්සාන කාලයේ අසිරිමත්ම මොහොත එළඹෙනුයේ ඉල් පොහොය අවසානයේ කඨින චීවර මාසය එළඹීමත් සමඟය. යම් පුද්ගලයෙකුට මේ ජීවිත ගමනේ දී පුණ්‍ය කර්මයකට සහභාගි වීමට වසරකට වරක් ලැබෙන ඒ අවස්ථාව මඟ නොහැරීමට බෞද්ධ ආර්ය ශ්‍රාවකයා සැදී පැහැදී සිටී. අපමණ කුසල් වලින් උතුම්ම කුසලය ලෙස කඨින චීවර පූජාව බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරා ඇත. කඨින චීවර පූජාව මෙලොව පරලොව නිවන යන ත්‍රිවර්ගීය සම්පත ලබාදෙන මහඟු පින්කමක් ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.
තිචීවරං ච පත්තෝච – වාසී සුචීව බන්ධනං
පරිස්සාවන අට්ඨෙතෙ – යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
01. දෙපට සිවුර (සංඝාටිය)
02.තනිපට සිවුර (උත්තරා සංඝ)
03.අඳනය (අන්තර වාසිකය)
04.පටිය (කාය බන්ධනය)
05. පාත්රය (පත්ත)
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි)
08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.
අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.
එසේම මෙම පිරිකර පූජාවේ අනුසස් වශයෙන් පිරිමි අයෙකුට නම් අන්තිම ආත්ම භාවයෙහි දී ඒහි භික්ෂූ භාවයෙන් මහණ උපසම්පදාව ලැබ සසර නිමා කිරීමට ලැබෙන බවත් කාන්තා පක්ෂයේ අයහට නම් විශාඛා මහා උපාසිකාවන්ට ලැබුණ වූ මහලිය පළඳනාව වැනි වටිනා ආභරණ ලබා ගැනීමට අවස්ථාව උදාවන බවත් ඒවාද ශාසනය වෙනුවෙන් වියදම් කොට උතුම් වූ නිවනට පත් වීමට භාග්ය උදාවන බවද සඳහන් වේ.
එසේම අෂ්ට පරිස්කාරයක් හෝ චීවරයක් පූජා නොකළ උදවියට සසර ඉහත සැප සම්පත් ලබා ගැනීමට අවස්ථාව නොලැබෙන බවත් සඳහන් වේ. අප ශාසනයෙහි ඛිප්පා හභිඥාලාභීන් අතර අගතනතුර ලැබූ බාහීය දාරුචීරිය කතා පුවත එම කරුණු සනාථකිරීමට හොඳ උදාහරණයෙකි. එහිමි මෙයට පෙර ආත්ම භාවයක අවුරුදු විසි දහසක් හොඳින් මහණ දම් සපුරා ඇති බව සඳහන් වේ. ඒ කාලය තුළ කිසිදිනෙක සිවුරක් හෝ අටපිරිකරක් කිසිවෙකුට පූජාකර හෝ පරිත්යාග කර නොමැතිබව දැක්වේ.
ඒ හේතුව නිම එදා ගෞතම බුදුහමුවේද ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලබාගත නොහැකි වීමට හේතු වශයෙන් දැක්වේ. අවසානයේ ගවදෙනෙකගේ දරුණු ඇණීමකට ගොදුරුවී පිරිනිවී බව සඳහන් වේ. පෙර සසරේ අට පිරිකරක් හෝ චීවරයක් පූජාකර තිබුණේනම් එවැන්නක් එදා සිදු නොවන බව බුදුන්වහන්සේ දේශනා කළහ.
අප ගෞතම බුද්ධ ශාසනයේ ඒහි භික්ෂු භාවයෙන් මහණ උපසම්පදාව ලත් තෙරවරුන්ගේ ගණන විසි අට දහස් අටසිය පණහක් (28850) ක් බව සමන්ත පාසාදිකා විනය අටුවාවේ සඳහන් වේ. මේ ආදී හේතු නිසා අටපිරිකර පූජාවද අටමහා කුසල් අතර දෙවන තැන හිමිවී ඇතිබව සඳහන් වේ.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X