දියුණුවේ පිටුපස ඇති මනා සිහිය…
පහන් වූ ජීවිතයකට ‘සතිය’ හෙවත් ‘සිහිය පිළිබඳව අපි කතා කරමු. අප ලද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ ලෞකික වශයෙනුත් ලෝකෝත්තර වශයෙනුත් මනා වූ දියුණුවක් ලැබීමට නම් ‘සතිය’ හෙවත් ‘සිහිය’ මනා කොට පිහිටුවා ගැනීම අවශ්‍යමයි.
සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවසන අන්දමට, සිහියෙන් වැඩක් කරන්නට නොහැකි කිසිදු පුද්ගලයෙකුට ජීවිතයේ කිසිදු දියුණුවක් ලබන්නට අපහසුයි.
බෞද්ධ දර්ශනයට අනුව සතිය හෙවත් සිහිය ප්‍රධානම ස්ථානයක් ලෙස ධර්ම මාර්ගයේ දී හඳුන්වන්නට පුළුවනි. සසරගත පටන් අප හා පැමිණුනු රාගාධි කෙලෙස් සංසිඳවීම හා මුළුමනින් ම බැහැර කිරීම පිණිසත්, මේ ජීවිතයේ ඉන්ද්‍රියන් පවත්වන විට අලුතින් සකස්වෙන සංස්කාර හෙවත්, කර්ම හැකිතාක් දුරට අඩු කිරීමට හා නැතිකර ගැනීමට හැකියාව ලැබෙන්නෙ දහමේ උගන්වන සිහිය මනා කොට පිහිටුවාගැනීමෙනුයි.
සතිය හෙවත් සිහිය පිළිබඳව සඳහන් කරන විට අපට ප්‍රධාන වශයෙන් ම මතකයට නැගෙන්නෙ; “මහා සතිපට්ඨාන” සූත්‍රයෙහි පෙන්වා දෙන ‘සතර සතිපට්ඨානය’ පිළිබඳවයි. සතර සතිපට්ඨානය ආරම්භ කරන්නට භාග්‍යවතුන් වහන්සේ, එම සූත්‍ර දේශනාවේ දී මනා වූ හැඳින්වීමක් කොට තිබෙනවා. එනම්,
ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ
සත්තානං විසුද්ධියා
සෝක පරිද්ධවානං සමතික්කමාය
දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය
ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යනුවෙනුයි.
මහණනි, සත්වයන්ගේ විසුද්ධිය හෙවත් සිතේ පිරිසුදු බව පිණිස එකම මාර්ගයක් මම දේශනා කරනවා. ශෝක හා හැඬීම්, වැළපීම් සංසිදවීම පිණිසත්, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරවීම පිණිසත්, නුවණ පහළ කර ගැනීම පිණිසත්, මුළුමනින් ම කෙලෙසුන්ගේ මිදීම නම් වූ නිවන පිණිසත්, මේ එකම මාර්ගය හේතු වෙනවා. එම මාර්ගයය නම් සතර ආකාරයකින් දක්වන “සතර සතිපට්ඨානයයි”. එනම් සතර ආකාරයකට අනුව සිහිය පිහිටුවා ගැනීමයි.
මෙතැන් සිට ඉතාම කෙටියෙන් “සුපසන් ජීවිතයකට” මේ සතර ආකාරයෙන් ඇතිකර ගැනීමට යෝජනා කරන සිහි නුවණ කෙසේ ඇතිකර ගත යුතුදැයි, දියුණුකර ගත යුතු යැයි ද, ඒ වගේ ම එය භාවිත සිතක් හා සමගින් කෙසේ පවත්වාගත යුතු දැයි අපි සාකච්ඡා කොට බලමු.
“සතිය” යන වචනය සිහිය යන තේරුමෙන් සඳහන් කළත් ඉන් ගම්‍යවන්නේ මනාකොට සිහිය පිහිටුවා ගැනීම කියන අදහසයි. ත්‍රිපිටකයට අනුව මේ හා සමගින් අනුගමනය කරන වචන කීපයක් දකින්නට ලැබෙනවා. සතිය එනම් සිහිය, යෝනිසෝමනසිකාරය, එනම් ඒ ඒ මොහොතෙහි සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම. අනුපස්සනා තමා සිතූ කළ කී දෑ දෙස නැවත බලමින් වැරැදි හදාගෙන, නිවැරැදි මාර්ගය හෙවත් කුසල් මාර්ගය අනුගමනය කරන්නට සිහිය සකස් කිරීම, සම්පජඤ්ඤය. එනම් පරීක්ෂාකාරී නුවණින් යුතුව කටයුතු කිරීම හා සම්පජානකාරී වීම යනුවෙන් ය. සම්පජානකාරී යනුවෙන් අදහස් කළේ සෑම අවස්ථාවකදීම සිතත් සිතිවිලිත් අකුසලයෙන් බැහැර කරගෙන කුසල් මාර්ගයට යොමු කරමින්, වචන පිටකිරීමේ දී හා ක්‍රියාවන් පැවැත්වීමේ දී කටයුතු කිරීමයි.
මේ ආකාරයෙන් යම් කෙනෙක් තමාගේ සිත සිහියෙන් යුක්තව හසුරුවන්නට අභ්‍යාස කිරීමේ දී, එම පුද්ගලයා තමාට මෙන් ම අන් අයටත් බාහිර පරිසරයටත් වැරැද්දක් හෙවත් පාපයක් නොකරන යහපත් වූ කෙනෙක් බවට පත්වෙනවා. එවැනි අයෙක් ධර්ම කතාවේ හඳුන්වන්නේ සතිමන්ත කෙනෙක් හැටියටයි. එනම් මනා වූ සිහිය පවත්වන අයෙක්, සතිමතෝ මනා වූ සිහියෙන් යුක්ත වූ අයෙක් ලෙසයි.
මුලින් ම අපි කෙලෙසුන්ගෙන් මිදීම අරමුණු කරගත් ධර්මචාරී ජීවිතයකට මේ සිහිය කෙසේ බලපාන්නේ දැයි කෙටියෙන් සාකච්ඡාකොට බලමු. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ සිහිය පිළිබඳව මුල් ම අභ්‍යාසය අපට හඳුන්වා දෙන්නේ ආනාපාන සතියෙනුයි. මෙය කෙටියෙන් සඳහන් කළොත්,
සෝ සතෝව අස්ස සති
සතෝව පස්ස සති මනා වූ සිහියෙන් යුක්තව හෙවත් සිහිය පිහිටුවාගෙන ආශ්වාස කරන්නේ වෙයි, ප්‍රශ්වාස කරන්නේ වෙයි.
ආශ්වාසය, ප්‍රශ්වාසය නම් මනුෂ්‍යයෙකුගේ ජීවත්වීම පිණිස උපකාර කරන්නා වූ ප්‍රධානම කාර්යයයි. අප සාමාන්‍යයෙන් කෙනෙක් මියදුනා යැයි සඳහන් කරන්නේත් ආශ්වාසය, ප්‍රශ්වාසය නතරවීම හා සමගිනුයි. එසේ නම් යම් කෙනෙකුට ආශ්වාස ප්‍රශ්වාසය කෙරෙහි මනා වූ සිහිය පිහිටුවීම යනුවෙන් අදහස් කරන්නෙ එම පුද්ගලයා තමාගේ සර්වාංගය කෙරේම සිහිය පිහිටුවනවා කියන අදහසයි. නාස්කුහරයෙන් ඇතුළ්වන ආශ්වාසය නාස් කුහරයෙන් ම පිට වී උඩුතොලෙහි ස්පර්ශවන විට සතිය පවත්වන පුද්ගලයාට එය මනාකොට දැනෙන්නට පටන් ගනී. අපි අපේ ජීවිතවල එවැනි අවබෝධයෙන් කටයුතු කරන්නෙ මොනතරම් අඩුවෙන් ද? බොහෝ විටක ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව අපට දැනෙන්නෙ එක්කෝ මහන්සි වූ විටක, නැතිනම් බියක්, ත ද ආශාවක් හෝ බලවත් වූ හැඟීමක් ඇති වූ විටයි. එයට හේතුව වේගයෙන් ආශ්වාස, ප්‍රශ්වාස කිරීම හෝ තමාගේ සිතට බලවත් ලෙස සිහිය පිහිටුවාගන්නට උත්සාහ ගැනීම නිසාය. අවධියෙන් සිටින සෑම අවස්ථාවකදී ම දහසක් වැඩකටයුතුවල නිරතව සිටින්නේ ආශ්වාසය, ප්‍රශ්වාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන නම් නොවෙයි. එසේ නම් සිහිය පිහිටුවා ගැනීමේ දී ආශ්වාසය, ප්‍රශ්වාසය කෙරෙහි සිහියෙන් යුතුව බලන්නට හෝ සිහිය පිහිටුවා ගන්නට යැයි පවසන්නේ කුමක් නිසාද?
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood