Temples of Sri Lanka

මේ ප්‍රතිපත්තිය නිවන කරාය…

සංසාර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ.

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යගාජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ අට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ය.

සම්‍යක්දෘෂ්ටිය යනු චතුරාර්‍ය්‍ය සත්‍ය දන්නා වූ ඥානය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් දුක් හඳුනන්නා වූ ඥානය ය. දුක් ඇතිවීමේ සැබෑ හේතුව හඳුනන්නා වූ ඥානය ය, දුක් නිවීම වූ සැබෑ සැපය හඳුනන්නා වූ ඥානය ය, සැබෑ සැපය වූ නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය හඳුනන්නා වූ ඥානය ය යන මේ ඥාන සතර සම්‍යග්දෘෂ්ටිය ය.

සම්‍යක් සංකල්පය යනු නිවැරදි කල්පනාව ය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය

සම්‍යක් සංකල්පය යනු නිවැරදි කල්පනාව ය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය,
අවිහිංසා සංකල්පය යි තෙවැදෑරුම් වේ. පුත්‍ර‍ භාර්‍ය්‍යා ස්වර්ණරජතාදි කාමනීය වස්තූන් කෙරෙහි පවත්නා වූ තෘෂ්ණා බන්ධනයෙන් මිදීම පිළිබඳව වූ කල්පනාව නෛෂ්ක්‍ර‍ම්‍ය සංකල්පය නමි. අව්‍යාපාද සංකල්පය යනු අන්‍යයන් සුවපත් කිරීම පිළිබඳ කල්පනාවය. අවිහිංසා සංකල්පය යනු දුඃඛිතයන් දුකින් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාව ය.

සම්‍යක්වචනය යනු බොරු කීමය, කේලාම් කීමය, පරුෂ වචන කීමය, සම්ඵප්‍ර‍ලාප කීමය යන මේවායින් වැළකීම ය.

සම්‍යක් කර්මාන්තය යනු ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය යන කයින් සිදුවන පව් තුනෙන් වැළකීම ය.

සම්‍යගාජීවය යනු දිවි පෙවෙත සඳහා කායවාක් දුශ්චරිත නො කොට ඒවායින් වැළකීම ය.

සම්‍යග් ව්‍යායාමය යනු නූපන් අකුසල් ඇති නොවනු පිණිස ද, උපන් අකුසල් දුරු කරනු පිණිස ද, නූපන් කුසල් ඇති කරගනු පිණිස ද, උපන් කුසල් දියුණු කරනු පිණිස ද කරන වීර්‍ය්‍යය ය.

සම්‍යක් ස්මෘතිය යනු යහපත් සිහිය ය. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය යි සම්‍යක් ස්මෘතිය සිව් වැදෑරුම් වේ. භාවනාවේ යෙදෙන්නවුන්ට දෙතිස් කුණපාදිය අමතක වන්නට නොදී මේ සිහියෙන් නැවත නැවත මතු කර දෙන්නේ ය.

සම්‍යක් සමාධිය යනු සිතට මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට සංක්‍ර‍මණය වන්නට නො දී කසිණාදි එක් අරමුණක පිහිටවන ස්වභාවය ය. එය ප්‍ර‍ථමධ්‍යාන සමාධිය ද්විතීයධ්‍යාන සමාධිය තෘතීයධ්‍යාන සමාධිය චතුර්ථධ්‍යාන සමාධිය යි සතර වැදෑරුම් වේ. සමාධිය කලක් භාවනාවේ යෙදීමෙන් ලැබිය යුත්තකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සංක්ෂේප කළහොත් ශීලස්කන්ධය, සමාධිස්කන්ධය, ප්‍ර‍ඥාස්කන්ධය යන මේ ස්කන්ධ තුන වේ. සම්‍යග්වචනය සම්‍යක්කර්මාන්තය සම්‍යගාජීවය යන මාර්ගාංග තුන සීලස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන මේ තුන සමාධිස්කන්ධයට ඇතුළු වේ. සම්‍යග් දෘෂ්ටිය සම්‍යක් සංකල්පය යන දෙක ප්‍ර‍ඥාස්කන්ධයට ඇතුළු වේ.

තෙරුවන් සරණයි🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X