Temples of Sri Lanka

විශේෂ නිවේදනයයි

2026.05.04

විශේෂ නිවේදනයයි

සංවිධානාත්මකව බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් දියත් කෙරෙන ද්වේශ සහගත ව්‍යාපාරය හෙළා දැකීම සහ බෞද්ධ ජනතාව දැනුවත් කිරීම.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවී සිටින ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර සිව්වනක් වූ බෞද්ධ පිරිස වෙත,

මෑතක සිට සමාජ මාධ්‍ය ජාලා, විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) වෙබ් අඩවිය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවනීය මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන අතිශය නින්දිත සහ සංවිධානාත්මක අපහාස මෙහෙයුමක් පිළිබඳව බෞද්ධ සහෝදරත්ව පදනම ලෙස අපගේ දැඩි අවධානය යොමු වී ඇත.

මෙම වැඩපිළිවෙළ හුදු පුද්ගලික මත ප්‍රකාශ කිරීම් නොව, විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය හා ගෞරවය පළුදු කරමින්, ශාසනික ව්‍යුහය අස්ථාවර කිරීම වෙනුවෙන් විදේශීය හෝ වෙනත් අදෘශ්‍යමාන හස්තයන් විසින් මෙහෙයවනු ලබන සැලසුම් සහගත ව්‍යාපෘතියක් (Funded Project) බව ඉතා පැහැදිලිය. ව්‍යාජ ගිණුම් (Locked Profiles) භාවිත කරමින්, අසභ්‍ය හා ද්වේශ සහගත භාෂාවෙන් කරනු ලබන මෙම ප්‍රහාරයන්හි ප්‍රධාන අරමුණ වී ඇත්තේ විහාරස්ථාන තුළ සදාචාර විරෝධී ක්‍රියා සිදුවන බවට මතයක් සමාජගත කරමින් ගිහි ජනතාව පන්සලෙන් ඈත් කිරීමයි.

මෙම අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූවකි. ජාත්‍යන්තරව කීර්තිමත් බෞද්ධ නායකත්වයන් ඉලක්ක කර ගනිමින් ද දියත් වන මෙය, ඉතා සංවිධානාත්මකව ‘ළමා අපචාර’, ‘ස්ත්‍රී දූෂණ’, ‘මූල්‍ය අවභාවිතය’ සහ ‘මුදල් විශුද්ධිකරණය’ (Money Laundering) වැනි බරපතල පොදු චෝදනා නිරන්තරයෙන් එල්ල කරමින් උතුම්සංඝ සමාජය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කිරීමටත්, එමගින් බුදුදහමේ ව්‍යාප්තිය අඩාල කිරීමටත් දරන නින්දිත උත්සාහයකි.

මෙවැනි අවස්ථාවක බුද්ධිමත් බෞද්ධ ජනතාව ලෙස ඔබ ක්‍රියා කළ යුතු ආකාරය:

• ප්‍රතිචාර නොදක්වන්න (Do not engage): ව්‍යාජ සහ ද්වේශ සහගත පෝස්ට් යටතේ වාද කිරීමට හෝ පරුෂ වචනයෙන් කමෙන්ට් කිරීමට යාමෙන් වළකින්න. එවැනි දේ කිරීමෙන් එම පෝස්ට් වැඩි පිරිසක් අතරට යාමට (Reach) ඔබ නොදැනුවත්වම සහය විය හැකිය.

• වාර්තා කරන්න (Report): මෙවැනි ඕනෑම ද්වේශ සහගත හෝ අසත්‍ය පෝස්ට් එකක් දුටු සැණින් එය ෆේස්බුක් ආයතනය වෙත ‘Hate Speech’ හෝ ‘False Information’ ලෙස Report කිරීමට කටයුතු කරන්න.

• බෙදා හැරීමෙන් වළකින්න (Don’t Share): අසත්‍ය ප්‍රවෘත්තිවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර නොගෙන ඒවා Share කිරීමෙන් වළකින්න.

• සත්‍ය පණිවිඩය ව්‍යාප්ත කරන්න: ශාසනික මෙහෙවර සහ විහාරස්ථාන මගින් සිදුවන උදාර සේවාවන් පිළිබඳව වැඩි වැඩියෙන් සමාජගත කරන්න.

අපගේ සම්බුද්ධ ශාසනය රැකගැනීම සියලු බෞද්ධයන්ගේ වගකීමකි. මෙවැනි අභියෝග හමුවේ නොසැලී, ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

මෙයට,

ආචාර්ය දමෙන්ද පෝරගේ
සභාපති,
බෞද්ධ සහෝදරත්ව පදනම
(Foundation for Buddhist Brotherhood)
නියෝජ්‍ය මහ ලේකම් – IBC, New Delhi

You might also like
en English
X
X