ධර්ම දානය තුළින් කරුණාව…
උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් උත්තම වූ තිසරණ ලාභය හඳුනාගන්නා නුවණැති උතුමන් බුද්ධ ශාසනය වෙත පැමිණෙන්නේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙකු වීමෙනි. එනම්, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයෙන් ලත් හේතු සහිත වූ පැහැදීම මුල්කරගෙනයි.
එම නිසා ‘ශ්‍රැතය’ යනු දහම් මගේ ආරම්භයේ සිට ම අවසානය දක්වා ආර්ය ශ්‍රාවකයා සතු මහානීය වූ ධනයක්, බලයක් වශයෙන් ධර්මයෙහි පෙන්වා දී තිබේ. ‘බහුශ්‍රැතභාවය’ නම් වූ ගුණය තථාගත ශ්‍රී සද්ධර්මය තුළ නිවන් මගෙහි අංගයක් වශයෙන්, දෙව්ලොව උපත සදන සේඛ බලයක් වශයෙන් නොයෙක් ආකාරයෙන් පෙන්වා දී තිබෙන්නේ එහි ඇති වැදගත් බව නිසා ම ය. තවත් නොයෙක් ආකාරයෙන් පිහිට සලසන්නා වූ ‘බහුශ්‍රැතභාවය’ පිළිබඳ ව ශ්‍රාවකයා මනා ව දැන සිටීම වැදගත් ය.
සියලු දානයන් අතර ධර්ම දානය උතුම් බව පවසන්නේ නිකමට නොවේ. එය සියලු සත්වයින් සියලු දුක් අසහනයන්ගෙන් මිදෙන්නට උපකාරයක්ම වෙනවා. අන්න ඒ නිසා ධර්ම දානය කරුණා ශාසනයේ අංගයක් වන ආකාරයත් අපට වැරදී ඇති සමහර කරුණු සම්බන්ධයෙනුත් මෙහිදී කෙටියෙන් විග්‍රහ කරගනිමු.
ධර්ම දානය කිවූ විට බොහෝ දෙනෙක් පොත පත තමයි ලබා දෙන්නට උත්සාහ කරන්නේ. එහෙත් ධර්ම දානය නිසි ලෙසින් සිදුකරනවා නම් කල යුත්තේ කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබා දීමයි. චතු සත්‍ය අවබෝධ කරගත්තාවූ කළ්‍යාණ මිත්‍ර සේවනයක් නම් ලැබෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරන පිරිස ධර්ම දානය ලබනවා. දානයක් තුලින් ලබන ආයුෂ, වර්ණ, සැප, බල, ඥානය ලබනවා.
ධර්ම පොත පත ලබාදීමේ කිසිම ගැටලුවක් වරදක් නෑ. එයත් එක් කොටසක් විදියට අපට සලකන්නට පුළුවන්. එහෙත් ධර්ම පොත පත ලබාගන්නා පුද්ගලයාට අවබෝධයක් තිබිය යුතුයි පොත පත තුලින් ලැබෙන්නේ සැබෑම කළ්‍යාණ මිත්‍ර ඇසුර ලැබගන්නට උපකාරයක් මිස පොත පත කියන්නේ කළ්‍යාණ මිත්‍රයෙක් නොවේය යන්න.
සැබෑ කරුණාව, මෛත්‍රිය ආදී කරුණා ශාසනය තුලින් අදහස් වන්නේ නිවනට උපකාර කිරීම නම්, ලෝකෝත්තර පැවැත්ම නැවැත්ම පිණිස උපකාරයක් වීම නම් අනිවාර්යෙන්ම ධර්ම දානය ඒ අරඹයා විය යුතුයි. ධර්ම දානය යැයි පවසා යමෙක් පැවැත්ම පිණිසම වූ ධර්මයක් ලබා දෙනවා නම් ප්‍රචාරය කරනවා නම් ඒ තුල ගැබ්වන්නේ සැබෑ කරුණාව, මෛත්‍රිය නොවන බව නුවණින් දැකිය යුතුයි.
චතුසත්‍ය, හේතු ඵල දහම, රාග ද්වේශ මෝහ ක්ෂය කරගැනීමෙන් ලැබිය යුතු විනය ලැබීම පිණිස ලබාදිය යුතු ධර්මය තමයි ධර්ම දානය තුල තිබිය යුතු වන්නේ… ධර්ම දානයට සම්බන්ධ කරුණු විමසා බලන්නටත් ඒ තුල සැඟවුණු කරුණාව දැනගන්නටත් මෙම කොටස වෙන් කරමු.
තෙරුවන් සරණයි🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood