අද දින එනම් 2021 ජුලි මස 6 වනදින ලෝක බෞද්ධ නායක සහ ටිබේටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේගේ 86 වන ජන්ම සංවත්සරය ලොව රටවල් ගණනාවක බෞද්ධ සහ බෞද්ධ නොවන උන්වහන්සේගේ අනුගාමිකයින් විසින් සෞඛ්‍ය නීති රෙගුලාසීනට අනුව සමරනු ලබයි. ඒ අතර, උන්වහන්සේට නීරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් විවිධ පූජාවන් ද වේ. ශ්‍රී ලංකාවේ ද විහාරස්ථාන කිහිපයකම එයට සමගාමීව උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ පූජා සහ විවිධ ආගමික කටයුතු සංවිධානය කර ඇත. සවස 6ට ‘ලෝක සාමය සහ බෞද්ධයා’ යන මැයෙන් විශේෂ සාකච්ඡාවක්ද විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය. පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක හිමි, පූජ්‍ය මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි, පූජ්‍ය ආචාර්ය ඕමල්පෙ සෝභිත හිමි, පූජ්‍ය මහාචාර්ය මැදගම්පිටියේ විජිතධ්ම්ම හිමි ඇතුළු ගිහි පැවිදි විද්වතුන් පිරිසක් මෙම සාකාච්ඡාවට සහභාගී වීමට නියමිතය. මෙම සාකාච්ඡාව ශ්‍රී ලංකා ටිබෙට් බෞද්ධ සහෝදරත්ව පදනමේ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය.
අවලෝකේතීස්වර බෝධිසත්ව පුනරුප්පත්තිය ලෙස ටිබෙට්වරුන් විශ්වාස කරනු ලබන දහ හතරවන දලයි ලාමා හෙවත් ටෙන්සින් ග්යත්සෝ දලයි ලාමා වහන්සේ 1935 වර්ෂයේ ඊසානදිග ටිබේටයේ උපත ලැබූහ. පුනරුප්පත්ති විශේෂඥයින් විසින් උන්වහන්සේට යාන්තම් වයස අවුරුදු දෙකේදී 13 වන දලයි ලාමාගේ පුනරුප්පත්තිය ලෙස හඳුනා ගන්නා ලදී. වයස 6 දී පැවිදි දිවියට ඇතුළත් වී බෞද්ධ ධර්මය ඉගෙනීමට යොමු වූ උන් වහන්සේ වයස 23 දී සිය බෞද්ධ අධ්‍යාපන කටයුතු නිමකොට ටිබේටයේ අධ්‍යාත්මික මෙන්ම දේශපාලන නායකයා බවටද පත් වූහ. නමුත් 1949-1950 වකවානුවේ චීනය විසින් ටිබේටය ආක්‍රමණය කිරීමෙන් පසුව උන්වහන්සේගේ ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් 1959 දී දේශපාලන රැකවරණ පතා ඉන්දියාවට පළා යන ලදී. වර්තමානයේ උන්වහන්සේ වැඩ වාසය කරන්නේ ඉන්දියාවේ ධරම්ශාලා ප්රදේශයේය.
වර්ෂ 1989දී ජාත්‍යන්තර නොබෙල් සාම ත්‍යාගයෙන් පුදනු ලැබූ උන්වහන්සේ මේ වන විට බෞද්ධ දර්ශනය, ලෝක සාමය, බෞද්ධ මනෝ විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විෂයයන් පිළිබඳව ග්රන්ථ සියයකට අධික සංඛ්‍යාවක් රචනා කොට ඇත.