Temples of Sri Lanka

රූපයට ගවේෂණයක්

ඔබ සිතන්න…

ඔබ සීමාව ඉක්මවා ශරීරය ඉස්මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙනවා කියලා.එම ශරීරය මතු කර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආශ්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා ඔබදක්ෂ වෙන්න, ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ට යහපතක් සලස්වන්න .

එසේ නොවුණොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසා අනුන්ගේ ආස්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ. වර්තමාන සමාජයේ ඉහත කාර්යය බොහොම අපූරුවට අන්‍යෝන්‍ය එකමුතුවකින් යුතුව දෙපාර්ශවයම ආශ්‍රවයන් වඩවා ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා.

වර්තමාන සමාජය සූපවේදයේ දියුණු භාවය හේතුවෙන් සකස් වෙන විවිධ රසයෙන් ගුණයෙන් පැහැයෙන් හැඩයෙන් යුත් ආහාරයක් නිසා එම ආහාරයන් ඇසෙන් දැක දිවෙන් රස විඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇති කරගෙන නැති ආශ්‍රවයන් ඇතිකර ගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා ඔබ රසය ඉදිරියේ ඇස දිව මනස සංවර කර ගන්නට පුරුදු වෙන්න. එසේ නොවුණහොත් ආහාරය නිසා නිරතුරුවම ඔබ නැති ආශ්‍රවයන් ඇතිකර ගනිමින් ඇති ආස්‍රවයන් වර්ධනය කොට ගන්නවා .

නවීන තාක්ෂණික ක්‍රමවේදයන් තුළින් සකස් වෙලා ඇති සංගීතය හේතුකොටගෙන කනෙන් එම ශබ්දය අසා මනස අසංවර කරගෙන අප්‍රමාණ ආශ්‍රවයන් ආස්‍රවයන් ඇතිකරගන්නවා. රාත්‍රී සංගීත සංදර්ශනයක් සැණකෙළියක් සිහියට නගාගන්න. මේවා බරපතළ ආකාරයට නැති ආශ්‍රවයන් ඇතිකර දෙනවා සමාජයේ ශීලයෙන් දුරස් කොට මෛත්‍රීය චින්තනයෙන් දුරස් වෙන කොට තමන් තුළින් සිල් සුවඳ මෙත් සුවඳ නැති වී යනවා. එවිට ශරීරය සුගන්ධවත් කිරීම සඳහා සුවඳ විලවුන් භාවිතයට සමාජය හුරු වී යනවා භාවිතය නිසා සුවඳ හමන වෙලාවට සැප වේදනාවක් ඇති කොට ගන්නවා දහඩිය හමන වෙලාවට දුක් වේදනාවක් ඇති කරගන්නවා. මේ හේතුව නිසාම නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය ඇති කරගන්නවා නානාප්‍රකාර ඇඳුම් විලාසිතාවන් නිසා නිරතුරුවම රූපයේ ඉස්මතු කර පෙන්වීමට යෑම නිසා ඉන්ද්‍රිය අසංවරය ඇති කරගෙන නැති ආශ්‍රවයන් ඇතිකර ගැනීමට සමත් වෙනවා

එම නිසා ඔබ ඇඳුමක් තෝරා ගත් විට ආශ්‍රවයන් ඇති නොවන ආකාරයට හොඳින් සිහිනුවණින් පරිහරණය කළ යුතුයි එසේ නොවුණොත් නැති ආස්‍රවයන් ඇති වීමෙන් ඇති ආශ්‍රවයන් වර්ධනය වීමෙන් ඔබ දුස්සීල භාවය නිසාත් නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය කර කරගැනීමට ලක්වෙනවා. සිල්වත් භාවය කුසල් මූලයන් ගේ ඵලය හැටියටත් ඉන්ද්‍රිය සංවරය හඳුන්වන්න පුළුවන්.

ඉන්ද්‍රිය සංවරභාවය ගැන සටහන් තබන කොට අධි සංවරභාවය ගැනත් ප්‍රවේශම් වෙන්න ඕන. සමාජය ඉදිරියේ පිරිස ඉදිරියේ සමහරක් අය අධි සංවරභාවය න් හැසිරීමට උත්සාහ ගන්නවා. මේ හේතුව නිසාම නැති ආශ්‍රවයන් ඇතිකර ගන්නවා ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා.

දිනක් භික්ෂුවක් කුටියට ආගන්තුකව පැමිණි ස්වාමීන් වහන්සේ නමක් සමඟ ගමට පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේ තරුණ සාමණේර වහන්සේ නම සමග මාර්ගයේ එකිනෙකට සමීපව නිවාස පිහිටි නිතර වාහන ගමන් කරන තාර පාරක භික්ෂුව සමග වේගවත්ද නොවී සෙමින් ද නොවී මධ්‍යම ප්‍රමාණයට පියවර තබමින් ඉදිරියෙන් වැඩිය. පිණ්ඩපාතයට වැඩිය යුතු අතුරු පාරට හැරෙන තැනට පැමිණ භික්ෂුව පසුපස හැරී පසුපසින් වඩින එම ආගන්තුක ස්වාමීන් වහන්සේ දෙස බැලුවා. බැලූ විට,දෙදෙනාම එකට කුටියෙන් එළියට වැඩිය උන්වහන්සේ භික්ෂුවට වඩා මීටර් දෙසීයක් පමණ ඈතින් තමයි ඒ මොහොතේ වඩිමින් සිටියේ.

භික්ෂුව උන්වහන්සේ තුළින් දැක්කේ පිරිස ගැවසෙන මාර්ගය වඩින විට උන්වහන්සේ
අධිසංවර භාවයක් ඇති කර ගෙන ඇති බවයි.මේ අධි සංවරභාවය ද අපි තුළ නැති ආශ්‍රවයන් ආශ්‍රවයන් ඇති කොට දෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කොට දෙනවා. භික්ෂුව ගිහි ජීවිතයේදී ධර්මයේ අර්ථයන් ජීවිතය තුලින් මතුකොට ගත්තේ අභියෝගයන්ට නොබියව කිඳාබැසලායි.එකක් අතහැරලා දෙකක් දිනා ගෙන දිනාගත් දෙකම අතහැරීමේ ශක්තියක් ගිහි ජීවිතේදී ඇතිකරගන්න ඕන.

ඉන්ද්‍රිය අසංවරභාවය ගිහි ජීවිතයේ දී හොඳින් හුරු පුරුදු දෙයක්. ඉන්ද්‍රිය අසංවරභාවය තුළින් මතු කොට ගත් අත්දැකීම් තුළින්මයි ඉන්ද්‍රිය සංවරභාවය ඇති කොට ගන්නට පුළුවන් වන්නේ. අසංවර ඉන්ද්‍රිය නුත් අනුන්ගේ අසංවර ඉන්ද්‍රිය නුත් එකතු වුන තැන දී ඇතිවන වේගවත් භාවය, නුවනින් දකින්නට ඕනේ. ඒ වේගය රූපයේ වේගය හෝ විඥානයේ වේගය කියලා දැන ගන්නට අවශ්‍යයි. නමුත් පසු කාලයේදී රූපයේ අනිත්‍යභාවය විඥානය අනිත්‍ය භාවය අවබෝධ කොට ගැනීමට අතීතයේ මේ අත්දැකීම් උපකාරී වෙනවා …

ඒ නිසාමයි භික්ෂුව අභියෝගයන්ට කිඳා බැහැලා ධර්මය මතුකොට ගන්න කියල හැමතිස්සෙම ප්‍රකාශ කරන්නේ .

ඔබ රූපයන්ට නිරතුරුවම බැඳී යන්නේ වර්ණ ගන්ධ ශබ්ද රස ස්පර්ශයන් පරිහරණය කිරීමේදී ඒවා දෙස හොඳින් නුවණින් නොබැලීම නිසයි . දකිනකොට යමක් අහනකොට හොඳින් විවෘතව දකින්න බලන්න අහන්න .ඔබ රූපය අඳුරේ අතපත ගාන්නේ ක් නම් ඔබට කවදාකවත් අවිද්‍යාවෙන් වැසී ඇති රූපය තුළින් ප්‍රඥාවේ ආලෝකය මතුකොට ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ .විවෘත කොට ගත් දෑස් තියුණු දෑස් සමග ගවේෂණශීලී විදර්ශනා මය මනස මුණ ගැහුණු තැනදී රූපයේ යථා ස්වභාවය මතුකොට ගැනීමට ඔබට පහසු යි. රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඬ උපක්‍රමශීලීව ගවේෂකයෙක් වීමට දක්ෂ වෙන්න ඕන. රූපය ඉදිරියේ නිහඬ ගවේෂකයෙක් වීමට දක්ෂ පුද්ගලයා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇති කොට ගත් ඉන්ද්‍රිය අසංවරභාවය තුළින් ම වීර්යයෙන් ඉවසීම තුළින් ඉන්ද්‍රිය සංවර භාවයට අවශ්‍ය සාධක මතුකොට ගන්නවා. එසේ නොවුණහොත් ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම නැති ආශ්‍රවයන් ඇති කොට ගනිමින් ඇති ආශ්‍රවයන් වර්ධනය කරගැනීමට ඒක හේතුවක් කරගන්නවා .

මේ දහම් කරුණු සමඟ එකඟතාවයකින් යුතුව, ජීවිතය අත්දකින්නට ඔබට ආරාධනා …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X