බුදුරදුන් මුනිවත රැකි ප්‍රශ්න දහයක් පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම උදෙසා මෙය ඉතා වැදගත් වනු ඇත. එම ප්‍රශ්න දහය මෙසේ විග්‍රහ කරමු…
1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)
2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)
3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද)
4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?)
5. මනස හා ශරීරය එක්ව පවතීද?
6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද?
7. තථාගතයන් මරණින් පසු සිටීද?
8. තථාගතයන් මරණින් පසු නොසිටීද?
9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද?
10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?
මෙකී ප්‍රශ්න දහයට අප බුදුන්වහන්සේ එකහෙලා ම පිළිතරක් නොදුන්නේත්, ඔව් හෝ නැත යනුවෙන් කෙටි පිළිතුරක් නොදුන්නේත් ඇයිද යන්න පිළිබඳව උගත්තු විවිධ මත දක්වන්නට යෙදුනහ.
චූල මාලුංක්‍ය” සූත්‍රයෙහි දැක්වෙන පරිදි දිනක් මාලුංක්‍ය පුත්ත නම් භික්ෂුවක් බුදුරදුන් හමුවට පැමිණ මේ ඉහතකී ප්‍රශ්න දහයට බුදුන් වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබේනම්, තමන් සිවුරු හැරයන බව අවධාරණය කළේ ය. එවිට බුදුන් වහන්සේ මාලුංක්‍ය පුත්තට පැහැදිලි කළේ ඔබට මා විසින් මේ ප්‍රශ්න දහයට පිළිතුරක් දෙන්නේ ය, යන පොරොන්දුව පිට පැවිදි වූවා නම් එසේ සිවුරු හැරයාම සාධාරණයි.
මා එබඳු පොරොන්දුවක් නොවූ නිසා එයට පිළිතුරුදීමට මම බැඳී නැති බව උන්වහන්සේ පැවසූහ.
ඔබ පැවිදි වූයේ සසර දුක නැතිකර ගැනීමේ අරමුණින් නම්, මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා යාම ඊට කිසිසේත් අදාළ නොවන බව බුදුරජාණන් වහන්සේ මාලුංක්‍ය පුත්තට උදාහරණයක් මඟින් පැහැදිලි කළහ.
මාලුංක්‍ය පුත්ත,
යම් පුද්ගලයෙක් දිනක් කිසිවකු විසින් විදින ලද ඊතලයකින් පහර කෑවේ ය. හේ අතිශය වේදනාවෙන් කෑගසමින් සිටින විට ඔහුගේ නෑහිත මිතුරන් වහා ඔහුව වෛද්‍යවරයකු කරා ගෙනයාමට සූදානම් වූහ.
එවිට මේ තුවාල ලැබූ තැනැත්තා එය වළකාලමින්
“ මේ ඊතලය විද්දේ කවුරුන්ද?”
ඔහු ජාතිය කුමක්ද?
ඊතලය තැනුවේ කවුරුන්ද?
කුමන ලෝහයකින් එය තැනුවාද?
එහි දුන්න සාදා ඇත්තේ කුමකින්ද,
දුන්නේ දුනුදියට යොදාගෙන ඇත්තේ මොනවාද? යනාදී වූ
ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු මම වෛද්‍යවරයා වෙත නොයමියි, වූවා නම්,හා
එලෙස නෑයන් වළක්වමින් සිටියේ නම්, ඔහු එයින් ජීවිතක්ෂයට පත්වන්නේ ය.
මෙම උපමා කථාවෙන්, උක්ත ප්‍රශ්නවලට බුදුරදුන් පිළිතුරු නොදුන්නේ, පැහැදිලිවම එය නිවනට අදාළ නොවන නිසා බැව් පැහැදිලි වේ.
ඹපොට්ඨපාද සූත්‍රයට අනුව අව්‍යාකත ප්‍රශ්න කිසිදු ප්‍රයෝජනයක් නැති, එසේම ධර්මයට අනුකූල නොවූ, ලෝකයේ යථා ස්වභාවයට අනුකූල නොවූ, මිනිසා උත්තම චර්යාව හෙවත් බ්‍රහ්ම චර්යාවටද අදාළ නොවන බවත් මෙසේ
“න අත්ථ සංහිතං
න ධම්ම සංහිතං,
නාදි බ්‍රහ්මචරියකං” යනුවෙන් පැහැදිලි කර ඇත.
මජ්ක්‍ධිම නිකායේ පංචත්තය යනුවෙන් හා සංයුක්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ඇත, නැත, අන්ත, අනන්ත, ශාශ්වත, අශාශ්වත, ජීවය හා ශරීරය, එකක්ය.
දෙකක්ය. යන මෙකී සියලු විවාද බිහිවන්නේ සක්කාය දිට්ඨිය වූ පංචස්කන්ධයෙහි ඇලී ගැලී සිටීම නිසා බවයි.
මෙම කරුණු අපූරු උදාහරණයක් මඟින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
“සුනඛයෙකු කණුවක බැඳ තැබූ අවස්ථාවේ සුනඛයා කඹය දිග තිබෙන ප්‍රමාණයට ඇවිදිමින් කණුව වටේම ගමන් කරයි. එහි ලැග සිටියි. එයින් පිටට ඌට ගමන් කිරීමකට හැකියාවක් නැත. මෙලෙස දස අව්‍යාකත ප්‍රශ්න අප රවුමක් ලෙස ඇඳ මැද කණුවක් සලකුණු කර එහි ගැට ගැසූ සුනඛයාද චිත්‍රයට නඟා බලමු. සුනඛයන් වරක් එක් අන්තයකටත් තවත් වරෙක අනෙක් අන්තයට ගමන් කරන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දැක්වූ පරිදි සුනඛයා කණුවට බැඳ සිටින්නා සේ පෘථජ්ජන මිනිසා සක්කායදිට්ඨිය නම් වූ කණුවෙහි බැඳී ඒ අන්තයටත් මේ අන්තයටත් ගමන් කරයි.
මෙසේ මිනිසා ලෝකය හා සත්වයා, සදාකාලිකය ආත්මය සදාකාලිකය යනුවෙන් ගැනෙන ශාශ්වත වාදයටත්, මරණින් මතු සියල්ල අවසන් වේ,ලෝකය සදාකාලික නොවේ යන උච්ඡේද වාදයටත් ගමන් කරයි.
ලෝකයේ කෙළවරක් පිළිබඳවත් අන්තය අනන්තය පිළිබඳව නිගමනයටත් මිනිසා එළඹෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙනය.
සත්වයා හා ලෝකය නිරන්තරයෙන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස්වෙමින් හැමවිටම ගලායන ප්‍රවාහයක් ලෙස පවත්නා භවයක, මෙසේ ලෝකය පිළිබඳ එළඹෙන්නේ රූප, වේදනාව, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය ම නිත්‍යයයි, මමයයි මගේ යයි සලකන සක්කාය දිට්ඨිය නිසාවෙනි.
අප්‍රමාදී වීම පිණිස මේ දහම් කරුණු මතු මතුත් හේතු වේවා ….! වාසනා වේවා! ප්‍රාර්තනා වේවා!!!
උපුටා ගැනීමකි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood