Temples of Sri Lanka

මට හමු වූ කුසුමා තෙරණිය – කුඩගම්මන සීලරතන

වර්ෂයෙන් 82/83 වසරවල එක් ඉරු දිනෙක, සිළුමිණ මුල් පිටුවෙහි ඉතා ම කුඩා දැන්වීමක් පළ වී තිබුණි. එයින් කියවුණේ පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටිය දී, රෝගී ව ප්‍රතිකාර ලබමින් සිටි එවකට ප්‍රකට අධ්‍යාපනඥයකුව සිටි ඩී. ටී. දේවෙන්ද්‍රයන් සහ ආචාර්ය කුසුමා දේවේන්ද්‍ර යන යුවලගේ දියණිය රෝහලේ දී අභාවප්‍රාප්ත වූ බව යි..

එදිනම රාත්‍රියෙහි නවයට පමණ තවත් ප්‍රකට හිමිවරුන් දෙනමකගේ කැඳවීම මත, මා ද ඔවුන්ගේ නිවස බලා පිටත් වීමු.

ඒ වන විටත් දේවේන්ද්‍ර යුවල රටේ ප්‍රකට වියතුන් දෙපළකි.

ගේට්ටුවෙන් නිවස දෙසට වාහනය හැරවුව ද , නිවසේ දොරවල් වසා තිබුණි. ඇතුළත විදුලි පහනක් දැළ්වෙමින් තිබුණ අතර ම, සෙවනැලලක් ඇතුලත වැනෙනු වීදුරු ජනේලයෙන් පෙනුණි.

එහෙත් නිවසේ මළ ගෙදරක සලකුණක් වත් නොවී ය. එනිසාම අප සිතුවේ ඔවුන් තවමත් රෝහලේ සිට දේහය රැගෙනවිත් නොමැති බව ය.

ටික වේලාවකින් කිසියම් කෙනෙකු පැමිණ දොර හැරිය අතර, දොර ළඟ සිටි අපට ඇසුණේ, නිවස තුළට යන අතරම තරමක හඬින් “මහත්තය, හාමුදුරුවරු වගෙයක් ඇවිත්,” කියමින් යමෙක් පැවසූ බවයි.

නිවෙස තුළ මළ ගෙදරක සලකුණක්වත් නොවී ය. පැනවූ අසුන්වල තැන්පත් ව, තරමක් වේලා කතා කරමින් සිට, අප අතර වැඩිහිටි ම භික්ෂුන් වහන්සේ ව සිටි, සුප්‍රකට සම්මානනීය ගීත රචක රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ, මහත්තය …අපි ආවෙ අද උදේ පත්තරේ තිබුණ පුවතක් දැකලයි .කියල සඳහන් කළා. එවිට දේවේන්ද්‍ර මහත්මා, “ආ එහෙමයි ස්වාමීන් වහන්ස, අපි හිතුව ඒ බව. දුව මැරුනනෙ. අපි එහෙමම පැය කීපෙකින් අවසන් කටයුතු කරල ම ගෙදර ආව. කියා ඔහු කියා හිටියා.

අපිටත් එය හරි ම අවුල් සහගත තත්වයක් උණා. මොකද, එය සුපුරුදු ශ්‍රී ලාංකික සම්ප්‍රදාය නොවන නිසා. ඉතා ම කෙටි නිහැඬියාවක සිටි දේවේන්ද්‍ර මහත්මා, “මළාට පස්සෙ මොනව කරන්ඩ ද ස්වාමීන් වහන්ස වලලනව මිසක්,” යයි කීවේ ය.

දේවේන්ද්‍ර මෑණියන් ද ඔහුගේ සිරුරෙහි ගෑවෙන නොගෑවෙන තරමින් ළඟින් සිටියා ය.

මට එතුමිය එදායින් පසුව හමුවූයේ, වසර තිහකට පමණ පසු චිකාගෝවලදී භික්ඛුණී කුසුමා ලෙස ය.

එදින ඇය දම් දෙසුමක් පැවැත්වූවා ය. එතනට සහභාගි වූ ඉන්දියානු හින්දු භක්තික ඉංජිනේරුවරයෙකු ඇගෙන් කිසියම් ප්‍රශ්නයක් ඇසුවේ ය. මට මතක නැතත් ඔහු විමසුවේ එතුමිය දම් දෙසුමෙහි දී පැවසූ කිසියම් කරුණක් ඔප්පු කළ නොහැකි බවත්, එනිසා ඔහුට පිළිගතඉ නොහැකි බවත් ය.

ඉතා සන්සුන් ව ඒ සඳහා පිලිතුරු වශයෙන් ප්‍රති උත්තර ලබා දුන් කුසුමා භික්ෂුනීන් වහන්සේ , “ඔයාට කළු පූසෙක් ගැන හිතන්ඩ පුළුවන්ද,” යයි ඔහුගෙන් පෙරලා ඇසුවා ය. හැකි යයි පැවසූ අතර, “එහෙනම් හිතන්ඩකො,” යයි කීවා ය.

මොහොතකින් එතුමිය ඇමතූ ඔහු තමා කළු පූසෙකු ගැන සිතූ බව කීවේ ය. එතෙක් තබා ගත් සන්සුන් බවෙහි ම රැඳුණ ඈ, “එහෙනම් එහෙම හිතපු බව දැං ඔප්පු කරන්ඩකො,” කීවා ය.

නිහඬව ම අර ප්‍රශ්න කල තැනැත්තා පසු බැස ගියේ ය.

එතුමියගේ පැවිද්ද සිදුවී ඇත්තේ, ඒ දිනවල මා සමග පැවසූ ආකාරයට නම් අහම්බයකිනි. ඒ වනවිට දේවේන්ද්‍ර මහත්මාත් මියගොස්, ඇගේ පුතණුවරුන් දෙදෙනෙකුත්, මට මතක හැටියට යතුරු පැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සෙසු දරු දෙපළ ඇමරිකාවේ වාසයට පැමිණ සිට තිබුණ අතර, ඇය මුළු ජීවිතය ම බෞද්ධ පිළිවෙත්වලටම ඇප කැප කර තිබුණි.

පැවිද්දට කැමැත්ත දැක් වූ කාන්තාවන් 25 දෙනෙකුට මූලික වත් පිළිවෙත් පුහුණු කරවන ලෙස කටයුතු සලස්වා, කුසුමා දේවේන්ද්‍ර මැතිණිය තායිවානයට ගොස් තිබුණේ සය මසක් එහි භික්ෂුණීන් වහන්සේලා ඇසුරෙහි රැඳෙමින් ශ්‍රී ලාංකික භික්ෂුණීන් සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීමට අවශ්‍ය කටයුතු සංවර්ධනය උදෙසාය.

ජාත්‍යන්තර මාධ්‍යවල පවා පළකර සිටියේ , ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය නැවත ඇති කිරීමට ඇය පුරෝගාමීව තායිවානයේ රැඳී සිටිය දී, පුහුණුවට යැවුණ කාන්තාවන් විසිපස් දෙනා ම පැවිද්ද පිළිකෙවු කර, අතුරුදන් වී තිබු බවයි.

උත්සවයට තවත් තිබී ඇත්තේ දින කිහිපයක් පමණි. එහෙත් පැවිදි කරවන්නට කාන්තාවන් නොමැතිව සංවිධායකයන් ගැටළුවකට පත්ව සිටිය දී ඇය පැවිදි වන බව පවසා තිබුණි.

මේ කතා බස් අවසානයේ, “ඉතිං අර ගෑණුටික අතුරුදහන් උනේ මොක ද,” යයි මම ඇසූ පැනයට එතුමිය පිලිතුරු දුන්නේ, “දන්නෙ නැද්ද ඉතිං” යයි පවසා සිනාසෙමිනි.

© Buddhist Brotherhood

You might also like
en English
X
X