“විලිකුන් සුරත් පල වැනි වේ රිවි මඩල”
බැස යන හිරුගේ රතුපාට ආලෝකය සාගරය මත පතිත වෙලා අමුතුම අමුතු ලස්සනක් නිර්මාණය වෙනවා .ඈතින් පෙනෙන ඔරුවක චායාවකුත්, ශෝකාකූල රැහැයි නාදයත් හැර කිසි කෙනෙක් පාළුවක අසිරියට සේන්දු වෙන්නේ නෑ .බොහෝ කාලයකට පසු ලැබුණ නිදහසත් සුන්දරත්වයත් හරිම වටිනවා.
එක පිට එක නැගෙන මේ මුහුදු රළ පෙළ වගේ ජීවිතය පුරාම එකක් ඉවර වෙද්දි එකක් වශයෙන් එන ප්‍රශ්න අර්බුද මොහොතකට හරි අමතක කරන්න මේ සුන්දර වටපිටාවේ අසිරියට පුළුවන් උන එකවත් මදැයි .
මේ ගිනිගෙන දැවෙන ඉර, සාගරයේ කිමි දෙනවා වගේ නිතරම ආශාවත් මුලාවෙන් ගිණිගන්න ජීවිතය නිමේෂයකට හෝ අමතක වී ගිය මේ සොඳුරු සන්ධ්‍යාවකට අපි හරි ආදරෙයි.මෙහෙම අත්දැකීමක් තියෙනවා නම් , හැමදාමත් මේ විදිහට ඉන්න ඇත්නම් කියලා ඔබටත් හිතෙනවා ඇති.
මේ හිතත් මහා පුදුමයි. මේ සන්ධ්‍යාවේ අසිරියට රැවටිලා. ලස්සන ප්‍රබෝධමත් උදෑසනක් තිබුනා නේද කියලාත් අමතක වෙලා. ජව සම්පන්න ප්‍රභාස්වර දහවලත් අමතකයි. සුන්දර මල් ,ඒ සුන්දර මල් පිපෙන උදෑසනට වඩා ..මල් පරවෙලා වැටෙන හවස් කාලෙට වසඟවෙලා . ජීවිතවලට බිය ,පාලුව අඳුර, රැගෙන එන මේ හවස් කාලයට, මේ තරම් ප්‍රිය මොකද ?බලද්දි පුදුම වෙන්න දෙයක් නෑ. ඒ තමයි හිතේ ස්වභාවය.
ඒ ඒ තැන සතුටින් අල්ලා ගැනීම .
ජීවිතයත් හරියටම දවස වගේ.සුන්දර උදෑසනක් වගේ.සෑම පුද්ගලයෙකුටම ප්‍රබෝධමත් ළමා වියක් තියෙනවා .බොහෝ දෙනා කියනවා මේ පුංචි ළමයි හරියට උදෑසන පිපීගෙන එන මල් වගේ කියලා.එදා අපි ඒ ළමා කාලයට ඇලුම් කරනවා.ඒත් ඒ උදෑසන හැමදාම තිබුණේ නෑ .මොකද ..අලුතින් හිතට එබිකම් කළ සුන්දර යොවුන් සිතිවිලි නිසා ..
ඒ උදෑසන ගෙවිලා ගියා දැනුනෙවත් නෑ .ඒ හිරු ගිනිගෙන දැවෙන හැමෝම ක්‍රියාශීලී දහවලේ දී යොවුන් වියේදී සිතන, සිතුන හැමදේම කළා .දෙපාරක් හිතුවෙත් නෑ.හිරු බැස යයි ද ,අඳුර එයිද, වගක් වත් තිබුණේ නෑ .හිතන්න උවමනාවක් වුනෙත් නෑ.ඒත් බලන්න,මේ හැන්දෑවෙත් මිහිරක් ආශ්වාදයක් හොයන්න හිත පුරුදු කරනවා.බලන්න මේ හිතක මායාවේ හැටි .
තව මොහොතකින් මේ සන්ධ්‍යාවත් අතුරුදහන් වෙලා යාවි. හරියටම මේ ඉර ක්ෂිතිජ මායාවයේ කිමිදී යන විදිහට.විවිධ ස්වරූපයෙන් පැමිණ ගෙවී ගිය දවසට අප සියල්ලෝම රැවටුනා.මෝඩ වුණා.ආයෙත් නම් හිරු උදා වුණාට ඒ මෝඩකම් කරන්නේ නෑ ..නේ…මෙහෙම කිව්වට හෙටත් ඔය ටිකම තමයි .
මේ ටික නේද?
මේ බොහෝ දෙනාගේ ම,ජීවිත කතාව .
මේ මිනිස් ස්වභාවයයි.උඩුගම් බලා යන මිනිස් චරිතයක් නම් ,ස්වභාවය වෙනස් විය හැකියි.
අපි පොඩි වෙනසක් දකිමු.
දවස නම් ක්‍රමයෙන් ගෙවිලා ගිහිල්ලා රාත්‍රියෙන් නිමා වෙනවා. ඒත් ජීවිතේ එහෙම නෙමෙයි. පුංචි කාලෙදිම වුණත් මිය යන්න පුළුවන්. හරියට පොල් ගස්වල කුරුම්බැට්ටි වැටිලා යනවා වගේ. ඒ වගේම තරුණ වයසේදීත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. හරියට නොපැසුණු පොල්(කලටි) වැටිල යනවා වගේ .ඒ වගේමයි ක්‍රමයෙන් රාත්‍රිය උදාවෙලා අඳුරෙන් වහගන්නවා වගේ, වයසට ගිහිල්ලත් මැරෙන්ට පුළුවන්.ඒ සාමාන්‍ය සම්ප්‍රදායට අනුව පොල් හොඳටම වේලිලා බිම වැටෙනවා වගේ .
මේක නේද ඇත්ත කතාව..
අපි බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා මේ ඇත්ත කතාව වසන් කරන්න .ඒ ඇත්ත පිරුවටයකින් වහලා ඒ දිහාව වත් නොබලා කටයුතු කරපු එක තමා අපි මෙතෙක් කල් කළේ …
ඒත් අපි කවුරුත් අකමැති ඇසීමට පවා ප්‍රිය නොකරන ඒ සත්‍ය “මරණය” අපි හැමෝටම මුහුණදෙන්න සිදුවන පොදු ධර්මතාවයක් .
මේ අමිහිරි දේ සිහි කරලා ඔබ අපහසුතාවයකට පත් වෙලා බය වන්නට නම් එපා .මේ වෑයම, හැමදෙනාම ජීවිතේ ඉල්ලා හඬා වැලපෙන, පපුවේ අත් ගසමින් ජීවිතය යදින ,ඒ මරණය අපි කරා එද්දි ….සිනාමුසු මුහුණින් යුතුව එයට මුහුණ දෙන ක්‍රමවේදයක් ගැන හෝඩුවාවක් ඔබට ලබා දෙන්නයි.
මරණය ඉදිරියේ සෝසුසුම් නොමැති ජීවිතයක් ?
ඔබට ලොකූ ප්‍රශ්නාර්ථයක් නේද..?
හිතාගන්නටත් බෑ නේද …?
ඔබ ,මම, අප සියලු දෙනාට විතරක් නෙමෙයි ලෝකයේ සියලු දෙනාටම ඒ දෙය හරි පුදුම දෙයක් …
මේ විශ්මිත වූ හෙලිදරව්ව තුන් ලෝකයට හෙළි කළේ ..දෙව් මිනිසුන් ගේ ශාස්තෘ වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් .
මරණය ගැන සිහි කරද්දී පවා අප බියෙන් සලිත වන්නේ මේ ශරීරය දාලා යන්න බැරිව හටගත් සිත නිසයි .හැබැයි යම් දවසක අපි මේ ශරීරයේ ඇත්ත තේරුම් අරගෙන මේ ශරීරය කෙරෙහි ඇති ආශාව දුරු කර ගත්තොත්, දෙමාපියන් නිසා හට ගන්නා සහ ආහාර ප්‍රත්‍යයෙන් පවතින, මේ ශරීරය වහා බිඳී යනවා. බුදු රජාණන් වහන්සේ වදාළා, මේ විදිහට තමන්ගේ කය කෙරෙහි ඇල්ම දුරු කරගත් කෙනාට මරණයට නොබියව මුහුණ දෙන්න පුළුවන් කියලා. මුල්ම කාරණය එයයි.
ඊළඟ කාරණාව තමයි, බොහෝ දුක සේ හරිහම්බ කරන ලද ධන ධාන්‍ය, භව භෝග, සම්පත්, අඹු දරුවන්ගෙන් වෙන්වන්නට සිදුවීම නිසා, මරණය ඉදිරියේ දී අපේ හිත දුකෙන් වෙලී යෑම .
මේ නිසාම අපට පරිසරයෙන් ඇහෙන දෙයක් තමයි, මරණාසන්න බොහෝ දෙනා අඩනවා.. වැලපෙනවා..” අනේ මම මේවා දාලා යන්නේ කොහොමද”? කියලා .
කාමයන් කෙරෙහි ඇති ඇල්ම නිසා නේද මේ හැමදේම. ඒත් ඒ කාමයන් ගේ ඇත්ත ස්වභාවය අපි තේරුම්ගත් දවසට කුමක් වෙනුවෙන් අපි ජීවිතය ඉල්ලා වැළපෙන්න ද? බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාමයන් හරියට හීනයක් වගේ කියලයි .
ඇත්ත….. අපට මේ ජීවිතයේ දී මේ භව භෝග සම්පත් රැස් කරන්න වෙනවා. අපි පිළිගන්නවා ඒක. නමුත් පටලගන්න එපා. ඒ දේවල් අත්හැර ගන්න බැරිව ඇලී වාසය කිරීම ගැනයි අපි මේ කතා කරන්නේ.
රැස් කිරීම සහ නොබැඳී සිටීම කියන්නේ දෙකක් .ඉතින් මේ කාමයන් කෙරෙහි ඇති තෘෂ්ණාව නැති කළ කෙනාටත් මරනයේදී ශෝක කරන්න දෙයක් නැහැ .බුදු සමිඳුන් පෙන්වා දුන් දෙවැනි කරුණ එයයි .
ඊලග කරුණ තමයි, ජීවිතේ පුරාවට පින් දහම් රැස් කරපු සහ පිනෙන් පිරුණු ජීවිතයකට උරුමකම් කියන කෙනෙක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ වදාළා, ඒ කෙනාට මරණය ඉදිරියේ බිය හා තැති ගැනීම් උපදින්න දෙයක් වෙන්නේ නෑ කියලා. පින් දහම් රැස්කර ගත් කෙනෙක් යම් තැනක උපදිනවා ද ,ඒ සුගතිය මා හට උරුමයි කියලා යමෙක් දන්නවා නම්, එයා මේ ජීවිතයේ අත් හැරීම ගැන කුමකට ශෝක කරන්නද?
ඔබ වාසය කරන්නේ දුගී පැල්පතක යැයි මදක් සිතන්න. පසු කලෙක ඔබට සුර විමනක් බඳු සුඛෝපභෝගී නිවසක් ලැබෙන්නට යනවා යයි සිතන්න. දැන් ඔබ දුගී පැල්පත අතහැරීම ගැන ශෝක කරනවාද? නෑ.
අන්න ඒ වගේ තමයි පින් කරගත්තු කෙනාට මරණය පීඩාවක් වෙන්නේ නෑ. දැන් කාරණා තුනයි .
අවසාන කරුණ නම්, කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන ස්ථිර වූ පැහැදීමකට පැමිණිය හොත්, හා උතුම් තිසරණය ගැන ස්ථිර වූ පැහැදීමක් ඇති කර ගතහොත්, එයා කිසිසේත් මරණය ඉදිරියේ දී හඬා වැලපෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
බුද්ධ දේශනාවේ තියෙනවා යම් කෙනෙක් අවබෝධයෙන් යුතුව බුදු රජාණන් වහන්සේ සරණ ගියොත්, එයා නියතවශයෙන් සුගතිගාමී වෙන බව. ඉතින් කුමටද මේ දුක් සෝ සුසුම්…?
ඔබ අහල ඇති අවුරුදු හතක් පමණ වූ සංකිච්ච මහරහතන් වහන්සේ ගැන. ඒ බිහිසුණු මරණය පෙනි පෙනී උන්වහන්සේ සැහැල්ලුවෙන් සිටි ආකාරය ඔබට මතක ඇති. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු පවසන්නේ වේතනයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මම දැන් පිරිනිවන් පාන්නයි බලාගෙන ඉන්නේ කියලා. ඒ නිකෙලෙස් මුනිවරුන් අප හැබෑවටම ආදර්ශයට ගත යුතුයි .
මේ මොහොතේ හිරු මුළුමනින්ම සාගරයේ ගිලී ගොස් රාත්‍රියේ අඳුර පරිසරයම වෙලාගෙන.
ඒ වගේම මගේ ජීවිතයත් ඉදිරි දිනෙක මරණය විසින් නියත වශයෙන්ම වෙලා ගනීවී.
එයින් ගැලවිය නොහැකි නමුත් දැන් එක දෙයක් කරන්න පුළුවන් .
මරණය අභියෝගයක් නොවන ජීවිතයක් උරුම කර ගැනීම අපට සිදු කර ගත හැකියි.
මාර්ගය පැහැදිලි වන හැමෝටම, මේ කාරණා හතර පුරුදු කර ගත්තොත් , වාසනාවන්ත මරණයක් නියත වශයෙන්ම උරුම කරගැනීමට ඔබට, මට අප සියලූ දෙනාට හැකියාව ලැබේවි ..
මේ උතුම් හැකියාව තුන්රුවනේ ආනුභාවයෙන් ඔබ සැමට හිමි වේවා !!!
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood