Temples of Sri Lanka

හොඳට නරකට දෙකට හිතම ද ?

බුද්ධිමත් ව ව ජීවත් වෙන අයකුගේ ප්‍රධාන වූත් වැදගත් වූත් ලක්ෂණයක් වන්නේ තමන් කරන කියන හා සිතන දෑ පිළිබඳව ඉතා හොඳින් නැවත නැවත සිතා බලන ගතියයි .

මෙහිදී මූලිකව සිතිය යුතු කරුණක් වන්නේ කරන කියන දෑ ට මුල් වන සිතිවිලිවල ස්වභාවය යි. අප යමක් කරන්නේ හෝ කියන්නේ හෝ දූෂිත වූ නරක් වූ නපුරු සිතින් නම්, ඒ කරන කියන දෑ නපුරුයි .එහි ප්‍රතිඵලය වන්නේ එය කළ කී අප වෙත මෙලොව හා පරලොව වශයෙන් දුක පැමිණීමයි.

නපුරු සිතින් තොරව පහන් සිතකින්, හොඳ සිතකින්, කරන කියන දෑ නපුරු නොවේ. නපුරු නොවූ ක්‍රියා නිසා අප කරා පැමිණෙන්නේ සැපත මිස දුක නොවේ. මේ බව ධම්මපදයේ එන පහත සඳහන් කථාවලින් පැහැදිලි කර ඇත .

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසාවේ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
චක්කංව වහතෝ පදං

සිතුවිලි සිත පෙරටු කොට ගෙන ඇති වෙයි. සිත ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින්ම උපදී .ඒ නිසා යමෙක් කිළිටි වූ, නරක් වූ ,සිතින් යමක් කියයි නම් ,හෝ කරයි නම්, ඒ හේතුවෙන් කරත්තය අදිනා ගොනාගේ පය අනුව යන රෝදය මෙන් ඒ පුද්ගලයා පසුපස දුකම පැමිණෙයි .

මනෝපුබ්බං පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝතිවා
තතෝනං සුඛ මං වේති
ජායාව අනපායිනී

ධර්මය නොහොත් සිතුවිලි සිත පෙරටු කොට ඇති වෙයි .සිත ශ්‍රේෂ්ඨ කොට පවතී. සිතින්ම උපදී .එනිසා යමෙක් පහන් සිතින් යුතුව යමක් කියයි නම් ,හෝ කරයි නම්, ඒ හේතුවෙන් ශරීරය අත් නොහැර කැටුව යන සෙවනැල්ල මෙන්.. ඒ පුද්ගලයා පසුපස සැපතම පැමිණෙයි.

මෙම ගාථා ද්විත්වයේම “මනෝ” යන වචනයෙන් සිත ගැනෙන අතර “ධම්මා” යන වචනයෙන් සිතිවිලි ගැනේ. සිතිවිලි හටගන්නේ සිතෙහි ය. ඒ නිසා ප්‍රධාන වන්නේ මුල් වන්නේ සිතයි. පහළ වන ඇතැම් ඒවායින් සිත පිරිසිදු වෙයි. පහන් වෙයි. ලෝභ දෝස මෝහ නිසා සිත කිලිටි වන අතර අලෝභ අදෝස අමෝහ නිසා සිත පිරිසිදු වෙයි. කිළිටි වූ සිත මුල් වී කරන ක්‍රියා ද කිළිටි වෙයි. පළ කරන වචන ද කිළිටි වෙයි. පහන් වූ නො කිලිටි වූ සිතින් කරන ක්‍රියා ද කතා කරන වචන ද පිරිසිදු වෙයි. කිලිටි සිතින් කරන කියන දෑ අකුසල් වන අතර නොකිළිටි සිතින් කරන කියන සියල්ල ම කුසල් බවට පත්වෙයි. අකුසල්වලින් දුක් විපාකත් කුසල් වලින් සැප විපාකත් ලැබෙන බව අප සිතිය යුතුයි.

එක්තරා කතා වස්තූන් 2ක් මේ හරහා සිහියට නැගෙන අතර එමගින් ඔබගේ දැනුමට යමක් දීමට අදහස් කරමි.

එක්තරා වෛද්‍යවරයෙකු ඇස් රෝගයකින් පෙළුණු ස්ත්‍රියකට ප්‍රතිකාර කළේ සුව වූ පසු ව ඈ තමාගේ සේවිකාවක බවට පත්වන බව පැවසූ නිසා ය. පොරොන්දු වූ පරිදි ඇය ක්‍රියා නොකළ නිසා, වෛද්‍යවරයාගේ සිතට ආ තරහ නිසා ස්ත්‍රිය ගෙන් පලිගැනීමට ඔහු සිතුවේය. ඒ දූෂිත සිතින් යුතුව හෙතෙම විෂ බෙහෙතක් පිළියෙල කර එයින් ස්ත්‍රියගේ ඇස් දෙක අන්ධ කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට සසර දී විවිධ දුක් විඳීමට සිදු වූ අතර ම පැවිදි ව රහත් වුණු ආත්මභාවයේදී ඇස් දෙකම අන්ධ විය. ඒ තරම් බරපතළ ලෙස විපාක විඳීමට සිදු වුයේ නරක නපුරු සිතින් එම ස්ත්‍රියගේ ඇස් දෙක අන්ධ කළ නිසාය .

තම ජීවිත කාලය තුළ කිසිදු පින්කමක් කර ගැනීමට අවස්ථාව නොලැබුණු තරුණයෙක් ගිලන් වී මරණාසන්න ව සිටියේය. ඔහුගේ නිවස අසලට බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක .තරුණයා උන්වහන්සේ දුටු විට අත්දෙක එකතු කර වැදීමට තරම්වත්, ශක්තියක් ඔහුට නොවීය. එහෙත් බුදුරජාණන් වහන්සේ දැකීමෙන් එම තරුණයා ගේ සිතෙහි බලවත් සොම්නසක්.. ප්‍රසන්න කමක් ,ඇති විය. ඔහු මිය ගියේ එම සොම්නස් සිතින් සිටින විටය. මියගොස් උපන්නේ දෙව් ලොවය. ඒ සඳහා ඔහුට උපකාර වූයේ ප්‍රසන්න සිතින් කරන ලද මානසික කර්මයයි. බුදුරජාණන් වහන්සේ දැක බලා ගෙන ශ්‍රද්ධාවක් ඇති කර ගැනීමයි.

මේ සිද්ධීන් වලට හේතු සාධක වූ කථා වස්තූන් පිළිබඳව මඳක් විමසුවොත් පැහැදිලි වන්නේ දූෂිත සිත පරලොවදී පුද්ගලයා දුකට පත් කරන ආකාරය සහ ප්‍රසන්න සිත පරලොවදී සැපතට පත් කරන ආකාරයයි. එයින් අදහස් වන්නේ පුද්ගලයා හොඳ හිතින් හෝ නරක හිතින් හෝ කරන කියන දෑ එහි විපාක ලැබෙන්නේ පරලොව දී පමණක් ම යන්න නොවේ මෙලොවදීම විපාක ලැබෙන අවස්ථා ද ඇත.

තවත් උදාහරණයක් ඔබ වෙත ගෙන එන්නම් …

ශ්‍රී ලංකාවේ එක්තරා විශ්ව විද්යාලයක සමාජ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙකු හරක් මරන්නන් පිළිබඳ කරන ලද පර්යේෂණයකට අනුව පෙනී ගොස් තිබෙන්නේ.. ඔවුන් අතුරින් මිය ගිය සෑම දෙනාම වාගේ මියගොස් ඇත්තේ ඉතා කටුක දුක් විඳීමෙන් බවයි. ඔවුන්ගේ මරණ වල විස්තර දුටුවන් සිත් කම්පා කරවන සුළු බව පවසන එම මහාචාර්යවරයා හරකුන්ගේ දිව ඇද කෑම නිසා දිව එළියට ඇදී හරකෙක් මෙන්ම මිය ගිය අන්දම තමන් දුටු බව ප්‍රකාශ කරයි. එයින් හෙළි වන්නේ නපුරු සිතින් කළ ක්‍රියාවේ විපාක මෙලොවදී ම ලැබුණු අන්දමයි.

කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගෙන පරාර්ථ සේවයෙ හි යෙදෙන අය තමන් සමඟ එකට සිටින්නන් විපත්වලට ගොදුරු වෙද්දී පුදුම සහගත ලෙස විපත් වලින් බේරුණු අවස්ථා අප අනන්ත දක්නට ඇත.

නරක සිත් උපදවාගෙන පව් කම් කලොත් දුක් විපාක විඳීමට සිදුවන්නේ අපටමයි. අපගේ පාපයන් හරහා ඒවාට සමාව ප්‍රදානය කර අප නිදහස් කරන කෙනෙක් නැත.

අප සිත පහදවා ගෙන යහපත් වැඩ කළොත්, අපට සැප විපාක ලැබෙයි. එබැවින් ද්වේශය වැනි නපුරු ගති වලට ක්‍රියාත්මක වීමට ඉඩ නොදී කරුණාව මෛත්‍රිය වැනි උතුම් සිතිවිලිවලින් කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතුය. එය ඔබගේ, අපගේ, මෙන්ම අන් අයගේ ද සැපතට හේතු වෙයි .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X