Temples of Sri Lanka

කුශිනාරාවට වැඩම කල බුදු හාමුදුරුවෝ

භාරතය සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාව පිලිබදව නැවත නැවතත් ලිවිය යුතු නැති තරම් ය.භාරතයෙන් ශ්‍රී ලංකාවට දයාද වූ දේ අතර නොවන්නේ කුමක් දැයි සිතාගත නොහැකි තරම්‍ ය.
ශ්‍රී ලංකාවට අවැසි සියලූම දේ උරුම කර දුන් බෞද්ධ සංස්කෘතිය අප දෙරට ඇති බැදීමෙහි ශක්තිමත් ම පුරුක වන්නේය.බුදුන් උපන් දේශය දැක බලා ගනිමින් වන්දනාමාන කිරීම ශ්‍රී ලාංකිකයින් වසර ගණනක් පුරාවට ඉමහත් බුද්ධාලම්බනයෙන් සිදු කල ක්‍රියාවකි.දශක ගණනාවක සිට මේ සදහා සම්පාදනය වෙමින් තිබු පහසුකම් දිනෙන් දින වැඩි දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස කුසිනාරානුවර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මොදී මහතා කටයුතු කලේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට කුසිනාරානුවර කටුණායක ගුවන්තොටුපලින් ඍජු ගුවන්‍ යානයකින් ගමන් කිරීමට හැකියාව ලැබි ඇත.එමගින් නේපාලයේ ලුම්බිණි විහාරයට පහසුවෙන් හා කෙටි කාලයකින් ලගාවීමට හැකියාව ඇත.ඒ අනුව මංගල ගුවන්‍ යානය ශ්‍රී ලංකාවෙන් පැමිණිය යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.එය ලාංකික අප ලද මහත් ගෞරවයකි.එ අනුව එම ආරාධනාවෙන් පළමු ජාත්‍යන්තර ගුවන් යානය පසුගිය ඔක්තෝම්බර් 20 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොපලෙන් කුසිනාරා නුවරට ගමන් ඇරඹීය.ඒ ඓතිහාසික ගමනට මල්වතු අස්ගිරි ඇතුලු ත්‍රෛයිනිකායික මහා සංඝරත්තනය වැඩම කල සේක.මෙම මංගල සංචාරයේ මුදුන්මල්කඩ වන්නේ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවෙන් කුසිනාරානුවරට වැඩම කර වීමයි. අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක මා හිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වස්කඩුව ශ්‍රී සුභූති විහාරය සතු කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා  ශ්‍රී ලාංකීය දූත පිරිස සමගින් කුසිනාරානුවරට  වැඩම කරවන  ලදි. ධාතූන් වහන්සේලා ගුවන්‍ යානයට වැඩමවීම සිදුකරන ලද්දේ  ඉන්දියානු මහා කොමසාරිස් අතිගරු ගෝපාල් බාග්ලේ මහතා විසිනි.
කුසිනාරා නුවරදි ඉන්දියානු රජය විසින් ඉමහත් ගෞරවයෙන් සහ හරසරින් තථාගතයානන් වහන්සේගේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සෙලා ප්‍රධානව අප දූත පිරිස පිළිගනු ලැබුවේය.මෙම ක්‍රියාන්විතයේ සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබුවේ ලෝක බෞද්ධ මහා සම්මේලනය (IBC) මගිනි.එසේම අමරපුර මහා නිකායේ උප සභාපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක හිමි සමග අමරපුර මහා නිකායේ නියෝජ්‍ය  මහා ලේඛකාධීකාරි ආචාර්ය මාදම්පාගම අස්සජි අනුනායක හිමියන් ද,දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක කොස්ගොඩ ඤාණින්ද හිමි ද මෙම කණ්ඩායමට ඇතුලත් විය.ලෝක බෞද්ධ මහා සම්මේලනයේ (IBC ) නියෝජ්‍ය මහ ලේකම් ආචාර්ය දමින්ද පෝරගේ මහතා ද, එහි විධායක කමිටු නිලධාරිනී ශර්මිලා මිල්රොයි මහත්මිය ඇතුලුව මාධ්‍ය කණ්ඩායම සහ සංස්කෘතික නර්තන කණ්ඩායමක් ද මෙම අවස්ථාවට සහභාගි විය.මේ අනුව කුසිනාරා නුවර නව ජාත්‍යන්තර ගුවන්තොටුපලට පා තැබු පළමු මගියා සහ ශ්‍රී ලාංකික භික්ෂුව ලෙස අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නායක හිමියන් ඉතිහාසගත වන්නේය.

ඔක්තෝම්බර් 20,21 දෙදින පුරාවට කුසිනාරානුවරදි ඉන්දියානු බෞද්ධ සහ බෞද්ධ නොවන සියලූම ජනතාවට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දමාන කිරිමට අවස්ථාව සලසා දුන් අතර ඉන් අනතුරුව එළඹි ඔක්තෝම්බර් 23 වන දින සර්වඥ ධාතූන් වහන්සේලා විශේෂ ආරක්ෂාව සහිතව රථ පෙලහරකින් යුක්තව සංකස්ස පුරයට වැඩම කරන ලදි. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයට මෙලෙස කපිලවස්තු පුර ශ්‍රී සර්වඥ  ධාතූන් වහන්සේලා නැවත වැඩැම වීම ආශ්චර්යයමත් හා ඓතිහාසික  සිද්ධියක් වන්නේය. එදින සංකස්ස පුර විහාරයේදී මහා නා හිමි ඇතුලු සියලුම සංඝයා වහන්සේලාට දහවල් දානයද සකස් කර පිරිනමන ලදි.
එහිදි ඉන්දියාවේ නන් දෙසින් පැමිණි ජනතාව බුද්ධාලම්භන ප්‍රීතියෙන් හා නොඉවසිලිමත් බවින් පුෂ්පොපහාර දක්වමින් ශබ්ද පූජාවන් සිදු කරමින් ඉමහත් ගෞරවාන්විත බවකින් ධාතූන් වහන්සේලා වන්දනාමාන කරගැනීම සතුටට කරුණකි.එලෙසින් පිදුම් ලද සර්වඥ ධාතූන් වහන්සේලා නැවත ඔක්තෝම්බර් 24 වන දින දිල්ලි අග නුවරට වැඩම කරවන ලද්දේ ලක්නව් සිට පැමිණි විශේෂ ගුවන්යානයකිනි.දින දෙකක් පුරාවට එතැන්හිදි ද වන්දනාමාන කීරිම සදහා ඉන්දීය  ජනතාවට අවස්ථාව සලසා දී තිබු අතර ප්‍රීතිප්‍රමෝදත්වයෙන් ඔද වැඩි සිටි ඉන්දීය ජනතාව පොරබදිමින් සාධූ නාද පවත්වමින් පින් සිත් පෙරටුව නිසැක ශ්‍රී සර්වඥ ධාතූන්  වහන්සේලා වන්දනාමාන කරගන්නා ලදී.

මේ සියලූ පිංකම් මාලාවන්ගෙන් අනතුරුව එළඹී ඔක්තෝම්බර් 25 වන දින නවදිල්ලි අගනුවර පිහිටි ශ්‍රී ලාංකික තානාපති කාර්යයාලය විසින් කරන ලද විශේෂ ආරාධනාවකට අනුව වස්කඩුවේ මහා නායක හිමි ඇතුලු සංඝයාවහන්සේලා දහවල් දානය පිණිස එහි වැඩම කල සේක.ඉතාමත් භක්තියෙන් සහ හරසරින් මහා සංඝරත්තනය පිලිගත් ඔවුන් ශ්‍රී ලාංකීක ආහාර වට්ටෝරුවකින් යුත් දානයක් පිලිගැන්වීමට අමතක නොකලේය.සියලූම පුණ්‍ය කටයුතු නිම කර ඔක්තෝබර් 26 වන දින ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා නායක හිමි ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ගෞරවයෙන් පිලිගැනීම සදහා ශ්‍රී ලංකා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යයාලය නියෝජනය කරමින් ආචාර්ය සුශිල් කුමාර් මහතා ඇතුලුව විශාල පිරිසක් පැමිණ සිටියේය.

You might also like
en English
X
X