Temples of Sri Lanka

බුදු දහම සහ සමාජ සංස්ථාව

නූතන සමාජ විද්යාඥයන්ට අවධාරනය කර ගත හැකි අදහස් සමූහයක් පුද්ගලයා හා සමාජය පිළිබඳ බුදුන් වහන්සේ ඉදරිපත් කොට ඇත. ගැඹුරින් විමසන කළ එබඳු චින්තනයක් ඉදිරිපත් කළ වෙනත් ශාස්තෘවරයකු ලොව නැත

 

පුද්ගලයා හා සමාජය පිළිබඳ විවිධ මතිමතාන්තර අතීතයේ සිටම පවතී. සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවකි. පුද්ගලාන්තර සම්බන්ධයක් නැතිනම් සමාජයක් ඇති නොවේ. පුද්ගලයා හා සමාජය වෙන් කළ නොහැකිය.මේ පිළිබඳ සමාජ විද්යාඥයෝ විවිධ මත පළ කරති. සමාජගත පුද්ගලයාගේ පැවැත්ම, චර්යාව සහ අපේක්ෂා ආදිය සොයා බලා විමසන සමාජ විද්යාඥයන් අතර, ඇරිස්ටෝටල්, සී.එච්.කුලි සහ මාගරට් මීඩ් වැනි අය කැපී පෙනෙති. සී.එච්. කුලී නම් සමාජ විද්යාඥයා පුද්ගලයා හා සමාජය යනුවෙන් අදහස් වන්නේ වෙන් වෙන් සිද්ධි දෙකක් නොව එකම දේ එකතුවක්බව පෙන්වයි.

 

බුදුදහම සමාජ සංස්ථා ගැනද අවධානය යොමු කරයි. මුළු මහත් සමාජය ගිහි සමාජය සහ පැවිදි සමාජය වශයෙන් ද අනතුරුව භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා වශයෙන් ද සලකා කටයුතු කොට ඇත.
පුද්ගලයා හා සමාජය අතර දැඩි සම්බන්ධයක් පවතින බැව් බුදුදහම පිළිගන්නවා. පුද්ගලයා උපතින්ම පවුල නමැති සමාජයේ සාමාජිකයෙක්.වයස මුහුකුරා යද්දී පාසල, පන්සල ආදී ආයතන සමඟ විවිධ සමිති සමාගම් වලත් සබඳතා ඇති කර ගන්නවා.
පුද්ගලයා නිශ්චිත අරමුණක් ඇතිව නීති – රීති පද්ධතියකට අනුව ජීවත්වීම සිදුවනවා.

 

සමාජයේ යුතුකම්, වගකීම් සහ සුහදශීලි විවෘතභාවය මුල්කරගෙන සංවර්ධනීය පිරිපුන් සමාජයක් නිර්මාණයවන බව සිඟාලෝවාද සූත්රයේදි බුදු දහම මැනැවින් පෙන්වනවා.එබඳු යහපත් සමාජයක් උදෙසා යුතුකම් හා වගකීම්,ආචාරධර්ම පාලනමය ප්රතිපත්ති මනාව සුරැකීම සිදු විය යුතු බවත් පෙන්වනවා. එසේම සාමූහිකව නැඟී සිටීම, පිරිසුදු විවෘත භාවය පවත්වා ගැනීම, උත්සාහය, වීර්යය, ප්රඥාව සහ ත්යාගවන්ත බව ආදී ගුණාංග වර්ධනය කරගැනීමත් අත්යවශ්ය වේ.

 

බුදුසමය අවධාරණය කරන සමාජීය යුතුකම් අතර වගකීම් සමාජයක් තුල දියුණුව සහ සුබසිද්ධිය ඇති කරනවා. සිඟාලෝවාද සූත්රය පමණක් නොව පරාභවසුත්රය, මංගල සූත්රය, වසලසූත්රය, ව්යග්ඝපජ්ජ සුත්රය,වාසෙට්ඨ සූත්රය සහ චක්කවත්ති සීහනාද සූත්රය වැනි සූත්රදේශනාද සමාජ ධාර්මිකත්වය සහ යහ කළමනාකරණය උගන්වා ඇති සූත්ර දේශනයන්. මේවායින් මූලික වශයෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ සමාජ ප්රගතියයි. යහපත් පුද්ගල සම්බන්ධතාවයි. බුදුදහමෙන් අපේක්ෂා කරන අවසාන ඉලක්කය වන පුද්ගල විමුක්තිය සඳහා යහපැවැත්මක් අනුබල දෙනවා.

 

මෙලොව ජීවිතය අසාර්ථක නම් පරලොව ජීවිතය සාර්ථක විය නොහැකිය. දෙලොව සාර්ථක වීමෙන් පුද්ගලයාගේ විමුක්තිය ලාභය ඉක්මන්. ප්රමාදි බව මැඩ අප්රමාදි බව වැඩෙනව.
විමුක්තිය ලැබූ බුදුන් වහන්සේ නගර, ගම්, නියම්ගම් සැරිසරමින් සමාජයේ නොගැටෙමින් ජීවත් වූ බවත් සමාජගත පුද්ගලයකුට විවිධ සමාජ සංස්ථා සමඟ සම්බන්ධතා පැවැත්වීමට සිදුවන බවත් පෙන්වනවා.
පුද්ගලයාට ළමා ජීවිතය, වෘත්තීය ජීවිතය, විවාහ ජීවිතය, ආගමික ජීවිතය, සාමාජීය ජීවිතය සහ දේශපාලන ජීවිතය ආදි විවිධ ජීවිත අවස්ථා ඇත. එහිදී ඔහුට මවුපියන්, ගුරුවරුන්, ඥාතීන් සහ හිත මිත්රයන් ආදින් ඇසුරු කරන්නට සිදුවේ. මෙසේ එකිනෙකා සමඟ ඇති කර ගන්නා සම්බන්ධතා දැහැමි විය යුතු වේ.

 

ධාර්මික සම්බන්ධතා පවත්වා ගෙන යෑමට පරාභව ආදි සූත්ර රැසක් අපට උපදෙස් ලබාදෙයි. ගාථා 25 කින් යුක්ත පරාභව සූත්රය මිනිසා පිරිහෙන කරුණු 21 ක් දක්වයි. ඒ කරුණු අතරට යහපත් ධර්මය අපිරය කිරීම, අසද්පුරුෂයන් පිරය කිරීම, සද්පුරුෂයන් අපිරය කිරීම, අසද් ධර්මයට කැමැති වීම, නිදන සුළු බව, දොඩමළු බව, වීර්යෙන් තොරවීම, අලසකම, ක්රෝධ කිරීම, මවුපියන්ට නොසැලකීම, මහණ බමුණන්ට වංචා කිරීම, ආහාරයෙහි ගිජුකම, ජාති කුල ගෝත්ර පිළිබඳ උඩඟුව, ස්ත්රීලොල් බව, සුරාලොල් බව, දූ කෙළිය, මහල්ලකු තරුණියක සරණ පාවා ගැනීම, අරපිරිමැස්ම නැති අයකු ප්රධානියකු බවට පත් කර ගැනීම සහ පහත් කුලයක ඉපිද දුප්පතකුව රජකම පැතීම යනාදිය ඇතුළත් වෙනවා.

 

ධාර්මික සමාජ සබඳතාවක් ඇතිවීමට දුසිරිත්වලින් වැළැකී සිටිය යුතුයි. නරක මිනිසුන් ඇසුරු කිරීම නිසා පුද්ගලයා පිරිහෙන බව අපි දන්න කරුණක්.. මවුපියන්ට නොසැලකීම නිසා සමාජයේ ප්රශ්න රැසක් ඇතිවන බව අපි හොඳින්ම දන්නවා.
සමාජ සංස්ථාවේ මූලික ඒකකයවූ පවුල් සංස්ථාව සුරක්ෂිත කර ගැනීමට අඹුසැමියන් අතර අන්යෝන්ය විශ්වාස තිබිය යුතුය.පිරිහෙන කරුණු පිටුදැකීමෙන් පුද්ගල ජීවිතය සාර්ථක වන බව හොඳින් අනාවරණය වෙනවා.
සැවැත්නුවර අග්ගික භාරද්වාජ බමුණා ගිනි දෙවියන් පිදීමේ යෙදී සිටියදී ඔහු හමුවීමට වැඩම කළ බුදුන්වහන්සේට බමුණා බැණ වැදුණා.බුදුන් වහන්සේ වසලයකු ලෙස හැඳින්වුණා. ඒ සියල්ල අසා සිටි බුදුන් වහන්සේ වසලයකු වීම සඳහා බලපාන හේතු දන්නේ දැයි බමුණාගෙන් විමසූවා. ඔහු නොදත් බව කී විට ඔහු උදෙසා දේශනා කළ සූත්රය වසල සූත්රය. ගාථා 27කින් වසල කරුණු 31 ක් මෙහි ප්රකාශ කරන අතර වසලසූත්රයේ දැක්වෙන වසල කරුණු අතහැරීමෙන් මනා සමාජ සම්බන්ධතා පවත්වාගත හැකියි.
කොධනො උපනාභි ච
පාපමක්ඛි යො නරො
විජනන දිට්ඨි මායාවි
තං ජඤ්ඤා වසලෝ ඉති...
කිපෙන සුළු බව,බද්ධ වෛරය, පවිටු ගුණමකු ගතිය, මිසදිටු බව සහ තම වරද වසන මායා ගුණයෙන් යුක්ත වීම ආදිය වසල කාරණා බව කියවෙනවා.මේ කරුණුවලින් යුක්ත පුද්ගලයාට සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉතා අපහසු බව කිව යුතු ද?
මෙපමණක් නොව ප්රාණීන්ට හිංසා කිරීම, ප්රාණීන්ට දයාවක් නැතිබව, ගම්නියම් ගම් වැනසීම, පැහැර ගැනීම,කලබල ඇති කිරීම, අන්සතු දෙයක් තමා සතු කර ගැනීම, ණයට ගෙන නොදී සිටීම, මගීන්ට හිංසා පීඩා කොට මුදල් පැහැර ගැනීම ආදිය තවත් වසල ලක්ෂණ වේ.එසේම බොරු සාක්ෂි දීම, පර අඹුවන් කරා යෑම, වයස්ගත මවුපියන්ට නොසැලකීම, මවුපියන්ට සහෝදර සහෝදරියන්ට පරුෂ වචනයෙන් බැණීම, යමක් ඇසූ කල්හි බොරුවෙන් රැවටීම, හොරෙන් පව් කිරීම,මහණ බමුණන් බොරුවෙන් රැවටීම සහ කෑම ගන්නා විට පැමිණී අය පරුෂ වචනයෙන් බැණ පන්නා දැමීම යනාදිය වසල කාරණා ලෙස දක්වයි. තවද මානයෙන් යුතුව තමා උසස්කොට අන්යයන් පහත් කොට සැලකීමත් වසල ගුණයකි. එපමණක් නොව තද මසුරු කමින් යුක්ත වීම, පවිටු ගතිවලින් යුක්ත වීම සහ ලජ්ජා බය නැතිකමත් වසල ලක්ෂණ වේ.

 

යමකු බුදුන්ට හෝ ශ්රාවකයන්ට හෝ එසේම ගිහියන්ට පහත් ලෙස කතා කරයි ද රහත් නොවී රහත් බව ප්රකාශ කරයි ද ඔහු වසලයෙකි. මේ ආදි වශයෙන් වසල කරුණු 31ක් මේ සූත්රයේ දක්වා ඇත. මේ කරුණු විමසීමෙන් පුද්ගල චරිතය කෙලෙසීමට මේ සැම කරුණක්ම අදාළ බව පෙනේ.මේවායින් වැළැකී සිටීම පුද්ගලයා පූජාවට සුදුස්සකු කරයි.

 

ලෞකික ධන සම්පත් මෙන්ම අධ්යාත්මීය ගුණයද පාලකයකු සතු විය යුතුය.ජනතාවගේ ඒකීයභාවය ගොඩනඟමින් ජාති කුලගෝත්රවාදය ප්රතික්ෂේප කිරීම සහ පෞද්ගලික ලාභ අපේක්ෂා නොකිරීම ඉතා වැදගත්. බුද්ධ කාලයේ සිටි ඇතැම් පාලකයෝ සප්ත ආචාර් ධර්ම හෙවත් සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කළෝය. එකතුවීම, සාකච්ඡාව, තීරණ ගැනීම,ක්රියාත්මක කිරීම, නීති පැනවීම සහ නීති පිළිපැදීම වැනි කටයුතු ඔවුන් සිදු කළේ සමඟිය පදනම් කරගෙනය.බුදුන් වහන්සේ සමඟිය අගයකළ ශාස්තෘවරයෙකි. ලිච්ඡවින් වැනි සමුහ ආණ්ඩු පාලකයන් මෙබඳු ප්රතිපත්ති අනුගමනය කිරීම නිසා සෙසු රජවරුන්ට ඔවුන් පරාජය කිරීමට පවා නොහැකි විය. තම රටේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් ඔවුහු නිතර අවවාද අනුශාසනා ලැබූහ.

 

බුදුසමය මහත්සේ ප්රායෝගිකව සමාජය දෙස බලයි. කුමන දර්ශනයකට කුමන ආගමකට අයත් වුණත් සමාජ සම්මත යහපත් දැ බුදුසමය අගය කරයි. බුද්ධකාලීන සමාජයෙහි වෙනත් ඇතැම් ආගමික චින්තාවන් තුළ සදාචාරාත්මක පසුබිමකින් තොරව දාර්ශනික ප්රස්තුතයන් සාකච්ඡා කොට තිබේ. එහෙත් බුදුසමයෙහි එම ආගමික සම්ප්රදායන් තුළ මෙන් ඒකාධිකාරි චින්තනයක් දක්නට නොමැත. මිනිසාගේ නිදහස් චින්තන ශක්තිය බුදුදහමෙහි ආරක්ෂා වී තිබේ. සියලු දෙනාට යහපත් වන සමාජයක් ගොඩනැඟීම සඳහා බුදුහිමියන් සිදුකර ඇති මඟ පෙන්වීම අතිශයින් සිත්ගන්නා සුළුවේ. මිනිසා තම කාමභෝගි ජීවිතය ගත කළ යුත්තේ කිසිවකින් අන්තයට ගොස් නොව මධ්යම ප්රතිපදාවට අනුව බවත් එසේ කළහොත් තම මෙලොව ජීවිතය පමණක් නොව පරලොව ජීවිතයද සාර්ථක වන බවත් ඉහත කී විස්තර වලින් අවබෝධ කළ හැකිය.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood
You might also like
en English
X
X