වඩන්න මෙත් සිත… ලෝකයක් දිනන්නට හැකියි ඔබට
සමවතට සමවැදුණා සේ සුව සේ නිදයි. පිපීගෙන එන පියුමක් සේ සුව සේ පුබුදියි. නපුරු සිහින නොදකියි. මිනිසුනට පි‍්‍රයවෙයි. අමනුෂ්‍යයනට පි‍්‍රය වෙයි. දෙවියෝ ආරක්ෂා කරති. සිරුර ගිනි නොගනී. වස විස නොකැවේ. සිත වහා සමාධි වේ. මුහුණ ඉතා පි‍්‍රය වේ. නොමුළාවම නිදි ගත් සේ කලුරිය කරයි. රහත් ඵලය නොලැබෙතොත් බඹලොව උපදියි.
මෛත්‍රී වඩන තැනැත්තාට මෙලොවදීම මෙම සම්පත් ලැබෙයි.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බඹවිහරණ වලින් මෛත්‍රී බ්‍රහ්ම විහරණය වන්නේ සිත තුළ හටගන්නා ක්‍රෝධය වෛරය, ද්වේෂය, දුරු කිරීම යි. ක්ෂාන්තිය ඇති කර ගැනීම යි.
දුටෙඨා ඛො ආවුසො දොසෙන අභිභුතො පරියාදින්න චිතෙතා පාණමපි හන්ති.
මහණෙනි, ද්වේෂයෙන් දූෂිත වූ අභිභූත වූ හාත්පසින් අල්ලා ගන්නා වූ සිත් ඇත්තහු ප්‍රාණඝාතය කරන්නේ ය. මෛත්‍රී සිත නැති තැනැත්තාට ඕනෑම සත්ත්ව මනුෂ්‍ය ඝාතනයක් කළ හැකිය. ඔහු තුළ සෞම්‍ය සිතක් නොමැත.
මෛත්‍රීය වැඩීම වන්නේ සිත තුළ පවත්නා ක්‍රෝධය, වෛරය, ද්වේෂය, දුරුකර ගැනීමයි.
ඒ සඳහා ප්‍රථමයෙන් තමන්ට මෛත්‍රීය කරගත යුතු ය. නිතැතින්ම තමන් තුළ තමන්ට මෛත්‍රී ඇත. තමන් හට දියුණු වීමට තමන්ට ධන සම්පත් ලබන්න යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ලබන්න ඕනෑ කෙනෙක් කැමති වෙයි.
එසේනම් තමන්ට මෛත්‍රී කර ගැනීමක් අමුතුවෙන් අවශ්‍ය ද යන්න ප්රශ්නයකි. නවක භාවනා යෝගියා තමන් වෙත මෛත්‍රීය ඇතිකර නො ගතහොත් ඔහුට අනෙක් අයට මෛත්‍රී වැඩීම, අසීරු ය. තමන් වෙත මෛත්‍රිය ඇතිකර ගත් විට මා මෙන්ම මාගේ මවුපියන් ද ගුරුවරුන්ද ඤාතීන්ද සුවපත් වේවා. ආදී වශයෙන් මෛත්‍රීය පැතිරවිය හැකි ය.
මනස දියුණු යෝගාවචරයාට නම්, මෙය ප්‍රශ්නයක් නොවේ. තමන්ට තේරෙන අන්දමට සිතිවිලි සකස් කර, භාවනා කිරීම හොඳම ක්‍රමය යි.
පළමුව මෛත්‍රී වඩන කළ අපි‍්‍රය, අතිපි‍්‍රය, මධ්‍යස්ථ, හා වෛරී අයට මෛත්‍රී නො කළ යුතුය. සිත මෛත්‍රියට යොමු නොවී අපි‍්‍රය පුද්ගලයාට මෛත්‍රී කළ නොහැකි ය. අති පි‍්‍රය පුද්ගලයාට , මෛත්‍රී වැඩීමෙන් ඔහුට යම් දුකක් වූ විට තමන්ට එය ඉසිලිය නොහැකි වන්නේ ය. වෛරී පුද්ගලයාට එක්වරම මෛත්‍රී කළ නොහැකි ය. නිදුක් නිරෝගී සුවපත් වේවා කියා සිතුවත් හිත යට ඇත්තේ ඔහු කෙරෙහි තරහවකි.
ස්ත්‍රීන් පුරුෂයන්ටත්, පුරුෂයන් ස්ත්‍රීන්ටත් මෛත්රී්ර කිරීම නුසුදුසු ය. එතැන ඇතිවන්නේ රාගයකි.
වෛරී ඇත්තෝ අවෛරී වෙත්වා, සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, කියා තමන් සිතුවත්, තම ක්‍රියා දියුණු නැතිනම්, යටි සිත තුළ එම අය කෙරෙහි තරහවක් ඇත්තේම ය. එබැවින් මම කිසිවකු සමඟ තරහ නොවෙමි. මට කිසිම තරහකාරයෙක් නැත. සියල්ලෝම මගේ මිත්‍රයෝ ය යනුවෙන් තමන්ට අහිත අය මිත්රයින් වශයෙන් සිතේ තැන්පත් කරගත යුතු ය.
තමන් හා නිතර ගැටෙන දෙය පිළිබඳ අවධානයෙන් සිටීමෙන් පහසුවෙන් සිත තැන්පත් කරගත හැකි ය. සියල්ලගේම භාව භෝග සම්පත් සරුවේවා. සරුසාර අස්වැන්න ලැබේවා.
සතුන්ගෙන් කරදර නොවේවා.
ස්වභාව ධර්මයෙන් කරදර නොවේවා
වර්ෂායෙන් නියඟයෙන් භවභෝග විනාශ නොවේවා
සැපවත් ජීවිතයක් ගෙන යෑමට හැකි වේවා
කරන රැකී රක්ෂාදිය බාහිර කරදර නොවේවා
රැකියා ස්ථානයේ සමගිය සමාදානය වැඩේවා
ආදී වශයෙන් තමාට පෙනෙන පරිසරයේ සිටිනා අයට මෛත්‍රී වැඩීමෙන් වහ වහා සිත මෛත්‍රීයට හුරුකර ගත හැකි ය.
කිසි මනුෂ්‍යයකුට හිසේ රෝගයක්වත් නොවේවා
දෙකන්වල රෝගයක්වත් ඇති නොවේවා
දෑසේ රෝගයක්වත් ඇති නොවේවා
නාසයේ රෝගයක්වත් ඇති නොවේවා
මුඛයේ රෝගයක්වත් ඇතිනොවේවා
බෙල්ලේ රෝගයක්වත් ඇති නොවේවා
දෑතේ රෝගයක්වත් ඇති නොවේවා
පපුවේ රෝගයක්වත් ඇති නොවේවා
දෙපයේ රෝගයක්වත් ඇති නොවේවා
මෙසේ හිසේ සිට දෙපතුල දක්වාම මෛත්‍රී සිත් පහළ කරගැනීම හුරුපුරුදු කරගත යුතු ය.
සියලු සතුන්ටම මෛත්‍රී කරනවිට අපා, දෙපා, සිවුපා , බහුපා ආදී සියලු සතුන්ටම මරණ බිය නොවේවා, නිදහසේ ජීවත් වීමට ලැබේවා, ආහාරපාන ලැබේවා, සතුරු කරදර නොවේවා, ආදී වශයෙන් මෛත්‍රී කළ යුතු ය.
‘මෛත්‍රීය’ යනු මිත්රත්වයයි. ලොව සිටින සියල්ලන්ම මිත්‍රයන් කරගැනීමට උත්සාහ ගන්න. කිසිවකුට හෝ සතුරන් ඇති නොවනවාට, වුවමනා දේ ලැබෙනවාට, දුක් කරදර නැති වනවාට, අනුන්ගේ සිත්වල නපුරුකම් දුරු වී යනවාට, අනුන්ට නින්දා අපහාස නොලැබෙනවාට රෝගාබාධ නැතිවෙනවාට, අන්‍යයන් සතුටින් සමගියෙන් ජීවත්වනවාට කැමැත්ත සිත තුළ පහළ වේ නම් එය මෛත්‍රියයි,
ඔබේ සිත මෛත්‍රීයෙන් පිරී ගියොත් ඔබට අනෙක් අයට ද පිහිට විය හැකි ය. යම් අයකුගේ දුක් කරදරයකදී ඒ අයට මෛත්‍රී සිතින් සෙත් පතන්න. එම අයට සැනසීම ලැබේ.
යම් අයෙකුගේ හිස ඇම්මක් හෝ ශරීරගත රෝගයක් වේ නම් සෙත් පතන්න. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ හිසේ ඇම්ම සුව වේවා. පපුවේ ඇම්ම, අතේ් ඇම්ම කුසේ ඇම්ම සුව වේවා. වේදනා නැතිවේවා ආදී වශයෙන් කියමින් සෙත් පතන්න.
යමකුට සර්පයෙක් දෂ්ට කර ඇත්නම් මම සියලු සතුන් වෙත මෛත්‍රී කරමි. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ ශරීරගත වී ඇති විෂ නැතිවේවා. මෙම රෝගියාට සුවය ලැබේවා කියා සෙත් පතන්න.
යමකුට සර්පයෙක් දෂ්ඨකර ඇත්නම් මම සියලු සතුන් වෙත මෛත්‍රී කරමි. මගේ මෛත්‍රී බලයෙන් මෙම රෝගියාගේ ශරීරගත වී ඇති විෂ නැති වේවා. මෙම රෝගියාට සුවය ලැබේවා කියා සෙත් පතන්න. ඔබේ මෛත්‍රී බලයෙන් එම රෝගියා සුවපත් වෙයි. මෛත්‍රීයෙන් සමාධියට පත් සිතෙන් සකල සත්ත්වයාටම ශාන්තිය ලබාදිය හැකි ය.
ඔබේ භාවනා සිත නොමඟ යවන සතුරු පිරිසක් ද සිටින බව අමතක නොකරන්න. ඒ පංච නීවරණයි. නීවරණ නම් බාධා කිරීම නැතහොත් අවහිර කිරීමයි.
එනම්,
1. කාමච්ඡන්දය – ඉඳුරන් පිනවීමට පස්කම් සැපයට ඇති කැමැත්ත
2. ව්‍යාපාද – ද්වේශය නැතහොත් තරහව
3. ථීනමිද්ධ – කම්මැලිකම නැතහොත් අලසකම
4. උද්ධච්ච කුක්කුච්ච – නොසන්සුන්කම සහ පසුතැවීම
5. විචිකිච්ඡා – සැකය (බුද්ධා දී අටතැන්හි සැකය)
මේ පංචනීවරණ ඔබේ සිත විපිළිසර කරයි. නීවරණවලින් අත් නොමිදුණ හොත් ඔබේ සිත භාවනාවට එකඟ කර ගත නොහැකි ය.
උගතුන්ගේ හා ගරුතර සංඝ රත්නයේ අවවාද ලබාගෙන විශ්වාසය ඇතිකර ගන්න. මෙම පංචනීවරණ ඔබ සිතින් ඉවත් කර ගතහොත් නිසැකයෙන්ම ඔබට මෛත්‍රී භාවනාවේ නියම රසය ලබාගත හැකිය.එසේම ලෝකයක් දිනිය හැකියි…
සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood