යහපත් බිරියකට , සැමියෙකුට බුදු දහමේ ආශිර්වාදය
ස්වාමි දියණිය පිළිබඳ බෞද්ධ ආකල්පය වන්නේ සහයෝගික ජීවිතයක කොටස්කාරියක සේ ඇය හඳුනාගැනීම යි. බුදුසමය තත්කාලීන සමාජීය හරපද්ධතීන් අභියෝගයකට ලක් කළ අංග අතර කාන්තාව පිළිබඳ ආකල්පීය වෙනස ද වැදගත් ය. කාන්තාව හුදු උපකරණාර්ථය හෝ ද්විතීයික සත්ත්වයකු ය යන සම්මුතියට බුදුසමය එරෙහි වෙයි. භික්‍ෂුණී ශාසනය පිහිටුවීම, උපාසිකා තනතුර ඇති කිරීම ඒ අතර කැපීපෙනෙයි. මෙම ස්තර දෙක තුළ දී ද පුරුෂයාට වඩා ඇයට යම් යම් වරප්‍රසාද අහිමි වූ බව සත්‍යයකි. එහෙත් භාරතයේ පැවති ක්‍රමයට සාපේක්‍ෂ ව වඩාත් සුභවාදී තලයක් වෙත ඇය පමුණුවන ලද බව පෙනෙයි. කාන්තාව බුදුසමය තුළ දී ද සමාජ ගෞරවයට පාත්‍ර වන සත්ත්වයෙකි. ‘මාතුගාම’ සේ හැඳින්වීමෙන් අදහස් වන්නේ ‘මවුපස උදවිය, යන්න යි. ඇගේ සමාජ ගෞරවය ආරක්ෂා කළ බව ඉන් ප්‍රකාශිත ය.
සංයුක්ත නිකායේ ‘ධීතු’ සූත්‍රයේදී කාන්තාවගේ ශ්‍රේෂ්ඨත්වය බුදුරදුන් කොසොල් රජුට පැහැදිලි කරයි; සිල්වත්, ස්වාමියාට ගරු කරන කාන්තාව ඇතැම් විට පුරුෂයාට වඩා බුද්ධිමත් විය හැකි බව ප්‍රකාශ කරයි. එසේ ම ලෝකය පාලනය කිරීමට සමත් ශක්තිමත් පුරුෂයන් බිහි කරනුයේ කාන්තාව බැවින්, ඇයගේ අගය උසස් බව බුදුරදුහු පෙන්වා දෙති
”ඉත්ථිපි හි ඒකච්ඥඡියා
සෙය්‍යෝ පෝස ජනාධිප
මේධාවිනි සීලවතී
සස්සුදේවා පතිබ්බතා
තස්සා යෝ ජායති පෝසෝ
සූරෝ හෝතිදිසම්පති
තාදිසා සුභගිය පුත්තෝ
රජ්ජම්හි අනුසාසති”
බිරිය සැමියාගේ සේවිකාවක ලෙස බුදුසමය නොපිළිගනියි. බිරිය යන පදය ම වර්තමාන සංස්කෘතික රාමුව තුළ යම් යම් අසාධාරණ අර්ථවලින් පරිපූර්ණ වූ වචනයක් ලෙස හඳුනාගැනෙන බව ස්ත්‍රීවාදීහු පෙන්වා දෙති. ගැහැනිය, බිරිය, ස්ත්‍රිය, සහකාරිය, සුන්දරිය ආදි භාෂා භාවිතයන් පුරුෂභාවයේ යම් යම් අවශ්‍යතා සපුරාලීමේ අර්ථ ජනනය කරන බවටත් ඔවුහු කරුණු දක්වති. සිගාලෝවාද සූත්‍රයේ අඹු–සැමි සබඳතාව තුළින් එවන් අදහසක් බුදුසමය අනුමත නොකරන බව පැහැදිලි කරගත හැකි ය.
“…පුත්තදාරා දිසා පච්ඡා…”’
අඹුදරු සබඳතාව පැසුළු දිසාව වෙයි.
අවශ්‍ය නම් එම සූත්‍රයේ මධ්‍ය ලක්‍ෂ්‍යය බවටකාන්තාව පත් කරගත හැකි ය. පුරුෂයා කේන්ද්‍ර කොට දේශනා කළේ සම්මුති අර්ථයෙන් පමණක් බව එහි අන්තර්ගතය විමසුමෙන් හෙළි වෙයි. සූත්‍රයට අනුව බිරිය සැමියාට අනුකම්පා කරයි.
“පඤ්චහි ඨානේහි සාමිකේන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමේහි පඤ්චහි ඨානේහි සාමිකං අනුකම්පති”
සැමියා විෂයෙහි අනුකම්පාව දැක්වීම යනු අධිකාරමය බලයක සිටිමින් කරන කාර්යයක් සේ තර්ක කළ යුතු නො වෙයි. භාෂාව භාවිත කිරීමේ දී තත්කාලීන භාෂා රීතීන් අනුගමනය කිරීම සාමාන්‍ය දෙයකි. ඒවා කාලීන ව වෙනස් අර්ථ ගත හැකි ය.
බිරියට උපස්ථාන කිරීම, ගරු කිරීම යනු සැමියාගේ ගෞරවයට, ස්වාමිත්වයට, ආත්මගරුත්වයට, නින්දාවක්, අපහාසයක් සේ බුදු සමය නො සලකයි. එනිසා ම බිරිය සැමියාට අනුකම්පාව දැක්වීමේ දී වුවත් ඇයගේ ක්‍රියාකාරීත්වය, කැප වීම, භක්තිය වැදගත් ය. අනුකම්පා කිරීම යනු සැමියාටත් දරුවන්ටත් එසේ ම පවුල හා සබැඳි අනෙක් සමාජ ආයතන වෙතත් සමාජීය පුරවැසියකු විසින් කළ යුතු පරිණත සමාජ කාර්යභාරය යි. ඒ හැර බැළමෙහෙවර කිරීම් අර්ථයකින් බුදුසමයේ මෙම වදන කාන්තාව සමඟ සම්බන්ධ කොට නැත.
මෙහි දී මිල කිරීමකින් තොර ව කාන්තාවගේ ශ්‍රමය සූරා කන බවටත්, එය පුරුෂාධිපත්‍යයේ අවශ්‍යතාව අනුව භාවිත කරනු ලබන බවටත් නිගමනය කළ හැකි කරුණු වේ ද? පවත්නා සමාජ, ආර්ථික ක්‍රමය තුළ කාන්තා ශ්‍රමය පමණක් නො ව, පුරුෂ ශ්‍රමය ද අඩු මිලට විකිණෙයි. බුදුසමය මෙහි දී අවධාරණය කරන්නේ දෙදෙනාගේ සහයෝගිතා සම්මුතියකි; ගිවිසුමකි. සැමියා ආර්ථික නිෂ්පාදකයා ලෙස පමණක් බුදුසමය විසින් හඳුනාගැනෙන්නේ නැත. ඉහත සඳහන් යුතුකම් ඉටු කිරීම තුළ පුරුෂාධිපත්‍යයට වඩා ඒ තුළ ප්‍රකාශ වන මනුෂ්‍ය සබඳතා අවධානයට ලක් කළ යුතු ය. බිරියගේ සේවය පවුලක පැවැත්මට අත්‍යවශ්‍ය බව බුදුසමය හෙළි කරයි. පිතෘ මූලික චින්තනයක පදනමක් ඉන් ගම්‍ය නො වෙයි. විවාහ ජීවිතයේ ‘ඛේම අප්පටිභය’ තත්ත්වට පත් විය හැක්කේ උක්ත සහයෝගිතා පදනම අර්ථවත් නම් පමණි.
දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කුල කුමරියන්ට, බිරින්දෑවරුන්ට යහපත් ව සැලකිය යුතුª බව, යහපත් ආකල්පමය ප්‍රතිචාර දැක්විය යුතු බව ප්‍රකාශ කරයි. එහි දී ද එම විග්‍රහය තුළට බිරිය අන්තර්ගත වී ඇත. ආත්මගෞරවය සමාජය තුළ, කාන්තාවට සුරක්ෂිත කරදීමට බුදුසමය ක්‍රියා කොට ඇති බවට ඇති සාධක දුලබ නො වේ.
සමාජය වෙත ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ස්වාමි දියණියන් වර්ග සතක් සත්තභරිය සූත්‍රය ඉදිරිපත් කරයි.
* වධක භාර්යාව
* චෝර භාර්යාව
* අරිය භාර්යාව
* මාතු භාර්යාව
* භගිනි භාර්යාව
* සඛී භාර්යාව
* දාසි භාර්යාව
කාන්තාව සිය සැමියාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව යහපත් – අයපත් ලෙස වර්ග කළ බවක් මෙම සූත්‍රයේ මතුපිට අර්ථයෙන් ප්‍රකාශ වෙයි. එහෙත් සිගාලෝවාද සූත්‍රයේ ප්‍රකාශිත බිරියගේ කාර්ය හා සැසඳීමේ දී සැමියා, දරුවන් සහ සමාජය යන සමස්තය සමග ස්වාමි දියණියක් සබඳතා පවත්වන ආකාරය අනුව මෙම විග්‍රහය කළ බව අනුමාන කළ හැකි ය. පීඩිත ව සිටින බිරිය තවදුරටත් පෙළීමේ දුෂ්ට චේතනාවක් මෙම වර්ගීකරණය ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව නො වෙයි. මෙම කරුණ විවිධ ලෙස අර්ථකථනය කිරීමට විවෘත බැවින් ‘දාසි හරිය’ යන්න විමසිය යුතු ය.
ස්වාමි පුරුෂයා යනු ජෛවීය වශයෙන් පවත්නා මිනිසාගේ වෙනස්කම් පිළිබඳ පදනමේ සිට සංස්කෘතික වශයෙන් නිර්මාණය කරගත් සමාජ සම්මුතියකි. එහි දී මිනිස් සංහතියේ පිරිමි නමැති එක් කොටසකට පමණක් විශේෂ වරප්‍රසාද ප්‍රදානය කිරීම සදාචාරාත්මක වශයෙන් අපරිපූර්ණ වූවකි. ‘ශක්තිය බලය වෙයි’ යන ‘වන නීතිය’ තව දුරටත් මිනිස් සමාජයට අදාළ නම්, පිරිමි පක්‍ක්‍ෂය ආත්මාර්ථකාමී ව වරප්‍රසාද භුක්ති විඳීම අනුමත කළ හැකි ය. සමකාලීන සමාජ සන්දර්භය තුළ දී සෑම මනුෂ්‍යයකු ම උපකල්පනය කරනුයේ මිනිසා යනු ශිෂ්ට සහ සංස්කෘතික සත්ත්වයකු බව යි. එය සැබෑ ප්‍රකාශනයක් නම් පුරුෂාධිපත්‍ය හෝ පිතෘමූලිකත්වය අවශ්‍ය බව පිළිගැනීම විසංවාදී වූවකි.
බෞද්ධ ඉගැන්වීම් තුළ ස්වාමි පුරුෂයා හෙවත් ‘භත්තා’ යනු ගෘහයක සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන වැදගත් චරිතයකි. ඔහු බිරිය හෝ දරුවන්ගේ හිමිකරුවා නො වෙයි. ඇතැම් සමකාලීන පුරුෂාර්ථ බවට පත් ව ඇති, දේපළ උරුමය පිළිබඳ රීතිය, දූදරුවන්ගේ නාමකරණය තුළ ස්වාමියාගේ කේන්ද්‍රීය බව පිළිගැනෙයි. එහෙත් බුදුසමයේ විවරණය වන සැමියා යනු විවාහ දිවියේ කොටස්කරුවෙකි. සිගාලෝවාද සූත්‍රයේ අඹු-සැමි සබඳතාව විග්‍රහ කිරීමේ දී සැමියා බිරියට සංග්‍රහ කළ යුතු බව කියැවෙයි. එහෙත් එමගින් කාන්තාවගේ අසරණ භාවයට පිහිට වීමක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් නො වෙයි. සහයෝගී ජීවිතයේ තම කාර්ය ඉටු කිරීම පමණක් සැමියා විසින් සිදු කැරේ. බුදු සමය මෙනයින් ස්වාමියාගේ යුතුකම් පහක් ඉදිරිපත් කරයි:
* සම්මානනාය – ආදර බහුමන් සහිතව බිරිඳට ඇමතීම
* අනවමානනාය – ඇයට අවමන් නොකිරීම
* අනතිචරියාව – බිරිය නොඉක්මවීම
* ඉස්සරිය චොස්සග්ගේන – ගෘහ පාලනය ඇයට පවරා දීම
* අලංකාරානුප්පදානේන – ආභරණ වස්ත්‍ර ආදිය ඇයට සපයා දීම
කාන්තා අයිතීන් රැසක් මෙමගින් සුරක්ෂිත වෙයි. දෙදෙනා එකඟ වූ සම්මුතිය කඩ නොකර ආරක්ෂා කිරීම යනු අසහනය තුළ දිවි ගෙවීම වෙනුවට තෘප්තිමත් දිවියකට මග විවර කරගැනීමකි. එහෙත් මෙම උපදේශ නොකඩකොට රැකිය යුතු ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කළ යුතු නීති සමුදායක් බව බෞද්ධ කතිකාව තුළින් හෙළි නො වේ.
බුදුරදුහු බිරිය සැමියාගේ දාසිය ලෙස නොව උතුම් ම යහළුවා සේ හඳුනාගනිති:
“කිං සූධ පරමෝ සඛා?
හරියාව පරමෝ සඛා..”
(සංයුත්ත නිකාය, වත්ථු සූත්‍රය)
බුදුරදුන් වරෙක විශ්වාසය, පරම වූ ඥාතියා ලෙස (විස්වාසපරමා ඤාති) හැඳින්වූ අයුරු අපට ධම්මපදය සිහි ගන්වයි. සැමියාගේ විශ්වාසවන්ත ම සහකරු බිරිය යි. සැමියා කාරුණික ආකල්පයක්, සෙනෙහසක්, ඇය වෙත දැක්විය යුත්තේ ඒ නිසා ය. ඇය ද්විතීයික වීමක් මෙමගින් අනපේක්ෂිත ය.
මිනිසා පිළිබඳ බෞද්ධ විග්‍රහයේ දී ඔහුගේ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික යන අංශද්වය පිළිබඳ ව ම අවධානය යොමු කරනු ලැබේ. තත්කාලීන ඇතැම් සමාජ සම්මුතීන් ද සැලකිල්ලට ගත් අයුරු ‘ආවේණික දුක්ඛ’ සූත්‍රය පැහැදිලි කරයි.
1. ඉධ මාතුගාමෝ දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති ඤාතකේහි විනා හෝති
2. මාතුගාමෝ උතුනී හෝති
3. මාතුගාමෝ ගබ්භිනී හෝති
4. මාතු ගාමෝ විජයාති
5. මාතුගාමෝ පුරිසස්ස පාරිචාරියං උපේති
ඍතු වීම, ගැබ් ගැනීම හා දරුවන් වැදීම යන කාරණා තුන ගෘහ දිවියක සාර්ථක පදනම සඳහා තීරණාත්මක ය. එනිසා ම සැමියා කාන්තාවට සහනය ඇති වන ආකාරයෙන් ප්‍රතිචාර දැක්විය යුතු ය.
සැමියාගේ ප්‍රධානත්වය පවුලක් තුළ ක්‍රියාත්මක විය යුතු බවට දක්වන අදහසක සේයාවක් ‘රථ’ සූත්‍රය තුළ ප්‍රකාශ වෙයි. ලෝකයේ පවත්නා සෑම දෙයක් ම විවිධ සලකුණු ඔස්සේ ලෝකයට ප්‍රකාශ වෙයි. ගිනි ඇති බව දුමෙනුත්, රථය ඇති බව කොඩියෙනුත් ප්‍රකාශ වෙයි. රටක සලකුණු රජතුමා වෙයි. එසේ ම කාන්තාවගේ සලකුණ සැමියා බවත් ප්‍රකාශ වෙයි.
“කිංසු පඤ්ඤාණ මිත්ථියා
භත්තා පඤ්ඤාණ මිත්ථියා”
පුරුෂ මැදිහත් වීමක් රහිත ව කාන්තාවගේ සමාජයීය පැවැත්ම අර්ථවත් නො වේ ද? කාන්තා ජීවිතය අර්ථවත් වන්නේ සැමියකු සහිත දිවියක දී පමණක් ද? ස්වයං ප්‍රතිරූපයක් ඇය සතු නො වේ ද? ආදි ප්‍රශ්න රැසක් මෙහි දී පැනනගියි. භික්‍ෂුණි සහ උපාසිකා චරිත පිළිබඳ මුල් බෞද්ධ විග්‍රහය තුළ එවන් සීමාවක් කාන්තා ජීවිතයට ප්‍රවිෂ්ට කිරීමට බුදුසමය වැර නොදැරූ බව ප්‍රකාශ වෙයි. බිරියක, කුමාරිකාවක, තරුණියක, ළදැරියක ලෙස ඇයට සමාජ ප්‍රතිරූපයක් ඇති බව බුදුසමය පිළිගනියි. ථේරි ගාථාවන්හි සටහන් ව ඇති ‘ඉසිදාසි’ වැන්නවුන්ගේ ජීවන ප්‍රවෘත්ති සමකාලීන බිරින්දෑවරුන්ගේ අසරණ ජීවිතය විදහා දක්වයි. ඉසිදාසියගේ ගුණවත් බව ම සැමියන්ගෙන් ඇය ප්‍රතික්ෂේප වීමට හේතු විය. වර්තමානයේ ලෙසින් ම සැමියන් විසින් සමාජීය වශයෙන් සිල්වත්, එහෙත් ගෘහ දිවිය තුළ දී ඊට හාත්පසින් ම විරුද්ධ චරිතයක් කාන්තාවගෙන් අපේක්ෂා කිරීම ඉසිදාසියගේ අසරණ භාවයට හේතු බවට පත් වන්නට ඇත.
කාන්තාවන්ට නිසි තැන ලබාදීමේ ප්‍රයත්නයක යෙදෙන ‘කාන්තා විමුක්ති ව්‍යාපාර’ පවුල් දිවියට ප්‍රබල බලපෑමක් එල්ල කොට ඇත. කෘෂි ආර්ථික රටාවේ දී, ආර්ථික කෘත්‍ය සපුරා ම සැමියා මත පැවති මුත් නූතනයේ පුරුෂාර්ථ වෙනස් වීම, ප්‍රතිසංස්කරණ ඇති වීම ඉවසිය යුතු ය. සාම්ප්‍රදායික පිතෘ අධිකාරිත්වය මත වූ විවිධ අංශ තුළ, කාන්තා මැදිහත් වීම ප්‍රබල සමාජීය වෙනසක සටහනකි. ගෘහස්ථ දිවියේ කාර්ය හා රැකියාව අතර කාන්තාවගේ භූමිකාව වෙනස් වීම ද ලඝු කොට නොතැකිය යුතු ය.
මේ වන විට ස්ත්‍රී – පුරුෂ සමාජ කාර්ය හා භූමිකා වෙනස් වීම, හුවමාරු වීම පමණක් නො ව, පවුල් ව්‍යූහයේ ද ප්‍රබල වෙනස්කම්වලට සංවර්ධිත බටහිර සමාජ පියවර තබා අවසන් ය. සමලිංගික විවාහ, ඒක මාතෘ හෝ ඒක පිතෘ කේන්ද්‍රීය පවුල් මෙම කරුණ තහවුරු කරන සරල නිදසුන් ය. එහෙත් ඒවායේ සමාජීය කාර්ය සුළු කොට නොගිනිය හැකි ය. විරුද්ධ ලිංගික පවුල් සංස්ථාවේ සම්පූර්ණ ප්‍රතික්‍ෂේප කිරීමක් එමගින් සිදු වී ඇත. එවන් සන්දර්භයක් තුළ ස්වාමි-භාර්යා සබඳතාව විමසීමේ සීමාව විරුද්ධ ලිංගික පවුලට පමණක් සීමා වේ ද යන්න තවත් වැදගත් පැනයකි.
බෞද්ධ ස්වාමි-භාර්යා සහසම්බන්ධය නිරතුරු ව එහි සාමාජිකයන්ගේ අවශ්‍යතාවට විශේෂ ගෞරවයක් පිරිනමයි. ඇතැම් පෞද්ගලික රුචි-අරුචිකම්, ඇගයුම් අපේක්ෂා ආදිය අනෙකා වෙනුවෙන් හෝ පවුලෙහි ප්‍රගතිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පවුල් ජීවිතයක් තුළ දී සිදු විය හැකි ය. එවැනි වෙනස්කම් ඉවසා දරාගැනීමට තරම් ශක්තිමත් පෞරුෂයක් කෙනකු සමාජානුයෝජනය වන සහ අධ්‍යාපනය ලබන කාලය තුළත් එසේ ම පූර්ව වෛවාහික ජීවිතය තුළත් කාන්තා හා පිරිමි යන දෙපක්ෂය විසින් ම සංවර්ධනය කළ යුතු ය. නෛතික හෝ රීතික පදනමක මිනිසා සිර කිරීමේ අවශ්‍යතා මත නොව, මිනිසාගේ අවශ්‍යතා මත ඇගයුම් නිර්ණායක වුව වෙනස් කිරීමට බෞද්ධයා පසුගාමී නොවිය යුතු ය. එහෙත් ධාර්මිකත්වය, තමන්ගේ නිෂ්ඨාව හා බැඳි සත් චාරිත්‍රානුකූල ප්‍රතිපත්ති ආදියේ අවශ්‍යතාව සෑම පරිවර්තනයක් හා වෙනස්කමක් තුළ දී ම ආරක්ෂා විය යුතු බව බුදුසමය අපේක්ෂා කරයි.
තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙනුවෙන් තම ජීවිතය පවරාදීමක් පිළිබඳ බුදුසමයේ කරුණු ඉදිරිපත් වනු නො පෙනෙයි. එසේ ම භෞතික වස්තු සම්පත්වලට තම ජීවිතය යටත් කොට මනුෂ්‍යත්වයට උරුම ශ්‍රේෂ්ඨ ගුණාංග අහිමි කරගැනීමක් සඳහා ද බුදුසමය අනුබල නො දෙයි. ස්වාමි-භාර්යා සබඳතාව බුදුසමයේ දී හඳුනාගැනෙන්නේ සම්මුති අර්ථයෙනි. පුද්ගල දිවිය තුළ ගැටුම් අවම වන පරිදි එම භූමිකා දෙකෙහි කාලීන පරිවර්තන ඇති කරගැනීමට එරෙහි වීමක් බුදුසමයෙන් සිදු නො කැරෙයි.
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood