Temples of Sri Lanka

උත්තරීතර මහානාහිමිපාණන්ගේ ගුණ කඳ අමරණීයි

 වයධම්මා සංඛාරා

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධූරන්ධර, අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක තැන්පත්, වංගීසවංශාලංකාර, විපස්සනා කම්මට්ඨානාචාරිය, කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී අග්ගමහා පණ්ඩිත මහාමහෝපාධ්‍යාය අතිගෞරවාර්හ දොඩම්පහළ චන්ද්‍රසිරි යතීන්ද්‍රයන් වහන්සේ නොසිතූ නිමේෂයක අපවත්වී වදාළ පුවත අසා අප මෙන්ම සසුන්ලැදි අපගේ දෙස් විදෙස් කල්‍යාණ මිතුරන් සියලු දෙනාම මහත් සංවේගයට පත් වූවෙමු.

දශක අටකට අධික කාලයක් මුළුල්ලේ ලෝක චර්යාව සමඟ භෞතිකව මෙන්ම ආධ්‍යාත්මයෙන් ද බද්ධ වෙමින් සිදු කරන්නට යෙදුණු අති උත්තුංග මාහැඟි සමාජීය මෙහෙවර ද, ශාසනාවතංසව සහ ධෛර්යවන්තව නොසැලෙන නායකත්වය විතරණය කරමින් සිදු කළ ධර්ම ශාස්ත්‍රීය සහ ශාසනික මෙහෙවර ද, වෛචිත්‍ර වූ මධුර වූ ධර්ම භාෂණ කුසලතා මහිමය ද නිසාවෙන් මහනායක හිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාවාසී ජනතාව අතර පාදනමස්කාරපූර්වක ගෞරවාදරයට පත් වූහ.

සංඝයා වහන්සලා වෙනුවෙන් අධ්‍යාපනයට, භාවනා කිරීමට සහ ප්‍රත්‍ය පහසුකම් සපයාගැනීමට වඩ වඩාත් යෝග්‍ය වන පරිදි ස්වභාවිකත්වයෙන් යුතු වන පරිසරයක ඉදි කර ඇති ගෝතම තපෝ වනය නැමැති බෞද්ධ සංකීර්ණයේ සංකල්පධාරීත්වය ද උසුලනුයේ උත්තරීතර මහනායක මාහිමියන් ය.
සුවහසක් කල් තම බෝධිසත්ව ගුණෝපේත ශ්‍රී නාමය මෙරට සසුනඹරේ සුදිලෙනු පිණිස තුන්කාලීන මෙහෙවරක නියැලෙන්නට යෙදුණු උත්තරීතර මහනායක හිමියන් එළැඹෙන 21 වැනිදා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී දැයෙන් නික්ම වැඩීමට නියමිතය.

ඉකුත් වර්ෂයේ ලෝකයේ ආධ්‍යාත්මික නායකත්වයෙහි වැඩවසන ශුද්ධෝත්තම 14 වැනි දලයි ලාමා වහන්සේගේ ඡන්ම දිනය නිමිත්තෙන් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු ද්වීභාෂීය බෞද්ධ සම්මන්ත්‍රණය වෙනුවෙන් ද මූලාසනය වෙනුවෙන් වැඩම කළේ උත්තරීතර මහනායක හිමියන් වන අතර, ඉකුත් මැයි 02 වැනි දා ආරම්භ වූ පාලි සහ සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනේ දෙවැනි අදියර වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් එක් කළ උන්වහන්සේ එසේ නිකුත් කළ ආශීර්වාදය අපට උත්තරීතර හිමියන්ගේ සුරතින්ම හිමි වූ අවසාන පණිවුඩය බව අදටත් අපට විශ්වාස කළ නොහැකි තරම් ය.

එමෙන්ම උත්තරීතර මහනායක ධූරයෙන් උන්වහන්සේ පිදුම් ලත් වහාම අතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි හිමිපාණන් සිය මුල්ම විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා වෙනුවෙන් ඉඩහසර ලබා දුන්නේ ද අපගේ සතිපට්ඨාන නාලිකාවට වීමත් ගෞරවයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. එමෙන්ම උන්වහන්සේ සුජීවත්ව වැඩවසන සමයේ උත්තරීතර හිමියන්ගේ ජීවිත කතාව අලලා ලියැවුණු චරිතාපදානයක් අන්තර්ජාතික සඟරාවක පළමුවරට පළ වූයේ නම් ඒ භාග්‍යය ද හිමිවූයේ අපගේ සතිපට්ඨාන ත්‍රෛමාසික සඟරාවේ ‘අරහත් ධජය’ විශේෂාංගයේ මංගල අතිරේකය වෙතය.

අග්ගමහා පණ්ඩිත මහාමහෝපාධ්‍යාය අතිගෞරවාර්හ දොඩම්පහළ චන්දසිරි උත්තරීතර මහනායක හිමිපාණන් වහන්සේ සුපේෂල ශික්ෂාකාමීත්වයෙන් ලෝකකාර්ථ චර්යාවේ යෙදෙමින් ලෝ සසුන් උදෙසා මහර්ඝ මෙහෙවරක් කරමින් ජාතියට මිණි පහනක් වෙමින් සිදුකළ ශාසනෝනතිකාමී මෙහෙවර උදෙසා අපගේ ගෞරවාදර නමස්කාරය පුද කරනු කැමැත්තෙමි.

 

ආචාර්ය දමෙන්ද  පෝරගේ
සභාපති – බෞද්ධ සහෝදරත්ව පදනම
නියෝජ්‍ය මහලේකම් – අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනය, නවදිල්ලිය
සම කතෘ – සතිපට්ඨාන ත්‍රෛමාසික බෞද්ධ සඟරාව

You might also like
en English
X
X