නිවන් දකින්නට නම්, මෙහෙම දන් දෙන්න
වත්මනේ බොහෝ දෙනා දානයයි අත්හැරීමයි දෙක තරමක් පටලවාගෙන තියන බව පෙනෙනවා.
බොහෝ දෙනා දන්දීම අත්හැරීමක් හැටියට හඳුනාගන්නට වෑයම් කරනවා.
නමුත් දානය කියන්නෙ එක් පාරමිතාවක්; නෛෂ්ක්‍රම්‍යය වෙනත් පාරමිතාවක්.
නෛෂ්ක්‍රම්‍යය කියන්නේ නිසරු බව දැකලා අත්හැරීම.
දානය කියන්නේ අනුන්ගේ යහපත උදෙසා තමන් සතු දේ පරිත්‍යාග කිරීම.
දානයේදිත් යම් අතහැරීමක් සිදු වෙනවා. නමුත් එහි මූලික පරමාර්ථය වෙන්නේ අන් අයගේ යහපත සලකාගෙන ක්‍රියා කිරීමයි.
ඒ නිවැරදි පරමාර්ථය හඳුනාගන්න පුළුවන් නම් තමයි දානය නිසා නියම සද්භාවය, මනුෂ්‍ය ධර්ම අප තුළ අවදි වෙන්නෙ.
දැන් සමහර වෙලාවට දායක පිරිස දානය සකස් කරගෙන බොහොම දුරබැහැර ඉඳලා එනවා. වෙහෙස මහන්සි වෙලා සකසගෙන ආ දානය බෙදනකොට හාමුදුරුවන්ට ඒවා අපථ්‍ය නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ අත වහලා ප්‍රතික්‍ෂෙප කරනවා. එතකොට සමහර මවුවරු කියන්නෙ “අනේ ස්වාමීන් වහන්ස අපටත් නිවන් දකින්න, අපටත් පින් සිදු කරගන්න ටිකක් හරි වළඳන්න.
මේ රැයක් එළිවෙනකම් මහන්සි වෙලා හදාගෙන ආවේ.
අනේ ටිකක් හරි වළඳන්න.” දැන් උන්වහන්සේ අපථ්‍ය දේ වළඳලා අසනීප වුණාට කමක් නැහැ, මට නිවන් දකින්න, මගෙ දානෙ ටික වළඳන්න ඕන.
නිවනේ නාමයෙන් මිනිසුන් ඒ තරම් ම පටු ආකල්ප ඇති කරගන්නේ ඇයි? දානයේ නිවැරදි පරමාර්ථය මතු කරගන්න බැරිකම නිසා. හාමුදුරුවන්ට දානයක් දෙනවා නම් දිය යුත්තේ මම නිදි වරාගෙන හදපු නිසා වත්, මට නිවන් දැකගන්න ඕන නිසා වත් නෙවෙයි, උන්වහන්සේගේ කුසගිනි නිවීමට. උන් වහන්සේට ගුණදහම් වඩන්න උදව් කිරීමට.
මා පමණක් නො වෙයි අන් අයත් සුවෙන් සිටිය යුතුයි, ඒ නිසා මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අය සුවපත් කරන්න, අන් අයට යහපත කරන්න මා කැප විය යුතුයි කියන මේ ආකල්පයයි පරිත්‍යාගයේ සැබෑ මනෝභාවය විය යුත්තේ.
අද සමාජයේ බොහෝ විට එබඳු උසස් පරමාර්ථ ටිකෙන් ටික වියැකෙමින් යනවා.
එතකොට නිවන් දකින්න සිතීම උසස් පරමාර්ථයක් නෙවෙයි ද කියලා කෙනකු සිතන්න පුළුවන්.
නිවන් දැකීමට සිතීම උසස් ම පරමාර්ථයක්, එහි තර්කයක් නෑ. නමුත් ඒ පරමාර්ථය ඉටු වෙන්න නම් සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් නැහැ, අවශ්‍ය ගුණ මතු කර ගන්නත් ඕන. නිවන කියන ලේබලය අලවපු පමණට නුවණින් තොර ව කරන ක්‍රියා නිවනට හේතු වෙන්නෙ නැහැ.
අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හාමුදුරුවො දානයේ සැබෑ අරුත මතු කරන්න හොඳ වැඩ පිළිවෙළක් සකස් කරලා තිබුණා. ‘ආත්මසුඛවිහරණ පරිත්‍යාග අරමුදල.’ ඒ අරමුදලට යොදවන්නෙ අතිරික්ත මුදල් නෙවෙයි. එක වේලක් හරි තමන් නො කා ඉඳලා, ඒ සඳහා වැය වෙන මුදල මේ අරමුදලට යොදවන්නයි උන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ. ඇයි ඒ? දානයේ සැබෑ පරමාර්ථය හෙවත් ‘අනුන්ගේ යහපත වෙනුවෙන් කැප වීම’ උගන්වන්න. ඒ සඳහා ධනය හෝ භෞතික සම්පත් කැප කරන්න පුළුවන් නම් එය දාන පාරමිතාවයි. අංගප්‍රත්‍යංග කැප කරන්න පුළුවන් නම් දාන උපපාරමිතාවයි. ජීවිතය ම කැප කරන්න පුළුවන් නම් දාන පරමත්ථ පාරමිතාවයි. ඒ ඒ තරමට දානය උසස් වෙනවා. දාන පරමත්ථ පාරමිතාව සම්පූර්ණ වෙන්න තමන්ගෙ ජීවිතය විනාශ විය යුතු මයි කියන එක නෙවෙයි ඒකෙන් අදහස් කරන්නෙ.
අන් අයගේ යහපත පිණිස ජීවිත පරිත්‍යාගයෙන් කැපවීමයි.
නිවනේ නාමයෙන් අනුන් නො තකා හැරීම
ඉතින් මේ ආකල්පය සංවර්ධනය කරගන්නට නම් ‘මට තියනකොට දෙනවා, මට වැඩි නිසා දෙනවා, මට එපා නිසා දෙනවා, මට පිං සිදු කරගන්න දෙනවා’ කියන තැනින් ඔබ්බට යා යුතුයි. මට යමක් ඕන වුණත් ඒ මගේ අවශ්‍යතාව යට කරගෙන අන් අයගේ යහපත වෙනුවෙන් කැප වෙන්න මට පුළුවන් ද, එවිටයි සැබෑ මානව ධර්ම අවදි වෙන්නේ. ඒ නිසයි දානය සියලු යහගුණවල මුලට ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සැබෑ මනුෂ්‍ය ආකල්පය සංවර්ධනය වුණොත් පමණයි අප අතර පොදු හැඟීම, සමගිසම්පන්න භාවය, කරුණා මෛත්‍රිය ඇති කරගෙන, රටක් හැටියට ජාතියක් හැටියට සමාජයක් හැටියට නැඟී සිටින්න පුළුවන් වෙන්නේ. මේ ආකල්ප දුරු වෙන දුරු වෙන තරමට නිවන නමැති ඉලක්කය ඈතට ඈතට යනවා. අද බොහෝ දෙනා බිරිඳ ගැනත් නො තකා, සැමියා ගැනත් නො තකා, දරුවා ගැනත් නො තකා, අම්මා තාත්තා ගැනත් නො තකා, රට ජාතිය ගැනත් නො තකා, ශාසනය ගැනත් නො තකා, මම නිවන් දැක ගත්තොත් ඇති කියන ආකල්පයෙන් ක්‍රියා කරන බව පෙනෙනවා. ඒ සැබෑ නිවන් මඟ ද කියලා විමසා බැලිය යුතුයි. ඒ තුළින් සක්කාය දිට්ඨිය නම් වැඩෙන්නෙ, ආත්ම තෘෂ්ණාව තුළ නම් ගිලෙන්නෙ එයින් නිවන් මග ඇහිරෙනවා.
එක් දිනක් ස්වාමීන් වහන්සේ නමක් සමග සාකච්ඡා කරන කොට උන්වහන්සේ පැවසුවා, පුළුවන් තරම් ඉක්මනින් නිවන් දැක ගන්නටයි මම නම් බලාපොරොත්තු වෙන්නේ කියලා. මම කිව්වා මගෙ අදහසත් ඒක තමයි, නමුත් කෙලෙස් නැසුවාට පසුවත් සමහර රහතන් වහන්සේලාගෙ වාසනා ගුණ හැටියට පුංචි පුංචි දුබලකම් ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අර එක හාමුදුරුනමක් ආත්ම ගණනක ඇබ්බැහිය නිසා වක්කඩෙන් පැන්නෙ. උන්වහන්සේට ඒකෙන් අනර්ථයක් නෑ. නමුත් අනෙක් මිනිස්සු හිත් නරක් කර ගන්නවා.
පිලින්දිවච්ඡ හාමුදුරුවො දෙවියන්ට ප්‍රිය භික්‍ෂූන් අතර අග්‍රයි. නමුත් කතා කරන්නේ ‘වසලයා මෙහෙට වරෙන්’ ආදි වශයෙන්. උන්වහන්සේට එයින් හානියක් නෑ කෙලෙස් නසලා නිසා. උන්වහන්සේ තරහ සිතින් කතා කරනව නෙවෙයි. නමුත් අනෙක් මිනිස්සු රහතන් වහන්සේ ගැන හිත නරක් කරගෙන පව් සිදු කර ගන්නවා. ඒ නිසා මම සිහිපත් කළා ඉක්මනින් නිවන් දකින එක හොඳයි, නමුත් මට හිතෙනවා නිවන් දකින්න කලින් අර අනිත් අය පව් සිද්ධ කරගන්න විදිහේ දුර්වල ඇබ්බැහි අප ළඟ තියෙනවා නම්, ඒවත් අඩු කරගෙන නිවන් දැකීම හොඳයි කියලා. ඒ මොකද අර්හත් මාර්ග ඥානය ඉපදවීමෙන් පසුව නැවත ගුණ වැඩීමක් නැහැ.
ඒ නිසා අනිත් අය වරදවා වටහාගන්න විදිහේ පුංචි පුංචි දුබලකම් හදාගෙන ම නිවන් දැකීම වඩා හොඳයි කියලා මම කිව්වා. එවිට උන්වහන්සේ කියනවා ‘හා හා එහෙම හිතන්න එපා ලක්‍ෂයක් අපාගත වුණත් කමක් නෑ අපට නිවන් දකින්න පුළුවන් නම්’ කියලා. ඉතින් ඒක ද නිවන් මඟ? ඒක ද ශාසනය? ඒක ද ධර්මානුධර්ම ප්‍රතිපදාව?
නිවන ගැන මේ තරම් ම පටු විදිහට සිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? අර දන් දීමේ ඉඳල ම මූලික මනුෂ්‍යධර්ම ගිලිහිලා. ඒ නිසා අපි පරිස්සමින් තෝරා ගන්න ඕන අත්හැරීම වෙන ම කාරණයක්, දන් දීම තවත් කාරණයක්. කෙනකුට මේ ගුණ දෙක ම අවශ්‍ය නම් එකට පුහුණු කරන්නත් පුළුවන්. නුවණ තියන තරමට එක ම කාරණයක් තුළින් අපට ධර්ම කාරණා කිහිපයක් පුහුණු කරන්න පුළුවන්. නමුත් පටලවා ගන්නෙ නැති ව දන් දීමේ පරමාර්ථය හා අත්හැරීමේ පරමාර්ථය අතර වෙනස තේරුම් ගන්න ඕන.
අත්හැරීම ගැන කථාකරද්දි මුලින් ම මේ පටලැවිල්ල ලිහාගත යුතු නිසයි මේ කාරණය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ.
මේ දහම් කරුණු වහ වහා ඔබේ සිතට අවබෝධ වේවා…ඔබට තෙරුවන් සරණයි…🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood