නැවුම් අලුත් අවුරුදු සිරියෙන් නැහැවුනු ..උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි …
අප ජීවත්වන මේ පෘථිවිය සූර්යයා වටා නොනවතින ගමනක යෙදී ඇත .ඒ එක් ගමන් මගක් සම්පූර්ණ කිරීමට දින 365 ක් ගත වෙයි. වසර හතරකට වරක් එය දින 366ක් වෙයි.
සූර්‍ය ගමන මේෂ රාශියෙන් ආරම්භ වී මීන රාශියෙන් අවසාන වන බව පැරැන්නන්ගේ අදහස විය.
මීන රාශියෙන් ගමන අවසන් කර අලුත් ගමනක් ආරම්භ කිරීමට සූර්යයා මේෂ රාශියට පැමිණීම මහා මංගල්‍යයත් සේ සලකා උත්සව කිරීම ආදි කාලයේ සිටම පැවතගෙන එන සිරිතකි. අපට එය සිංහල අලුත් අවුරුද්දයි.
බක් පුන් පොහොය ලබන්නේ අවුරුදු මාසයේදී හෙවත් අප්‍රේල් මාසයේදී .මේ පොහොය ශ්‍රී ලාංකික අපට වඩාත් වැදගත් වන්නේ …..
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය බුද්ධත්වයෙන් පස්වන වසරේ දී බක් පුන් පොහොය දිනයකදී සිදුවීම නිසාවෙන්.
බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනයේ අරමුණ වූයේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් ලාංකීය රජවරුන්ට අවබෝධ කර දීම පිණිසයි.
සූර්යයා මේෂ රාශියට එන්නේ බක් මාසයේදී. එය ඉංග්‍රීසි බසින් අප්‍රියෙල් වේ.බක් මාසය භාග්‍යවන්ත මාසය සේ සැලකෙනවා. එය ඇත්තක්. ශ්‍රී ලංකාව ප්‍රමුඛ කොට පෙරදිග රටවලට බක් මාසය සැබැවින්ම භාග්‍යවන්ත මාසයක්.
කෘෂිකර්මයෙන් ගොවිතැනින් ජීවත් වුණ ජනයා ගොයම් කපා අස්වැන්න ගෙට ගෙන මඳක් විවේකීව ප්‍රීති ප්‍රමෝදයෙන් කාලය ගත කරන්නේ මේ භාග්‍යවන්ත මාසයේදී .
සිංහල-බෞද්ධයාගේ විවේකී ප්‍රීතිප්‍රමෝදය ආගමික පිළිගැනීම් හා බැඳී පවතින්නක්. එම නිසා බක් මාසයේ ලැබෙන ප්‍රීතියෙන් බලවත් කොටසක් බක් පොහොය නිසා ඇතිවන බව සිතට ගත යුතුයි.
මෙම පොහොය බෞද්ධ ඉතිහාසයටත් ලංකා ඉතිහාසයටත් එක තරමටම ඉතා වැදගත්.
අතීතයේ දී නම් බෞද්ධ ඉතිහාසය ලංකා ඉතිහාසය කියා දෙයක් තිබුනේ නැහැ. එහෙත් ඉන්දියානු, පෘතුගීසි ,ඕලන්ද, ඉංග්‍රීසි, ආක්‍රමණ නිසා පසු කාලයේ දී ඉතිහාසය තුළ මේ වෙනස්කම් සිදු වෙලා තියෙනවා .
ලංකා ඉතිහාසයේ බක් පොහොය ආගමික වශයෙන් වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කරනු ලැබුයේ බක් පොහොය දිනයක් වීම නිසයි
බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි මහා කරුණාවක් දැක්වූ උතුම් ශාස්තෘන් වහන්සේ නමක්. බුද්ධත්වය ලබා පස්වැනි වසරේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කළ ගෞතම බුදුරජාණන් වහන්සේ එක් පසළොස්වක පෝය දිනක අළුයම “අද මම කවරෙකුට පිහිට වෙමි”දැයි මහා කරුණා සිතින් ලෝකය දෙස බැලූ සේක. එවිට බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා නෙතට, මහා මෛත්‍රී නෙතට, ශ්‍රී ලංකාව දිස් විය. ඒ කාලේ ශ්‍රී ලංකාව පාලනය කළේ කළේ යක්ෂ රාක්ෂ නාග දේව යන ගෝත්‍රික පාලකයන්. යක්ෂ ගෝත්‍රික පාලකයෝ මහියංගණය ප්‍රදේශයේ බලවත්ව සිටි අතර දේව ගෝත්‍රිකයෝ කඳුකරය පාලනය කළහ. නාග ගෝත්‍රිකයෝ නාගදීපය ඇතුළු උතුරු හා දකුණු ප්‍රදේශවල පාලකයෝ වූහ. මේ නාග ගෝත්‍රික පාලකයන් අතර චූලෝදර මහෝදර නම් බලවත් නාග රජුන් දෙදෙනෙකු වූහ. ඔවුහු උතුරේ නාගදීපය පාලනය කළහ.
මහෝදර නා රජුට මෑණියන්ගෙන් හිමි වූ මැණික් පුටුවක් විය. මහෝදර නා රජුගේ සොයුරියකගේ පුතෙකු චූලෝදර රජු ද මේ මැණික් පුටුවට අයිතිවාසිකම් කීවේය. ඉතා වටිනා මැණික් පුටුවක් වූ මෙය තමාට අයිති කරගැනීම සඳහා මාමා සහ බෑණා යුද්ධයට සැරසී මුහුණට මුහුණලා කඳවුරු බැඳ ගත්හ.
යුද්ධයක් ඇතිවුනොත් ඉන් සිදුවන විනාශය බලවත් බව දිව්‍ය ඥානයෙන් හා කරුණා නෙතින් දුටු බුදු රජාණන් වහන්සේ, යුද භූමියට වැඩම කොට, ඔවුන්ට අවිහිංසාවේ හා සාමයේ අගය පහදා දී යුද්ධය නැවැත්වීමට සිතූ සේක.
ජේතවනාරාමයේ දොරටුව අසල කිරිපළු ගසක් විය. එම ගසට අධිපති දෙවියෝ සමිද්ධි සුමන නම් විය. බුදුන් වහන්සේ සුමන දිව්‍ය රාජයා ද කැඳවාගෙන නාගදීපයට වැඩම කළ සේක. වැඩම කොට සතුටු ව,දෙපිරිසට කරුණාවෙන් කතා කළහ. බුදුරජාණන් වහන්සේගේ මහා මෛත්‍රිය නිසා රණකාමී රජවරු අවි බිම තැබූහ. මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කළහ. බුදුන්වහන්සේ ඒ මැණික් පුටුවෙහි වැඩ සිට පාරිභෝගික ධාතුවක් බවට පත් පත් කළහ. බුදුරජාණන් වහන්සේ යුද්ධයේ විපාකයත්, සාමයේ යහපත් ප්‍රතිඵලත්, පහදා දෙමින් චන්දන ජාතකය සහ කාකෝලුක ජාතකය ඇසුරෙන් නාග ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කළ සේක .
ධර්මය ඇසූ නාග ගෝත්‍රිකයෝ බුදුදහම වැළඳ ගත්තාහ. බුදුන් සිහි කොට පුද පූජා පැවැත්වීමට පූජනීය සිහිවටනයක් ඉල්ලා සිටි අතර බුදුහු මැණික් පුටුව ආපසු නා රජුන්ට ම දුන්නාහ. බුදු හිමි මැණික් පුටුවෙහි අසුන්ගෙන සිටීම නිසා එය පාරිභෝගික ධාතුවක් බවට පත්වීමෙන් පූජනීය විය .
චූලෝදර මහෝදර දෙ රජුන් එක්ව බුදුන් ධර්මය දේශනා කළ භූමියේ රාජායතන චෛත්‍යය නමින් දාගැබක් කරවූහ .ඒ කාලේ මේ භූමිය නාග පට්ට නම් විය.
සෑම බක් පුර පසළොස්වක් දිනයකම, නාගදීප විහාරස්ථානය ප්‍රමුඛ කොට දිවයිනේ සියලු වෙහෙර විහාර වල බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන සිහි කරවන පින්කම් පුද පූජා පැවැත්වීම සිරිතකි.
නාගදීපයේ යුද්ධයට ආධාර කිරීම පිණිස කැලණියේ මනිඅක්කිත නා රජතුමා නාගදීපයට ගොස් සිටියේය. ඔහු මහෝදර නා රජුගේ මාමණ්ඩියයි. බුදු දහම කෙරෙහි පැහැදුණු මණිඅක්ඛිත නා රජු කැලණියට ද වඩින ලෙස බුදුන් වහන්සේට ආරාධනා කළේය. මෙසේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන නිසා, පූජනීය දිනයක් බවට පත් වූ බක් මස පුර පසළොස්වක් පෝ දිනය ඉතා වැදගත් වන තවත් වැදගත් කරුණක් වන්නේ, එය අවුරුදු පොහොයද වන නිසාය .
අවුරුදු පොහොය අවුරුද්දට පෙර ආවත් පසුව ආවත් සිංහල-බෞද්ධයාගේ සිත් සතන් පන්සල් වෙහෙර විහාර වෙත යොමු වෙයි. එහෙයින් ආගමික වශයෙන් ද ඓතිහාසික වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද බක් පොහොයේ ඇති වටිනාකම ඉතා උතුම් වෙයි. බක් පොහොය සමය තුළ ශ්‍රී මහා බෝධිය අභියස අලුත් අවුරුදු මංගල්‍යය පරණ අවුරුදු නානුමුර මංගල්‍යය, අලුත් සහල් මංගල්‍යය, ආදී කෘෂිකර්මය හා සම්බන්ධ ආගමික පූජාවන් රැසක් ද වාර්ෂිකව පැවැත්වීම සිරිතක්ව පවතී .
සඳ රැස් ගලා…
අවුරුදු සිරියෙන් නැහැවුණු..
බක් පුර පසළොස්වක් පෝ දා…
එන්න …
බෞද්ධ සහෝදරත්වයෙන්…
ඒ සඳ රැස් කිරණින් …
නැහැ වෙන
ඒකාලෝකය…විදින්නට …..
ඔබට පිනෙන් සපිරි උතුම් බක් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා !!!🙏🙏🙏
බෞද්ධ සහෝදරත්වයේ පැතුම…