බුදු දහම කිසියම් දේශයක ජනවර්ගයකට සීමා කළ හැකි ආගමක් නොවේ. එහෙත් මිහිඳු මා හිමියන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලාංකිකයන්ට දේශයේ උරුමයක් බවට පත් කරගනු දැකීමයි. ඒ අනුව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළේ ඔබ රටෙහි බුදුදහම තහවුරු වීමට නම් ස්වදේශිකයන් මහණ උපසම්පදාව ලබා දේශයේ භාෂාවෙන් ධර්මය පැහැදිලි කිරීමේ ශක්තිය ඇති කරගත යුතු බවයි. උන්වහන්සේ අපේක්ෂා කළ ආකාරයෙන්ම කෙටි කාලයක් තුළදී ශ්‍රී ලාංකිකයින් විශාල වශයෙන් සසුනට ඇතුළත් වීම නිසා තවදුරටත් ඉන්දියාවෙන් ධර්මදූත කණ්ඩායම් ගෙන්වා ගැන්වීමට ද අවශ්‍ය වූයේ නැත.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සම්පූර්ණයෙන් ම විප්ලවයකට පාත්‍ර වුණේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර, බුදුදහම හඳුන්වා දීම සිදු කළ පින්බර වූ පොසොන් දවස නිසාවෙනි.
පංචශීලයෙන් ශික්ෂණය ලද ජනතාව අවිහිංසාව සිය ජීවිතයේ පදනම කරගනිමින් කෘෂිකර්මයෙන් සිය ජීවනෝපාය සරු කර ගත්හ නොපෙනෙන දෙවියන් වෙනුවට තිසරණය ජීවිතයට ළඟා කරගත් අතර ගස් ගල් සරණ යාම වෙනුවට බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තූන් බෝධියත් චෛත්‍යයත් චෛත්‍යයත් එම ස්ථානය හිමිකර ගැනීම එතෙක් පැවති විශ්වාසයට වඩා අර්ථාන්විත සංස්කෘතියකට උරුමකම් කීමට පදනම සකස් කිරීමක් විය.
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කර ලීම පිණිස ස්තූප නිර්මාණය කරමින් බෞද්ධ පූජ්‍ය වස්තුන් උදෙසා ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යය ඇරඹිණ. ආගමික චින්තනයේ නවෝදයක් උදා කරලීම ලෙස මෙය සනිටුහන් වෙයි. මෙතෙක් කල් මෙරට සමාජගත ව පැවැති මළවුන් පිදීම වැනි අංගයන් සඳහා නව අර්ථකථනයක් ස්තූප නිර්මාණය තුළින් ලාංකීය ජනතාව විෂයෙහි ලබා දුන් අතරම ඒ හා බැඳී බෞද්ධ සංකල්ප රැසක් මෙරට වැසියන්ට උරුම කර දීමට පියවර ගත්හ. මෙම අවස්ථාව බුද්ධාගම ජනතාව අතරට ගෙන යාමේ මුල් පියවරක් සේ සැලකිය හැකිය.
පන්සිල් සුරකින භික්ෂුව පෙරමුණු කොටගත් සමාජ චර්යා රටාවක් මෙන්ම සිරිත් විරිත් පද්ධතියක් ඇති වීම මෙරට දේශීය අනන්‍යතාව තවදුරටත් ඔපවත් වීම කෙරෙහි බලපෑ කරුණක් විය.
සමානාත්මතාවය ,පරාර්ථ චර්යාව ,කරුණාව මෛත්‍රිය බෞද්ධ ගුණාංගය ජන සමාජය තුළ පැතිරී යාම නිසා සමාජය හා බද්ධ තාවයක් මෙන්ම මානව හිතවාදී වූ සමාජයක් මෙරට සෘජුවම ඇති කිරීමට බලපෑ සාධක විය.
ජීවිතයේ වැදගත් අවස්ථා වලදී මෙන්ම සමාජගත උත්සව සම්ප්‍රදායන් හිදීම බෞද්ධ පදනම වඩාත් ඉස්මතුව තිබූ අතර ජන සමාජය තුළ ශික්ෂණය වඩාත් තහවුරු කිරීමට මෙම සමාජ ස්ථරය බෙහෙවින් බලපෑ බව කිව හැකිය .
බෞද්ධ අධ්‍යාපනයේ පුනරුදයක් ඇති වීමට ද මිහිඳු මාහිමියන්ගේ වැඩම වීම අතිශය ප්‍රතිඵල ගෙන දෙන්නක් විය .
මහින්දාගමනයෙන් පසු බිහිවූ පළමුවන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුර මහ මෙවුනා උයන තුළ පිහිටි මහා විහාරය හඳුන්වා දිය හැක. මහා විහාරය භික්ෂූන් වහන්සේට පූජා කරනු ලැබුවේ දෙවන පෑතිස් මහරජතුමා විසිනි. ඒ සමඟම රජතුමා විසින් මිහිඳු මාහිමියන් සඳහාම “කාලපාසාද පිරිවෙන” නම් සෙනසුන ද ,හදා පූජා කරනු ලැබුවේය. ඒ හැර තවත් බොහෝ පිරිවෙන් පොකුණු රාත්‍රී හා දිවා ස්ථානද පූජා කරනු ලැබීය .සුන හාත පිරිවෙන, දිඝ වංක මන පිරිවෙන, මරුගන පිරිවෙන, එළග්ග පිරිවෙන, ථෙරපස්සානය පිරිවෙන, දීඝසන්ද සේනාපති පිරිවෙන, ආදිය සඳහන් කළ හැකියි .
මේ අනුව බලන කල කළ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය නිසා ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක ප්‍රවර්ධනයන් ඇති විය.
1. බුදුදහම ලැබීම
2. ආචාරධර් දහම ලැබීම
3. භාෂා සාහිත්‍යය පෝෂණය වීම
මහාවංශය දීපවංශය නිකාය සංග්‍රහය අට්ඨකථා ආදී ඓතිහාසික ග්‍රන්ථ වලින්ද ශිලා ඉලේඛනලේඛන ආදී පුරාවිද්‍යා සාධක වලින්ද මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කරවීම අනුරාධපුර නගර ප්‍රවේශයමහා විහාරය පිහිටුවීම ශ්‍රී මහා බෝධිය වැඩමවීම භික්ෂු සාසනය හා භික්ෂුණී ශාසනය පිහිටුවීම ආදිය විශාල කාර්යභාරයක් ඉෂ්ඨ සිද්ධ කිරීමෙහිලා පැවති ශ්‍රද්ධාව අවබෝධය එකමුතුව ක්‍රියා කිරීම මනාව ප්‍රකාශ වන්නේ ය
මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූතයන් වහන්සේලා ලාංකිකයන්ට නිර්මල බුදු දහම මෙන්ම භාරතයේ පැවති උසස් අධ්‍යාපන ක්‍රම ද පුරුදු පුහුණු කොට ලාංකිකයන් තුළින් ම එහි කුසලතාවන් වර්ධනය වී උසස් ශිෂ්ටාචාරයක් බිහි වන්නට ප්‍රස්ථාව ලබා දුන්හ.
මේ නිසා මහා විහාරය, ජේතවනාරාමය, අභයගිරිය, මිහින්තලය ආදී ස්ථාන සමස්ත ජනතාවගේ ම අධ්‍යාපන පරමාර්ථ ඉෂ්ට කරන දේශ දේශාන්තර ගිහි පැවිදි ශිෂ්‍යයන් හා මහාචාර්ය වරයන් උපදේශකයන් ආශ්‍රය නිශ්‍රය කරන නිර්මාණ කුසලතා වර්ධනය කරන මහා විද්‍යාපීඨ වශයෙන් දස දෙස ප්‍රචලිත විය.
එවකට ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ හි පැවති භාෂාවන් නම්… පාලි, හෙලබස, සංස්කෘත, ප්‍රකෘත, ප්‍රාකෘත, මාගධී, මිශ්‍ර භාෂා, වෙයි. අධ්‍යාපන ක්‍රම වන්නේ වන වනපොත් කිරීම, අර්ථ කථනය ලිවීම, හා සටහන්, සාකච්ඡා, වාද විවාද, විමර්ශනය කිරීම, ආදියයි.ඉගැන්වූ විෂයන් වන්නේ.. භාෂා ව්‍යාකරණ, අලංකාර, නක්ෂත්‍ර විද්‍යාව, ගණිතය, නීතිය, අර්ථ ශාස්ත්‍රය, ඉතිහාසය, චිත්‍ර හා මූර්ති කලාවයි. සම්පූර්ණ අධ්‍යාපනයත් අපට දායාද වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය නිසාමයි.
ධර්ම දූතදූතයන් වහන්සේ නමක් වශයෙන් ලක්දිවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ… බුදුදහම ප්‍රචාරය කිරීම පමණක් නොව , අප රටෙහි භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, සිරිත් විරිත්, ආදී ජන ජීවිතයේ සෑම අංශයක්ම පෝෂණය කිරීමට අදාළ පසුබිම සකස් කිරීමේ නියමුවාණන් බවට පත්වූහ. මිහිඳු හිමියන් විසින් ලක්දිවට හඳුන්වා දුන් බුදු දහම ප්‍රාථමික ඇදහීම් වලින් යුත් සමාජයකට ඉදිරිපත් කළ නව දර්ශනයක් පමණක් නොව ජීවන මාර්ගයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
බෝධි වෘක්ෂය බුදුන් වහන්සේ නියෝජනය කරන අතර බෝධි වන්දනාව යනු බුද්ධ වන්දනාවක් ලෙස මෙරට ජනතාවට හඳුන්වා දීමට උන්වහන්සේ සමත් විය .ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමකර වීමත් සමඟ ඇති වූ පුද පූජා වන්දනාවන් තුළින් වෙනත් කිසිම රටක නොමැති බෝධි සංස්කෘතියක් අප රටෙහි බිහිවූ බව සාහිත්‍ය කලාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය තුළින් පැහැදිලි වෙයි .
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ථේරවාදී බුදු සමය මෙරටට හඳුන්වා දීමත් සමඟම එතෙක් මෙරට පැවැති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය වූ බව මේ අනුව පැහැදිලිය. මෙකී සංස්කෘතිය නිසා මෙරට ජනතාවගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය, හා අන්තර්පුද්ගල සබඳතාවය, ඉතා ඉහළ මට්ටමකින් පෝෂණය විය.
මහින්දාගමනය ලක්වැසි ජනතාවට නව ජීවන දර්ශනයක් හඳුන්වාදුන්, වැදගත්ම ඓතිහාසික සිදුවීම බව අමුතුවෙන් අවධාරණය කළ යුතු නොවන්නකි.
අනාදිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කර වීම කිසි සේත්ම පහසු නොවූ යුගයක, මිහිඳු මාහිමියන් වහන්සේ සිදු කරන ලද්දේ ප්‍රාග් බෞද්ධ යුගය ලංකාවේ පැවැති සංස්කෘතියට අනුව වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිදු කිරීම නොවේද..?
පැවැති සංස්කෘතිය හෙළා දැක, විවේචනය කිරීම වත් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම වත් මෙහිදී සිදු නොවුණු අතර, මිහිඳු මාහිමියන්ගේ මෙකී දූරදර්ශී වැඩ පිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතාවුන් ඇදහූ සියල්ලෝ…බෝධි වන්දනාව හා බෝධි පූජා සිදු කිරීමට පෙළඹුණු ආකාරය අපූර්වය.
ශ්‍රී ලංකාද්වීපයේ භාෂා සාහිත්‍ය, චිත්‍ර මූර්ති කැටයම්, ගෘහ නිර්මාණ ශිල්ප, යනාදියෙහි පදනම මහින්දාගමනයයි.සිංහල අක්ෂර සම්ප්‍රදාය තත්ත්වයකට හැඩ ගැසුණේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.
මහින්දාගමනයත් සමඟ අපට උරුම වූ එවකට ලෝකයේ පැවති විශිෂ්ටතම කලා සම්ප්‍රදාය වූ මෞර්ය කලා සම්ප්‍රදාය තුළින් බෞද්ධ කලාවේ පෝෂණයට ලැබුනේ සුවිශේෂී දායකත්වයක්. සඳකඩ පහණ, වාහල්කඩ, වැනි කලා නිර්මාණ සේම, මහා කළු ගල්වලට පණ පෙවූ සමාධි පිළිමය, අවුකන පිළිමය, වැනි විශ්ව කලාවේ සමතැන් ගන්නා අග්‍රගණ්‍ය කලාකෘති නිමවූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසයි .
සිංහල භික්ෂූන් වහන්සේලා සිංහල භාෂාවෙන් බණ කියන්නට සමත් වීමත්, මෙරටට ආවේනික වූ සිංහල ට සමත් වීමත් මෙරටට ආවේනික වූ සිංහල බුද්ධාගමක් ඇතිවීමට එය බුද්ධාගමේ ප්‍රගමනය සඳහා හේතු වූ බව කිව හැකිය.
යුගයෙන් යුගයට මේ සා මහත් කර්තව්‍යයකට උරදුන් මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් නාමය ජාතියේ කර්තව්‍යයට උර දුන් මහ හිමිනමක් ලෙස සිහි කළ යුතු අපූර්ව නාමයකි.
මිහිදු මහරහතන් වහන්සේගේ ආගමනය ශ්‍රී ලාංකීය බුදුසමයේ සමාරම්භය පමණක් නොව , අප රටෙහි ජාතික අනන්‍යතාවය තහවුරු කෙරෙන ජාතික සංස්කෘතියේ සමාරම්භය ලෙස ද සනිටුහන් කෙරෙන අවස්ථාවක් වශයෙන් සැලකිය හැකිය.