Temples of Sri Lanka

දීපවාලි මහෝත්සව කාලය…….

වර්ෂාවසානයක් සමග ලක්ෂ්මි මෑණියන් ගේ දේවාශීර්වාදය ද පෙරදැරිව අදුරෙන් ආලෝකය කරා පියමනින කාලය මෙලෙසින් උදා වී ඇත…..
සෑම ආගමක ආගමික උත්සවයක් සමාරම්භ වීමට මුල බීජය වන්නේ නිධානගත ඓතිහාසික කතා වස්තුවක් හෝ සිදුවීමක් ය.

මෙය “දීපවාලි” යන සංස්කෘත වචනයෙන් පැමිණෙන්නක් වන අතර එහි අර්ථය “ආලෝකමත් පහන් පේලි” යන අදහස බව කියැවේ.
අවුරුදු දහහතරක වහල් භාවයෙන් පසු රාම තම ජනතාව වෙත ආපසු පැමිණීම හෙවත් අයෝධ්‍යාවට පැමිණීම හින්දු භක්තිකයෝ ඉතා උත්සවාකාරයෙන් උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී.මෙහි තවත් ජන විශ්වාසයක් වන්නේ විෂ්ණු දෙවියන්ගේ හත් වන අවතාරය වන රාමචන්ද්‍ර ට ගෞරව කිරීම සඳහා දීපාවලි ආලෝක උත්සවය සමරනු ලබන බව යි.
අන්ධකාරයට වඩා ආලෝකය හා වාසනාව පිළිබඳව දේවතාවිය වන ලක්ශ්මි දෙවියන් සිහිපත් කිරීමටද මෙම උත්සවය උත්සවාකාරයෙන් පවත්වන බව කියැවේ.මෙහි දි ආලෝකය ලෙසින් නම් දී ඇත්තේ සතුට යන අරුත හැගවෙන්නට යි. එසේම ඇය මේ දිනයේ පෘථිවිය වටා සැරි සරමින් පිරිසිදු හා දීප්තිමත් නිවසකට ඇතුළු වන බවට ද විශාල විශ්වාසයක් හින්දු බැතිමතුන් අතර ඇත.
එසේම දුර්ගා දේවතාවිය මීෂා නම් යක්ෂයෙකු විනාශ කළ දිනය මේ දිනය ලෙස සලකමින් ඉතා උත්සවශ්‍රීයෙන් භක්තියෙන් සැමරීමද සිදුකරන බවට ජනප්‍රවාදයේ එන්නකි.

දීපවාලි යනු ලොව පුරා මිලියන සංඛ්‍යාත හින්දු ජනතාව සමරනු ලබන දින පහක පහන් ආලෝකය සහිත වූ උත්සවයකි.නව වර්ෂ ආරම්භයත් සමග සිද්ද වෙන අස්වැන්න හා අලුත් අවුරුදු සැමරුම් සමග සමපාත ව පවත්වනු ලබන දීපවාලි යනු, නව ආරම්භයක් දනවන උත්සවයක් වන අතර නපුරට වඩා යහපත ජය ගැනීම සහ අන්ධකාරය ට වඩා ආලෝකය යන තේමාව සනිටුහන් කරමින් මෙම උත්සවය පවත්වනු ලබයි. ලොව පුරා මිලියන සංඛ්‍යාත හින්දු භක්තිකයින්, තෑගි හුවමාරු කරගනිමින්, ගිණි කෙළි සහ උත්සව, ආහාර පාන හා මුල් වූ නවෝදයක් සමඟ ඉතාමත් සතුටින් දීපවාලී උත්සවය උත්සවශ්‍රීයෙන් සමරති .

ඉන්දියාවේ දීපවාලි උත්සවය පැවැත්වෙන්නේ මෝසම් සමය අවසන් වී පැහැදුන් කාලගුණයක් උදා වන විට ය.උත්සව අවස්ථාවන්හි ම කොටසක් ලෙස මිනිසුන් තම පැරණි ණය ගෙවීමට, නව ඇඳුම් නිමවීමට හෝ මිලදී ගැනීමට, සහ ඔවුන්ගේ නිවාස හොඳින් පිරිසිදු කිරීම කරති.
තමන්ගේ නිවාස, කඩ සංකීර්ණ, පොදු ස්ථාන, ඉතා පහන් ආලෝකයෙන් සරසා ඒකාලෝක කරමින්, රසකැවිලි භුක්ති විඳිමින් සතුට පෙර දැරිවූ මෙම වකවානුව, ළමයින් අතර ඉතා ජනප්‍රිය කාලසීමාවක් ලෙසට සඳහන් කළ හැක.මෙයත් සිංහල හින්දු අලුත් අවුරුදු උදාව හා සමාන ප්‍රීතීප්‍රමෝදයකි.

ධනයේ දේවතාවිය ලෙස සැලකෙන ලක්ශ්මි දෙවියන්, නව වර්ෂයට ආශිර්වාද ගෙනෙන තැනැත්තිය ලෙස සලකමින්, වන්දනාමාන කරමින්, ගතකරන මෙම දීපාවලි උත්සවය ඉතා මනරම් පූජා රැසකින් හෙබි වූ ඉතාමත් ජනාදරයට පත් හින්දු බැතිමතුන් අතිශයින්ම උත්සවශ්‍රියෙන් සමරන මහෝත්සවයකි.
සැමට සුබ දීපවාලියක් වේවා!

You might also like
en English
X
X