Temples of Sri Lanka

දැහැමෙන් සෙමෙන්… අඹුසැමියන්ට පණිවිඩයක් …

සමාජය නම් වූ සුවිශාල ආයතනය තුළ කුඩාම ඒකකය පවුලයි .එහි න්‍යෂ්ඨිය අඹුසැමි යුවළ යි. ඔවුන්ගේ එක්තැන් වීම කිසියම් දෙවි කෙනෙකු විසින් කරනු ලබන්නක් හෝ දේව කැමැත්තට අනුව සිදුවන්නක් හෝ නොවෙයි. මිනිස් ක්‍රියාවලියේ ම එක්තරා සිදුවීමක් මත ඔවුන්ගේ එක් වීම සිදුවී ඇත. ඒ සඳහා ස්ත්‍රී පුරුෂයන්ගේ එකතුවීම සසර ප්‍රාර්ථනා අනුව හෝ මේ ජීවිතයේ ම දැන හැඳින ගැනීම අනුව හෝ විය හැක .

යුගදිවියක් යනු නීති ප්‍රකාරව හෝ චාරිත්‍රානුකූලව හෝ ස්ත්‍රිය හා පුරුෂ යුවලකගේ එකතුවක් වන හුදු පෞද්ගලික කාර්යයක් පමණක් ම නොවේ. සාමාජීය කාර්යයක් ද වෙයි. සමාජයට අලුත් සාමාජිකයන් දායාද කරන්නේ යුගදිවියක් විසින්.

අඹුසැමි යුවළක ගේ ක්‍රියාකලාපය ඔවුන් කේන්ද්‍රකොට ගොඩනැගෙන පවුල කෙරෙහිත් සමස්ත සමාජය කෙරෙහිත් තදින්ම බලපායි. එබැවින් යහපත් සමාජයක පදනම වන්නේ මනා අඹුසැමි සබඳතාව යයි. මේ හේතුව නිසාම නිරවුල් දැහැමි ප්‍රසන්න පවුල් ජීවිතය ගොඩනැංවීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබ ඇත.

මෙලොව දී පමණක් නොව පරලොව දී ත් එකම අඹුසැමි යුවළ එකතු වන තරමට යුග දිවිය ප්‍රසන්න වීමට නම් ,දෙදෙනාම සමාන ගුණ නුවණින් යුක්ත වියයුතු බව බුදු දහමෙහි සඳහන් වේ. අඹුසැමි දෙදෙනාම ශ්‍රද්ධාවෙන් ,සිල්වත් භාවයෙන්, පරිත්‍යාගශීලීත්වය, හා ප්‍රඥාවන්ත භාවයෙන්, සමාන ස්වභාවයක සිටියොත්… ඔවුනොවුන් මෙලොවදීත් පරලොවදීත් හමුවන අධ්‍යාත්මික පරිසරයක් සකස් වන බව පඨම සමජීවි සූත්‍රයේ සඳහන් වෙයි. එබඳු අධ්‍යාත්මික ගැලපීමක් ඇතිවන යුවලකගේ එක්ව විසීම බුදුදහමෙහි සඳහන් වන්නේ දෙවියකුගේ හා දෙවඟනකගේ සහ වාසයක් ලෙසයි .

අඹුසැමියන් දෙදෙනා ගත කරන්නේ දුසිරිතට බරවූ දුස්සීල වූ මසුරු මල සහිත වූ ජීවිතයක් නම් ,ඒ දෙදෙනාගේ සහවාසය මළ මිනිසකු මල ගැහැනියක සමග එකතු වීමක් වැන්න.

පුරුෂයා දුස්සීල වූ මසුරු වූ කෙනෙකු වුවද කාන්තා ව සදාචාරසම්පන්න පරිත්‍යාගශීලී තැනැත්තියක් නම් එතැන ඇත්තේ මළ මිනිසකු සමග දෙවඟනකගේ එකතුවකි.

සදාචාර සම්පන්න පරිත්‍යාගශීලී පුරුෂයෙකු සමග දිවියේ දුසිරිතෙහි යෙදුණු මසුරු වූ කාන්තාවක් නම් එහි ඇත්තේ මල ගැහැනියක සමග දෙවියකුගේ සහවාසයකි.

දෙදෙනාම සදාචාර සම්පන්න නම් පරිත්‍යාගශීලී නම් නිවැරදි දැක්මක් ඇති අය නම් එය දෙවියෙකුගේ දෙවඟනකගේ එකට විසීමකි. පඨම සංවාස සූත්‍රයේ මේ බව වඩාත් පැහැදිලිව දක්වා ඇත .

අඹුසැමි මනා සබඳතාවය සඳහා එම යුවළගේ චරිතවත් බව සහ පරිත්‍යාගශීලීත්වය පමණක්ම ප්‍රමාණවත් නොවේ ඔවුන් ඔවුන්ට ඉටුවිය යුතු දෑ එම දෙදෙනා ගෙන් ම මනා ගෙන්ම මනා ලෙස ඉටු විය යුතුය එසේ ඉටු විය යුතු කරුණු මොනවාදැයි ඉතා පැහැදිලිව සිඟාලෝවාද සූත්‍රයෙහි දී සඳහන් කරයි ඒ අනුව සැමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු කරුණු 5කි. බිරිඳගෙන් සැමියාට ඉටුවිය යුතු කරුණු 5කි .

මුලින්ම සැමියාගේ යුතුකම් පහ ගැන සලකමු….

1.බිරිඳට ගරු කිරීම (සම්මානනය)
2.අවමන් නොකිරීම (අන ව මානනය )
3.පරදාර සේවනය නොකිරීම (අනති චරියාව )
4.ඇයට නිවසෙහි වගකීම පැවරීම (ඉස්සරිය වොස්සග්ග )
5.ඇදුම් පැළඳුම් සපයාදීම (අලංකාරානුප්පදාන)

බෞද්ධ සමාජයෙහි බිරිඳ සැලකෙන්නේ ස්වාමියාගේ දෙවැන්නිය හෙවත් සහකාරිය ලෙස මිස ඔහුගේ වැඩකාරියක් ලෙස නොවේ. එබැවින් ඇයට හිමි ගෞරවය ලැබෙන ලෙසත් ඇය අවමන් නොවන ලෙසත් ක්‍රියා කිරීම ස්වාමියාගේ යුතුකමක් ලෙස සලකයි. එම ලක්ෂණය ස්වාමියාගේ හැසිරීමෙන් මෙන්ම කතාබහින් ද පිළිබිඹු විය යුතුය.

දෙදෙනා අතර සාමය සමගිය නැති වී යුග දිවිය අවුල් වන ප්‍රධාන කාරණයක් වන්නේ ඔවුනොවුන් අතර තබා ගත් විශ්වාසයන් කඩකර අනාචාරයෙහි හැසිරීමයි. එනිසා පුරුෂයාගේ අනතිචරියාව ඔහු බිරිඳට කරන සැලකීමකි.

නිවසක සියලුම වගකීම් ස්වාමියා අත පමණක් රඳවා ගත් විට බිරිඳ ස්වාමියාගේ සහ දරුවන්ගේ සේවිකාවක පමණක් බවට පත්වෙයි.ඇයට නිතරම හැඟෙන්නෙ ඇය පිටස්තර තැනැත්තියක ලෙසයි. තමා ද පවුල ගොඩ නැංවීමට දායක විය යුතු බවට බිරිඳට හැඟීමක් ඇති වන්නේ ඇයට වගකීම් කොටසක් පැවරුණ විටයි. වගකීම් පැවරීම ස්වාමියාගේ යුතුකමක් ලෙස දැක්වෙයි.

සාමාන්‍යයෙන් පුරුෂයන්ට වඩා කාන්තාවෝ අලංකාර වස්ත්‍රාභරණ සහ පිට වපසරියට රුචිකත්වයක් දක්වයි. එය අවබෝද කරගෙන ක්‍රියා කිරීම ස්වාමියාගේ යුතු කමයි .එබැවින් සරල චාම් ජීවන රටාවක ට ද හානියක් නොවන පරිදි කාන්තාවකට අත්‍යවශ්‍යම වස්ත්‍රාභරණ සපයාදීම ස්වාමියා සතු කාර්යයක් ලෙස සැලකේ.

මෙසේ බිරිඳ වෙනුවෙන් සලකන ස්වාමියා කෙරෙහි අනුකම්පාවෙන් යුතුව තම යුතුකම් ඉටු කිරීම බිරිඳගේ කාර්යභාරයයි .ඇගේ අනුකම්පාව ප්‍රකට වන්නේ ඇය ස්වාමියා කෙරෙහි පිළිපදින ආකාරය අනුවයි .බිරිඳගෙන් ස්වාමියාට ඉටුවිය යුතු කරුණු 5ක් සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇත .
එනම්….

1.ගෙදරදොර සෑම කටයුත්තක්ම මනා ලෙස සංවිධානය කිරීම (සුසංවිහීත කම්මන්තා)
2.නිවස හා සම්බන්ධ පිරිසට මැනවින් සංග්‍රහ කිරීම (සුසගහිත පරිජනා)
3.පරපුරුෂ සේවනය නොකිරීම (අනති චරියා)
4.උපයන ලද ධනය රැක බලා බලාගැනීම (සම්හතං අනුරක්ඛති )
5. සෑම කටයුත්තක් ම දක්ෂ ලෙස අනලසම දක්ෂ ලෙස අනලස්ව ඉටුකිරීම (දක්ඛාව හෝති අනලසා සක්ඛ කිච්චේයු)

ගෙදර දොර වගකීම බිරිඳකට පැවරූ විට ඇයට අයත් කටයුතු මනා ලෙස සංවිධානය නොවන්නේ නම් ,එය ස්වාමියා ගේ නොසතුටට හේතු විය හැකි අතර පවුලේ දියුණුවට බාධාවක් වෙයි .

එසේම ස්වාමියාගේ මවුපියන්ට නිවසේ සේවක සේවිකාවන්ට හා නිවසට පැමිණෙන අයට ප්‍රියමනාප ලෙස සැලකීම බිරිඳගේ යුතුකමකි.එය මැනවින් ඉටු නොවන විට, නිවසෙහි සාමය සතුට නැති වී යයි. ස්වාමියාට සිය නිවස පීඩාකාරී තැනක් බවට නිරන්තරයෙන්ම පත්වෙයි.

එසේ නොවීමට වගබලා ගැනීම බිරිඳගේ යුතුකමකි. බිරිඳ පරපුරුෂ සේවනය නොකිරීම ස්වාමියාට කරන සැලකීමක් වන්නේ එය අසහනයෙන් තොරව සිය කටයුතු කිරීමට ඔහුට අනුබලයක් වන බැවිනි. එසේම ස්වාමියා වෙනත් කාන්තාවන් වෙත යෑම වළක්වා ගැනීමට එය උපකාර වෙයි .ස්වාමියා විසින් හෝ දෙදෙනා විසින්ම උපයනු ලබන වස්තුව අරපිරිමැස්ම කින් හා මනා සැලැස්මකින් යුතුව පරිහරණය කරන්නේ නම්, එය පවුලේ දියුණුවට හේතුවේ.

ඒ සඳහා ධනය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීම බිරිඳගේ පරමවගකීමයි. සැලැස්මකින් තොරව වියදම් කිරීම හා අරපිරිමැස්මෙන් තොරවීම නිසා මතුවන ආර්ථික ප්‍රශ්න ස්වාමියා අසහනයට පත් කරයි. කිසියම් සැමියකු මත්ද්‍රව්‍ය භාවිතය ආදිය සඳහා වියදම් කරන්නේ නම්,එය වෙනස් කරවීමට බුද්ධිමත් ලෙස ක්‍රියාකරන බිරිඳ එයින්ද කරන්නේ පවුලේ ආර්ථික තත්ත්වය සුරක්ෂිත කිරීමයි.

මේ සෑම කටයුත්තක්ම කළ හැක්කේ අලස නොවී ඕනෑම කාර්යයක දක්ෂ ලෙස නියැලෙන බිරිඳටයි. එබඳු බිරිඳ ස්වාමියාට මනාපචාරිනියකි. ප්‍රියමනාප ලෙස හැසිරෙන්නියකි.

අඹුසැමියන්ගේ මෙම අන්‍යෝන්‍ය සුහදතාවය සහ යුතුකම් ඉටු කිරීම පදනම් කරගත් පවුල් ජීවිතය අතිශය ප්‍රසන්න එකක් බවට පත් වෙයි. එහි ප්‍රසන්න තාවය වැඩි කරගැනීමට අවශ්‍ය තවත් වටිනා උපදෙස් ද බුදු දහමෙහි සඳහන් වෙයි .
එනිසාම පවුල් ජීවිතයක් සකස්කර ගැනීමට හා මනා සේ පවත්වා ගැනීමට බුදු දහමෙන් ලැබී ඇති පිටුවහල අනන්ත අප්‍රමාණ සේ දැකිය හැකිය .

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X