Temples of Sri Lanka

ලාංකේය ජනතාවට ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ ආශීර්වාද එක්කරයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේදී 2022 වසරේ ජුලි මස 06 වැනි දින, තමන් වහන්සේගේ 87 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ද්විභාෂා බෞද්ධ සම්මන්ත්‍රණයක් සංවිධානය කළ ශ්‍රී ලාංකේය ආධ්‍යාත්මික සහෝදරත්වයට ප්‍රණාමය පුද කරනු පිණිස ශුද්ධෝත්තම දලයි ලාමා මාහිමිපාණන් විසින් නිකුත් කරන ලද පණිවුඩයේ, සිය දයාව සහ කරුණාව පැහැදිලිවම විද්‍යමාන කොට ඇත.

මනුෂ්‍යත්වය, මානසික සාමය සහ සතුට සමීප කරගැනීමට ලෝක සත්ත්වයාට උපකාර කිරීම දලයි ලාමා හිමියන්ගේ ඒකායන පරමාර්ථය වන අතර උන්වහන්සේ විශේෂයෙන් භාරතයේ ප්‍රමුඛ අධ්‍යාත්මික ගුරුවරයකු වන ශාන්තිදේව හිමියන්ගේ උඩෘතයක් ද දක්වමින්, “අරමුණු විරහිත ජීවින් වෙසෙන තාක් කල් එවැනි අරමුණ රහිතවුන්ගේ දුක දුරලීම වෙනුවෙන් මට ද සිටිය හැකිය” යනුවෙන් දක්වා ඇත. ඔහු මෙම වරණය පිළිබිඹු කරනුයේ සිය හැඟීම් සහ තමන්ගේ සෙසු මිනිසුන්ගේ දුක් වේදනා දුරු කිරීම වෙනුවෙන් සිය හදවතේ ගැඹුරට මුල් බැස ඇති අවශ්‍යතාවය ය. ‘අරමුණක් නැති ජීවින්’ යන්නෙන් නොවරදවාම උන්වහන්සේ අදහස් කරනුයේ තම ජීවිතයේ ඉලක්කය පිළිබඳව අවිනිශ්චිතව සිටින මිනිසුන් සහ හුදෙක් ජීවත්වීම පමණක්ම සඳහා පැවැත්මක් ඇති කර ගන්නට උත්සහ ගන්න පුද්ගලයින් මෙන්ම සදාකාලික දුකටපත් වූ මනුෂ්‍යයන් පිළිබඳවය. තව දුරටත් උන්වහන්සේ  මෙසේ ද ප්‍රකාශ කර ඇත : “අප්‍රමාණ වු සංවේදී ජීවීන්ගේ අවශ්‍යතා ඉටුකළ හැකි සෑම ස්ථානයකම උපත ලැබීමට මට දැඩි අධිෂ්ඨානයක් ඇත” යනුවෙනි. සදාකාලික දුක් වේදනා මත වෙසෙන, අරමුණක් නැති මාවතේ ගමන් කරන මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට උන්වහන්සේගේ ඇති දැඩි කැපවීම මෙම ප්‍රකාශයෙන් නැවත වරක් සඵත කෙරෙනු ඇත.

උන්වහන්සේ  සිය පණිවිඩය ඔස්සේ වැඩිදුරටත් බුදුදහමේ මූලික සංකල්පය වන ‘ප්‍රිතීමත්, සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා සෑම කෙනෙකුගේම වගකීම’ පිළිබඳ අවධාරණය කරයි. ‘සාමකාමී මනසක්’ නැමැති අඩිතාලම මත පදනම් වූ අන්‍යෝන්‍ය සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් මෙහෙයවෙන සාමය සහ සමාදානය පිරුණු ලොවක් බලාපොරොත්තු වීම බුදු දහමේ මූලික සිද්ධාන්තය වන අතර එය ශුද්ධෝත්තම දලයි ලාමා හිමියෝ ද තම ජීවිතයේ ඉලක්කය ලෙස ප්‍රකාශ කරමින් අවධාරණය කරති. මෙම මූලධර්ම සහ ප්‍රතිපත්ති මත උන්වහන්සේට සමස්ත ලෝකවාසීන්, දේශපාලන නායකයින් සහ ආගමික නායකයින් කෙරෙහි විශාල බලපෑමක් එල්ල කිරීමට හැකි වී ඇත.

ජාත්‍යන්තරව පිළිගත් වන්දනීය බෞද්ධ ආධ්‍යාත්මික නායකයෙකු ලෙස උන්වහන්සේ සාර්ථකත්වයට පත්කරගත් අනෙකුත් ප්‍රතිපත්තීන් වූයේ; අවිහිංසාව සහ කරුණාව පෙරදැරිකොටගෙන මිනිසාට සේවය කිරීම, පුද්ගල මානසික සතුට සහ නිදහස ඇති කිරීමයි.

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ උන්වහන්සේගේ පණිවිඩයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මේ මොහොතේ දී පත්ව ඇති අසීරූතාවයන්ගෙන්  මිදී  වඩා යහපත් අනාගතයකට ප්‍රාර්ථනා එක් කරන අතර මෙම කරදරකාරි තත්ත්වය ඉක්මනින් පහව ගොස් ශ්‍රී ලංකාවාසී ජනතාවට සාමය සතුට සහ සෞභාග්‍යය ලැබේවායි ආශිර්වාද කරති.

චීන කොමියුනිස්ට් පාලනයට නතුවීමෙන් තම මව්බිම අහිමි වූ උන්වහන්සේ දශක හයක පමණ කාලයක් ඉන්දියාවේ දේශපාලන රැකවරණය යටතේ ජීවත් වූවත් බෞද්ධ භික්ෂුවකගේ මූලික අරමුණු වෙත යාමට වගබලා ගත්හ. බෞද්ධ භික්ෂුවගේ සජිවී සළකුණ ලෙස 87 වැනි ජන්ම දිනය සමරන උන්වහන්සේට සියලූ රාජ්‍ය නායකයින්, ආගමික නායකයින් මෙන්ම බෞද්ධ සහ බෞද්ධ නොවන ලෝක ප්‍රජාව ද සුබ පැතුම් යොමුකොට ඇති අතර ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ද උන්වහන්සේට උපන් දින සුබ පැතුම් යොමු කරන්නට අමතක නොකළහ.

ලෝක සාමය වෙනුවෙන් සේවය කරන්නටත්, අවිහිංසාව සහ කරුණාව පතුරවන්නටත් උන්වහන්සේ සතුව ඇති  ජවය සහ ජීවගුණය අදටත් වියපත්  වී නොමැත.

ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ  අපවෙත එවු පණිවිඩය පහතින්.

 

You might also like
en English
X
X