Temples of Sri Lanka

අනිත්‍ය මෙනෙහි කිරීම ධර්මයෙන් විමසීමක්

එක් එක් පුද්ගලයාගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන විදිය වෙනස්. ඒත් අපි හැමෝම උත්සාහ කරන්න ඕනෙ ධර්මය පුළුවන් උපරිමයෙන් ජීවිතයට ප්‍රායෝගික ව ගලපා ගන්න. එක එක්කෙනා අනිත්‍ය මෙනෙහි කරන විධි වෙනස්. අපි බලමු උඩට යන පඩිපෙලේ පහළම පඩියේ ඉඳලා ඒක දකින්න පුළුවන් හැටි. මේක තේරුම් ගන්න පහසු වෙන්න අපි උදාහරණයක් අරන්ම බලමු.

අපි හිතමු පාරෙ යද්දි අපි කැමතිම නළුවෙක්ගෙ නිළියකගේ රූපය දැක්වෙන පුවරුවක් තියෙනවා කියලා. මේක සාමාන්‍යයෙන් ධර්මයට නැඹුරු නැති කෙනෙක්ට ඇති කරන්නේ මේ වගේ මනසිකාරයක් වෙන්න පුළුවන්.

‘ෂා.. අන්න කෙල්ලො. කියන්න කිසිම අඩුවක් නෑ. මේක රඟපාන්න කීයක් ගත්තාද දන්නෙ නෑ. හොඳට හම්බ කරනවා ඇති. ඇඳුමෙ ලස්සන. නියමෙට මැච් වෙනවා. මටත් හිටියානම් මෙහෙම කෙනෙක්’ හිතලා හිතලා මෝහයේ ම කිමිදෙන සිත් පරම්පරාවක් තමයි මේ.

ඊට එහා යන පිළිවෙලක් තියෙනවා.

කෙනෙක් හිතන්න පුළුවන් ‘මේ නළුවා නිළිය දැන් කොයි තරම් ලස්සනයිද? ඒත් ඉතින් මේ අයත් ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එකෙන් ගැලවිලා නෑ නේද?’ කියලා. ඒක අර මුල් විදියට හිතලා කෙලෙස් ඇති කරගන්නවාට වඩා හොඳයි. ඒත් නිවනට ළං වෙන අනිත්‍ය මනසිකාරය මීට එහා ගිය එකක්.

දැන් ඊළඟට තව කෙනෙක් මේ නළුවා නිළිය දැකලා මෙහෙම හිතනවා. ඒ නිළිය වයසට යනවා ලෙඩ වෙනවා කියලා හිතුවාට ‘කෙස්, ලොම්, නිය, දත්, සම, මස් කියලා ඒ නිළිය වෙන් කරලා බැලුවාම ඒවා විතරයි නේද තියෙන්නේ. ඒ කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි.. කියලා කොටස් ටික වෙන වෙන ම අනිත්‍යයි වශයෙන් හිතනවා. මෙයා මුල් කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි. මොකද මෙයාගෙ ලෝකෙ ඉන්නෙ නළුවා නිළිය වෙනුවට කුණප කොටස්. ඒකත් නිවනට නම් මදි වෙන්න පුළුවන්.

තව කෙනෙක් හිතනවා. ඒ කෙස් ලොම් ආදී වශයෙන් විමසුවත් තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු ස්වභාව විතරයි නේද කියලා හිතනවා. ඒක අර දෙන්නටම වඩා ශ්‍රේෂ්ඨයි. සම්මුති, නම්, ඝන සංඥා තවත් අත ඇරලා එයා තවත් රාගය යටපත් කරගන්නවා. ඒත් මෝහය දුරු කරන්න මේකටත් වඩා දක්ෂ කෙනෙක් ඉන්නවා.

එයාටත් එක පාරට ඇලීමක් ඇතිවෙලා සිහියෙන් වීර්යයක් ඇති කරගෙන එයා මෙහෙම විමසනවා. ‘මෙතන ඇති කෙනෙක් නෑනෙ. මේ රෙද්දකුත්, ඒ උඩ ඇඳපු තීන්ත ටිකකුත් විතරයිනෙ. මේ රෙද්දත් අනිත්‍යයි. මෙයා දැන් අර තුන් දෙනා වගේ නැති දේවල් ඉන්නවා කියලා හිතාගෙන අනිත්‍යය බලන්නෙ නෑ. ඒ තුන් දෙනාට ම වඩා මෙයා ශ්‍රේෂ්ඨයි. මොකද මේ පුද්ගලයෙක් කියලා දැක්ක නිසායි ඒකෙ අනිත්‍ය වඩන්න, ඇලීම නැති කරන්න සිද්ද වෙන්නෙ. මෙයා එහෙම අල්ල ගත්තෙ නෑ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කුණප කොටස් කිය කියා අල්ල අල්ලා අත හැරීමක් තමයි අනිත් අය කෙරේ. රෙද්දයි තීන්තයි තමයි මාව මුලා කළේ කියලා ඇති තත්වය ඇති අයුරින්ම දකිනවා. මේ තීන්තයි, රෙද්දයි දැකලා මගේ හිතේ ඇතිවුණ සංඥාවයි නළුවා නිළිය කියන්නෙ. ඒකත් අනිත්‍යයි කියලා හිතනවා.

දැන් ඊටත් වඩා දක්ෂයෙක් එනවා. එයා හිතනවා මේ දැන්වීම් පුවරුවේ තියන්නේත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුයි, තීන්ත වලත් එහෙමයි කියලා ඒ ධාතුයි විමසන්නෙ. ඒ නිසා එයා අනිත් අයටත් වඩා කෙලෙස් යටපත් කරන්න දක්ෂයි.

ඊළඟ කෙනා ගැන බලන්න කලින් මේ ටික හිතලා බලමු.

ඒ හැමෝම පවතින දෙයක අනිත්‍යයි මෙනෙහි කරන්න හැදුවේ. ඒක ඒ වෙලාවෙ කාමරාගය යටපත් කරන්න සුදුසුයි තමයි. හැබැයි කාමරාග දුරු කරන්නෙ අනාගාමී ශ්‍රාවකයෙක් වුණාමයි. ඊට කලින් සක්කාය දිට්ඨිය නැති කරන්නයි අවශ්‍ය.

ධර්මයේ කොටසක් තියෙනවා, මේ හයවෙනි කෙනා ඒකටයි දක්ෂ. හේතුවක් නිසා හට ගන්න දේ හේතු නැති වෙන විට නැති වෙන බව තේරුම් ගන්නවා.

ආලෝකයක් ළඟ හිටගෙන ඉන්න කෙනාගෙ හෙවනැල්ල පොළොවට වැටිලා. මේක කාටද අයිති? ආලෝකය කියයි මං නිසා ආලෝකය තියෙන්නේ කියලා, පුද්ගලයා කියයි ඒක මට අයිති කියලා, පොළොවත් කියයි ඒක මගේ කියලා. ඒත් මේකෙන් එක්කෙනෙක්වත් නැති වුණොත් සෙවනැල්ල නැති වෙනවා. ඒ හේතු ටික තියෙනකන් විතරයි හෙවනැල්ල තියෙන්නෙ, ඒ නිසා ඇත කියන්නත් බෑ, නැත කියන්නත් බෑ. ඒක හේතු නිසා තිබිලා හේතු නැති වුණා ම නැති වෙනවා. ඒකෙ අයිතියක් කාටවත් නැහැ. හේතුන් නිසා ඇතිවෙන මේ ඵලය හේතුන්ටවත් අයිති නෑ.

දැන් අර මුල් තුන් දෙනාම මේ හේතුවත් ඵලයත් දැකලා ඉන්නම ඕනෙ. දැන් ඊළඟට හයවෙනි උතුම්ම කෙනා ඉන්නවා. අපි කමටහන් කියලා සක්කාය දිට්ඨිය නැති වෙන විදියටයි වඩන්න ඕනෙ. නැතිනම් කුසල් රැස් වෙනවා මිසක් සෝවාන් වීමට නම් ඒක හේතු වෙන්නෙ නැහැ.

“මම දකින දේක අනිත්‍යය මෙනෙහි කිරීම” සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. උදාහරණයක් බලමු. අපි යම් ශීලයක් සමාදන් වෙලා ඉන්න නිසා මඟ යද්දි දකින සර්පයෙක් මරන්නෙ නැතිව ඉන්නවා කියමු. එයාට මෛත්‍රී කරමින්. දැන් තව කෙනෙක් මෙතනට ඇවිත් ඒ සර්පයාව මැරුවොත් අපිට ද්වේෂයක් එනවා. යටපත් කරපු ද්වේෂය නිසාම වෙන කෙනෙක් කෙරෙහි තවත් ද්වේෂයක් ඇති වෙනවා. මේකට හේතුව මෝහයයි.

අර පුවරුව ම ගමු. ආසම නළුවා නම් ලෝභ හිතක් ඇති වෙනවා. දැන් ඒක මේ කෙනා නැති කරගන්නෙ මෙහෙමයි.

මේ දැන්වීමේ තියෙනවා පෙනෙන ස්වභාවයක්. ඇහැ තියෙන නිසා ඒක පේනවා. පේන ඇහැකුයි, තියෙනවා කියන දේවලුත් තිබුනත් අපිට නොපෙනෙන වෙලාවල් තියෙනවා. අපේ ඇස් ඉස්සරහා වෙන කොයි තරම් රූප තිබුනත් අපි විශේෂයෙන් වෙන් කරලා දැනගන්න දේවල් විතරයි අපිට පේන්නෙ. (උදා: පොතක් කියවද්දි වම් පැත්තෙ පිටුව කියවලා අඬන අපි, දකුණු පිටුව බලද්දි හිනා වෙන්න පුළුවන්. ඒත් වම් පැත්තෙ පිටුව කියවද්දි ඇඩුන ඒ වෙලාවෙම දකුණු පිටුවත් නොතිබුණා නෙවෙයි. ඒත් මනස මුල් වෙලා වෙන්කරලා දැනගන්න දේ ම විතරයි පේන්නෙ. මේකට කියන්නෙ විඥානය කියලා.

ඔබට ලෝකයක් හටගන්නෙ දන්න දෙයක් නිසා විතරයි.

දැන් අපේ කතාවේ දක්ෂම කෙනා හිතන්නෙ, පිටට යන්න කලින්, මේ දැන්වීම් පුවරුව පේන්නෙ, දන්නේ විඥානය හටගත්ත නිසායි කියලා. ඒ නිසයි මට විමසන්න දෙයක් තියෙන්නෙ. දැක්ක දෙයක් නැතිනම් දැක්ක කෙනෙකුත් නෑ. විඥානය අනිත්‍ය නම් ඒ මොහොතෙ හිටපු මමත් අනිත්‍යයි. ඒ අනිත් බාහිර ඒවාත් අනිත්‍යමයි.

දැනගත්ත දේ අනිත්‍යයි. රූපයත් ඇසත් තුන ම අනිත්‍යයි.

බාහිර දේවල්වල අනිත්‍ය දකින්න කලින් දකින විඥානයේ අනිත්‍ය බලමු.

දැන් මේක කියවද්දි ‘මට තේරුණා’ කියලා හිතුවොත්, ඒකත් මේ දැකපු රූපය ගැන ඇතුවුන අරමුණු මගේ කියන සක්කාය දිට්ඨියයි ඇවිල්ලා තියෙන්නෙ.

මේ පුද්ගලයා හයවෙනි කෙනා වගේ ම ඇසත් රූපයත් විඥානයත් නිසා ඇතිවෙන සංඥාව වෙනස් වෙන බවත් ඒ අනිත්‍යයි කියන සංඥාව පවා වෙනස් වෙන බවත් සිහි කරනවා.

තෙරුවන් සරණයි 🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X