දුදනෝද බුදු මග එළි කළහ
දෙව්දත් තෙරනුවන් දුෂ්ඨයා වෙමින් බුදුන් වහන්සේ කතා නායකයා වූ බුදු දහම තුළ අලංකාරය පිණිසත් විස්තරාත්මක ව අවබෝධය සදහාත් හේතු ප්‍රත්‍ය සැපයූවත් බුදුන් වහන්සේ ගේ පාරමිතා ගමන් මග තුළ දාන පාරමිතාවේ සිට උපේක්ෂාව දක්වා පාරමිතා පූර්ණය සදහා හේතු වූයේ දෙව්දත්තර, චිංචිමාණවිකාවලා, අජාසත්තලා, සුප්පබුද්ධලා වැනි මිනිසුන් හැර වෙනයම් පුද්ගලයෝද නැත…. ඒ උතුම් ගමන් මග තුළ වේගයෙන් ගමන් කරන්නට ගෞතම බෝසතුන්ට මෙන්ම මෙතෙක් බුදු බව දිනාගත් බෝසත්වරුන්ට ද, බුදු වන්නට පෙරුම් පුරනා බෝසත්වරුන්ටද මහත් ධෛර්යයක් වන්නේ ඒ ගමන් මග අහුරන්නෝමය.
විටෙක තාඩන පීඩනයෙන් මුසා බසින්, අගෞරව අපහාසයෙන්, පිරිස් බිදීමෙන්, බාධා පමුණුවන එවැනි පුද්ගලයන් සදහා එරෙහි වන්නට දරනා වෑයමම පාරමිතා පූර්ණයයි.
ශාන්තිය පුරන්නට, වීර්යය පුරන්නට, අධිෂ්ඨානය පුරන්නට, ප්‍රඥාව පුරන්නට, මෛත්‍රිය පුරන්නට, උපේක්ෂාව පුරන්නට, ශීලය පුරන්නට මෙන්ම දානය පාරමියක් ලෙස පුරන්නටද මේ අලජ්ජයින්ගේ බාධාව අතිමහත් ලෙස බෝසත්වරුන්ට පිහිටට එයි.
එබැවින් සුමග සමාධියෙහි පාරමී පුරන බෝසත් උතුමන්ටද පීඩා, අපහාස, නින්දා, බොරු ප්‍රචාර දෙන්නෝ එතුමන්ට ද ලබා දෙන්නේ මහත් දිරියකි.
කිව නොහැකි තරම් උදව්වකි.
ඒ පාරමිතා ගමන් මග ජය ගන්නට බෝසත්වරයෙකුට ඒවා අවශ්‍යම බැවිනි. බාධා කරමින් ගමන අහුරන්නට සිතා කරන ඒ ක්‍රියාදාමය වෙන කාට නම් කළ හැකිද? සිල්වත්, පිංවත්, ගුණවත් පිරිසද රහත් බෝධිය පිණිසම පාරමී පුරනවා හැරෙන්නට බුදුවන බෝසතුනට ඒ සදහා කෙසේ නම් උපකාර කරන්නද? එහෙත් එක් සැගවුණු අරුතක් තිබේ…පාරමී පුරන බෝසත්වරු ඒ මග ජය ගන්නේ ඒ සියළු බාධක බිද දමමිනි. අන්තිමේ….. පාරමී පුරන්නට පීඩා කරමින් උපකාරී වූ අලජ්ජයින් අපා ගත වන්නේ තම කය මෝල් ගසක් දැමිය හැකි සිදුරකිනි. කොතරම් ආශ්චර්‍යක්ද? කොතරම් අගේද? පින්වතෙකුට, ගුණවතෙකුට, සිල්වතෙකුට ගමන් කළ නොහැකි සිදුරකින් මේ කය… අපාය දක්වා ගෙන යාමට කොතරම් දක්ෂතාවක් තිබිය යුතුද…
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ උතුම් ගුණ ධර්මයක් ලෙසත්, ප්‍රතිපත්තිමය ජීවන චර්යාවක් ලෙසත් මෛත්‍රීය හඳුන්වා දිය හැකි ය.
භෞතිකමය දියුණුවේ මුදුන් මං පෙතට පියමං කර ඇති මිනිසා නම් වූ උසස් මනසක් ඇති සත්වයා අද භෞතික සැප සම්පත් මතම ගැටී ආධ්‍යාත්මික ගුණ පිරිහීමට ලක් කරගෙන ඇති බව පෙනේ. මොළය දියුණු කර, එහි උච්චතම අවස්ථාවට පත්ව ඇති නමුදු මනසේ දියුණුවක් නම් දක්නට නොමැත. ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රීය, ප්‍රත්‍යුපකාරය වැනි උසස් මානුෂික ගුණාංග අද ක්‍රමක්‍රමයෙන් මතකයෙන් ඉවත් කරගෙන ඇති බව ද පෙනේ.
බුදුරජාණන් වහන්සේ තරම් ලෝක සත්වයාට මෛත්‍රිය කළ උත්තමයෙක් මේ ලෝක ධාතුවේ තවත් නොමැති තරම් ය. උන්වහන්සේගේ නිකැළැල් චරිතයෙහි සෑම තැනකම මෛත්‍රිය නම් වූ උසස් ගුණාංගය ඉස්මතු වී පෙනේ. එම උතුම් චරිතයෙන් ප්‍රකට කළ මෛත්‍රිය කිරීම නම් වූ එම උතුම් ගුණ ධර්මය අද සමාජයට මතක් කර දීම යුතුකමක් ව පවතී.
බුදුරජාණන් වහන්සේ අග්ගික්ඛන්ධෝපම සූත්‍රයේ දී පවා භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ මොහොතක් ගානේ ලෝක සත්වයාට මෛත්‍රිය කිරීම කළ යුතු බවයි. මෛත්‍රිය කිරීමේ ලක්ෂණය වන්නේ සතුරු මිතුරු සෑම දෙනා කෙරෙහි ම මිතුරුදම් විදහා පෑමයි. සමාජයේ යුද ගැටුම්, අඬදබර, කල කෝලාහල, ගහ බැණ ගැනීම් සියල්ලක්ම සිදුවන්නේ මෛත්‍රිය නොකිරීමේ ප්‍රතිඵලයෙනි. තමන්ගේ මව්පියන්, දූ දරුවන්, සොයුරු සොයුරියන්, ඥාතීන් වෙත දක්වන ආකල්පය, අන්‍යයා වෙතත් දැක්වීමට හැකිනම් මොන තරම් වාසනාවක් ද? සියල්ලෝ කෙරෙහි ම එම දෘෂ්ටි කෝණයෙන් බැලිය හැකිනම් පවතින ගැටලු නැති කර ගත හැකි ය.
පළමුව තමන්ට මෛත්‍රිය කර ගත යුතු ය.
මම නිදුක් වෙම්වා
මම නිරෝගි වෙම්වා
මම සුවපත් වෙම්වා
මම දුකින් මිදෙම්වා
මම බුදුන් දකිම්වා
මම නිවන් දකිම්වා
ඊට පසු මෛත්‍රිය කිරීම සෑම දෙනෙක් කෙරෙහිම සමවන ආකාරයෙන් කළ යුතු ය. මව්පිය, දූ දරු, සොයුරු සොයුරියන්, ගුරුවර, සතුරු, මිතුරු මේ ආදී සමාජයේ ජීවත් වන සෑම තරාතිරමකම අය සඳහා මෛත්‍රිය පැතිරවිය යුතු ය. අවසානයේ දී කාම, රූප, අරූප යන සියලු ලෝකවල වෙසෙන්නා වූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, බුදුන් දකිත්වා, නිවන් දකිත්වා යනාදී වශයෙන් මෛත්‍රිය පැතිරවිය යුතු ය. උදෑසන පිබිදී රාත්‍රී නින්දට යන මොහොත දක්වා ම මෛත්‍රිය පැතිරවීම මෙලොව ජීවිතයටත්, පරලොව සැපතටත් හේතුවක් වන්නේ ය. මෛත්‍රිය කිරීමට මිල මුදල් අවශ්‍ය නැත. තම මනසින් අන්‍යයාට යහපතක් වේවා කියා සිතීම පමණක් ම ප්‍රමාණවත් වේ. එය අවංකව කළ යුතු දෙයකි. තවකෙනකු කරනවාට හෝ කියනවාට නොව තම මනසින්ම එහි ඵල විපාක දැන හැඳින කළ යුතු ය.
අවංකව මුළු මානව සත්වයාටම මෛත්‍රිය කර එහි ප්‍රතිඵල සාංදෘෂ්ටික වශයෙන් ලබා ගැනීමට පුළුවන්කමක් ඇත. ගහ කොළවලට පවා මෛත්‍රිය කළ යුතු ය. ගස් කොළන් යනු සතා සිව්පාවුන්ගේ නවාතැනයි. එනිසා ගස්කොළන්, වනාන්තර විනාශ කිරීම සුදුසු නොවේ. ගහක් කපනවිට එම අඩුව නැති වීමට පැළ දහයක්වත් සිටුවීමට සිතට ගත යුතු ය. සතා සිව්පාවුන්, ගස් කොළන්, ඇළ දොළ, ගංගා ආදිය ගැනත් අප සිතිය යුතු ය. ඒවා ස්වභාවධර්මයා විසින් දායාද කළ යාව ජීව ක්‍රියාවලියට හේතු වන උතුම් වස්තූන් බව කිසිම මොහොතක අමතක නොකළ යුතු ය.
සමාජයේ මස් මාංශ අනුභවය ඉහළින්ම සිදුවෙමින් පවතී. මස් මාංශ අනුභව කරනවා යනු එක් අතෙකින් සත්ව ඝාතනයට උරදීමක් නොවේද? කිසිවෙක් මස් මාංශ අනුභව නොකරන්නේ නම් කා වෙනුවෙන්ද සතුන් මරන්නේ? මස් විකිණෙන ප්‍රමාණය අනුවයි, සත්ව ඝාතකයා සතුන් මරන්නේ. මස් මාංශ අනුභව නොකරන්නේ නම් සත්ව ඝාතනය ක්‍රමක්‍රමයෙන් අඩු වනවා නොවේද? මස් මාංශ අනුභවය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන විට සත්ව ඝාතකයා හිතනවා දැන් සතුන් මරා මස් වෙළෙඳාම් කළාට වැඩක් නෑ. මිනිසුන් මාංශ අනුභව කරන්නෙ නෑ. ඊට පසු එම නරක රැකියාව අත්හැර දමා වෙනත් ධාර්මික රැකියාවක් සොයා ගන්නවාට කිසිදු සැකයක් නැත. එතුළින් සත්ව ඝාතකයාත් ධාර්මික රැකියාවකට යොමු වී ධාර්මික පුද්ගලයෙකු බවට පත්වෙනවා නොවේද?
වෙනත් ජාතීන් මස් මාංශ අනුභව කරනවා කියා බෞද්ධයින් ද එය අනුගමනය කරන්නට ගියහොත් සත්ව ඝාතනයට උර දීමක් බව සිහියට නගා ගත යුතු ය. බටහිර රටවල විශාල වශයෙන් මස් මාංශ අනුභව කරන බව නොරහසක් වුව ද බුදු දහම දැන් ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා එම ජාතීන් ද ක්‍රම ක්‍රමයෙන් දහම් මගට පිවිසී එම වැරැදි ක්‍රියාවලින් අත් මිදෙන බවක් දක්නට ලැබේ. ඒ සෑම සත්වයෙකුටම ජීවත් වීමේ අයිතිය ලබා දීම මිනිසාගේ පරම යුතුකම වේ.
අවංකව මෛත්‍රිය කරන්නාට සතා සර්පයාගෙන්වත් හිරිහැරයක්, කරදරයක් නොවනු ඇත. මෛත්‍රිය කිරීමෙන් කායික, මානසික සැනසීම ලබා ගැනීමට පුළුවන. ඒ සඳහා අපට මිල මුදල්, ධන සම්පත් අවශ්‍ය නැත. අපේ මනසින් සත්වයා වෙනුවෙන් අපට බොහෝ දේ කළ හැකි ය. අද වැඩි දෙනෙක් පෙනෙන්නට අන්‍යයාට මෛත්‍රිය කළ ද, නොපෙනෙන මනස තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කුහකකම වැනි අදමිටුකම් පුරවාගෙන ජීවිතය පවත්වාගෙන යනු ඇත. එවැනි අකුසල සිතිවිලි තුළින් කායික මානසික දෙඅංශයම පිරිහේ. මෛත්‍රිය කිරීමේ දී සිතේ ප්‍රභාශ්වර බව උපදී. අප එදිනෙදා ජීවිතය ගත කිරීමේ දී කුරා කුහුඹුවකුටවත් හිංසාවක්, පීඩාවක්, නොවන අයුරින් ජීවත් වීමට වගබලා ගත යුතු ය. බුද්ධ චරිතයෙන් ප්‍රකට වන ඒ මාහැඟි උතුම් ගුණාංගය බෞද්ධ ප්‍රතිපදාවේ ගමන් කරන සෑම දෙනෙක් ම අනුගමනය කළ යුතු ය. “කරණීය මෙත්ත” සූත්‍රය තුළින් නොපෙනෙන ලෝකවල සත්වයින්ට පවා මෛත්‍රිය කරන අයුරු දේශනා කොට ඇත. එම සූත්‍රයේ එක් ගාථාවකින් සඳහන් වන්නේ ‘දයාබර මවක් තමාගේ පුතණුවන් දිවි ඇති තෙක් ආදරයෙන් රැක බලා ගන්නාක් මෙන් සියලු සත්වයෝ ද දුලබ වූ මෙම මිනිස් දිවියේ දී එකිනෙකාගේ ආරක්ෂාවට හා සැනසිල්ලට උපකාර කරන්නෝ වෙත්වා.” යනුවෙනි. පළමුව තමා මෛත්‍රිය සිතක් ඇති කොටගෙන දෙවනුව සත්වයාට උපකාර කිරීමට උත්සාහවත් විය යුතු ය. කෙනෙකුට අන්‍යයා වෙත මෛත්‍රිය කළ හැකි නම් උදව් උපකාර කිරීම එතරම් අසීරු නොවේ. එනිසා පළමුව මෛත්‍රිය සහගත සිතක් පහළ කර ගැනීමට හිතට ගැනීම කාගේත් වගකීම බව සිතට ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ ධර්ම අතර මෙත්තා යනුවෙන් සඳහන් කළේ මෛත්‍රිය කිරීමයි. මහා බ්‍රහ්මයා තුළ පවතින ගුණ හතරක් මව්පියන් තුළ ද පවතින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. එයින් මව්පියන්ගේ (මවගේ) හදවතේ දරුවා කෙරෙහි පළමුව ඇති වන්නේ මෙත්තා නම් වූ ගුණ ධර්මයයි. දරුවා කුසෙහි සිටිද්දීම එම ගුණය වඩා වර්ධනය වේ. මෛත්‍රිය කිරීමෙන් ලැබෙන සුවය, සැනසීම, මිල මුදලින්වත් ලැබිය නොහැකි ය. බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සුත්‍රය තුළින් මෛත්‍රිය කිරීමෙන් ලැබෙන අනුසස් පෙන්වා දී ඇත. එය දෙලොවම සුබ සිද්ධිය සඳහා හේතු වේ.
සුවසේ නින්ද යෑම, සුවසේ නින්දෙන් පිබිදීම, නපුරු සිහින නොදැකීම, සෑම මිනිසෙකුටම ප්‍රිය වීම, දෙවියන් ප්‍රමුඛ යක්ෂ, ප්‍රේත පිසාචාදීන්ටත් ප්‍රිය වීම, දෙවියන් විසින් ආරක්ෂා කිරීම, ගින්නෙන්, වස විසෙන්, අවි ආයුධ වලින් අනතුරකට පත් නොවීම, සිත එකඟ කර ගැනීමට හැකිවීම, මුහුණ පැහැපත් (ලස්සන) වීම හා එම ආත්මයේ දී ම රහත් විය නොහැකි වුවහොත් මෛත්‍රී ධ්‍යාන උපදවාගෙන මරණින් මතු බඹලොව ඉපදීම ය.
මෙම ප්‍රතිඵල සාංදෘෂ්ටික වශයෙන් ලැබීම සඳහා අවංකව මෛත්‍රිය වැඩීම ප්‍රගුණ කළ යුතුය. සෑම සත්වයෙකුටම සුවසේ ජීවත් වීමට මෛත්‍රිය ගුණ බලය ඉවහල් වේවායි ද ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි🙏🙏🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood