Temples of Sri Lanka

අන්තර්ජාතික පාලි හා සංස්කෘත භික්ෂු හුවමාරු වැඩසටහන ඉන්දියාවේ සෙරා-ජේ ආරාමයේ දී අතිසාර්ථක ලෙස ආරම්භ කෙරේ

ශුද්ධෝත්තම 14වැනි දලයි ලාමා වහන්සේගෙ සංකල්පනාවකට අනුව බෞද්ධ විද්වත් සහයෝගීතාවය සහ සංස්කෘතීන් අතර වන හුවමාරුව සැමරීමක් ලෙස දෙවැනි වරටත් සිදු කරන්නට යෙදෙන අන්තර්ජාතික පාලි හා සංස්කෘත භික්ෂු හුවමාරු වැඩසටහනෙ හි ආරම්භක ශාස්ත්‍රීය සැසිය 2024 ජනවාරි මස 07 වැනි දින ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බයිලකුප්පේ හි පිහිටි සෙරා ජේ ආරාමයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. මෙම භික්ෂු හුවමාරු වැඩසටහන සඳහා ලෝකයේ විවිධ බෞද්ධ රටවලින් විද්වත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කරවා තිබූ අතර, ශ්‍රී ලංකාවෙන් ද භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් ඒ සඳහා වැඩම කරවූහ. එහි දී එම භික්ෂූන් වහන්සේලා තෝරා පත් කරගැනීමෙ හි පටන් හුවමාරු වැඩසටහනට සහභාගී කරවීම දක්වා ද ආහාර, නවාතැන් ආදී සියලු පහසුකම් සඳහා සියලු කාර්යයන් හා දායකත්වයන් දරන ලද්දේ බෞද්ධ සහෝදරත්ව පදනම විසිනි. මෙම සහභාගී වූ සියලු භික්ෂූන් වහන්සේලාට එය පරිවර්තනීය අත්දැකීමක් වනු නොඅනුමාන ය.

ඉන්දියාවේ කර්ණායක ප්‍රාන්තයෙ හි පිහිටි සේරා බෞද්ධ ආශ්‍රම සංකීර්ණයෙ හි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම හුවමාරු වැඩසටහන සඳහා ගාඩෙන් ෆොන්ටැන් පදනම, අන්තර්ජාතික බෞද්ධ මහා සමුළුව (IBC), ටිබෙට් නිවස (Tibet House)ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථානය-සිංගප්පූරුව (Tibetan Buddhist Centre-Singapore) යන සංවිධාන ද සංවිධානය කාර්යයන් හි දායකත්වය සපයයි. ශුද්ධෝත්තම ගාඩෙන් ට්‍රී රින්පොච් හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා අනුග්‍රහයෙන් පවත්වන්නට යෙදුණු සමාරම්භක සැසියෙ හි මූලාසනය දරන ලද්දේ සෙරා-ජේ ආරාමයෙ හි ප්‍රධාන විහාරාධිකාරී හිමියන් ය. තායිලන්තය, ඉන්දියාව, ටිබෙටය ආදී රටවලින් ද සම්භාවනීය සංඝ රත්නය ඊට වැඩමවා වදාළහ. මෙහි දී මූලික අභිප්‍රාය වූයේ ගෝලීය වශයෙන් විසිරී ඇති සංඝ සමාජය තුළ එකමුතුභාවය වර්ධනය කිරීම කෙතරම් වැදගත් ද යන්න ලෝකයට අවධාරණය කිරීමයි.

බෞද්ධ ලිඛිත සම්ප්‍රදාය තුළ ප්‍රධාන භාෂා ද්විත්වය වන්නේ පාලි සහ සංස්කෘත භාෂාවන් ය. මෙම හුවමාරු වැඩසටහනෙ හි දී ශ්‍රී ලංකාව හා තායිලන්තය පාලි සම්ප්‍රදාය නියෝජනය කරන අතර, ඊට සමගාමීව ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේ ලා සංස්කෘත සම්ප්‍රදාය නියෝජනය කරයි. මෙම භාෂාවන් මඟින් ආරක්ෂා වූ බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ ඥානය මෙහි දී හුවමාරු වනු ඇත. එමෙන්ම මෙම සම්මිශ්‍රණය මඟින් ආධ්‍යාත්මික ගවේෂණයන් සහ විවිධ සංස්කෘතීන් පිළිබඳ අවබෝධයන් භික්ෂූන් වහන්සේලා ලබනු ඇත.
එපමණක් නොව විවිධ සංස්කෘතීන් හා සම්ප්‍රදායන් හි දර්ශන බෙදා ගැනීමට,අධ්‍යයනයට මෙය මනා වේදිකාවකි.

මෙලෙස භාෂා හා සංස්කෘතීන් ඉක්මවා කල්පවතින එකමුතුභාවයක් හා සහයෝගීත්වයක් ඇති කිරීම පිළිබඳ අන්තර්ජාතික පාලි හා සංස්කෘත භික්ෂු හුවමාරු වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත. මෙවැනි වැදගත් වැඩසටහන් හි ගාමක බලවේගය ලෙස ක්‍රියා කරන්නෙ බෞද්ධ සහෝදරත්ව පදනමයි. බෞද්ධ ප්‍රඥාව හා සම්ප්‍රදායන් හි සුසංයෝගය ගෝලීයව ව්‍යාප්ත කිරීමට දායක වන බෞද්ධ සහෝදරත්ව පදනම බෞද්ධ ප්‍රජාවන් අතර බැඳීම් ශක්තිමත් කරන, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීත්වය පිළිබඳ හැඟීම් නිරන්තරයෙන් ජනිත කරවයි.

           

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X