Temples of Sri Lanka

බිනර මහේ පෝදා වරුණ

සිංහල නාදෙන් කිවතොත් මේ බිනර මහේ ,වස්සාන සමයට අයත් බිනර පෝය.. ගිහි පැවිදි කාහටත් ආධ්‍යාත්මික ගුණධර්ම වැඩිදියුණු කර ගැනීමට ඉතාමත් යෝග්‍ය කාලයක් වශයෙන් දක්වන්නට පුලුවන්.

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් රැසක් සිදවූ පොහොය දිනයකි. බිනර පොහොය උදා වන්නේ වස්සාන කාලයේදී වීමද විශේෂත්වයකි.

විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා බණ භාවනා කිරීමට අමතරව තෙලෙස්ධුතාංග වැනි වෘත සමාදන්ව කටයුතු කරන විට, සරත් ඍතුවේ ආරම්භය ද මෙම පොහොය දිනයෙන් ආරම්භ වනවා.

මෙම පොහොය දින සිදුවූ ශාසනික වැදගත්ම කාර්ය ලෙස කාන්තාවන් හට විමුක්තිය ලබා ගැනීමට පැවිදි උපසම්පදාව ලබා ගැනීමට හැකිවීම සඳහන් කල හැකියි.

භාරතීය බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට නිසි තැන නොලැබුණු අතර එම සමාජයේ කාන්තාවක් ඉපදීම ද අභාග්‍යසම්පන්න දෙයක් ලෙස සැලකින. ඒ අනුව කාන්තාව එම සමාජය තුළ හිංසාවට, පීඩාවට ලක්විණ. ඒ අනුව කාන්තා නිදහසේ උපරිම ඵලය නෙළා ගැනීමටත් කාන්තාවන් හට විමුක්තිය උදාවුණේ බිනර පුන් පොහෝ දිනකය.

බුදුරජාණන් වහන්සේගේ සුළු මවුන් වන මහා ප්‍රජාපති ගෝතමිය ශාක්‍ය කෝලිය දෙපිරිසටම අයත් කුලකාන්තාවන් පන්සියයක් පිරිවරා ගොස් බුදුන් වහන්සේගෙන් පැවිදි වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප වුණා. ඉන් අධෛර්යයට පත් නොවූ ගෝතමිය ආනන්ද හිමිගේ මැදිහත්වීමෙන් කාන්තාවන්ට පැවිදි වීමට අවස්ථාව ලබා දෙන ලෙස මතක් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආනන්ද හිමියන් බුදුන් වහන්සේ සමඟ කතා කර ගෝතමියට මහණ වීමට අවස්ථාව උදා කර ගැනීමට අවකාශය ලබා දුන්නා. එහිදී අෂ්ට ගරු ධර්ම පිළිගැනීමට කැමැති නම්, කාන්තාවන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි බව බුදුන් වහන්සේ දේශනා කළා. ආනන්ද හිමි එය ගෝතමියට පැවසීමත් සමඟ එය ඉතා ගෞරවයෙන් පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන්, කාන්තාවන් හට පැවිදි වීමට අවස්ථාව උදා අද වැනි වූ බිනර පුන් පොහෝ දිනකයි.

බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබෙන සේරුවාවිල මංගල සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේද බිනර පුන් පොහෝ දිනක ය. එසේ ම තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතුන් නිදන් කොට ගිරිහඬු සෑය ඉදි කිරීම සිදුව ඇත්තේ ද අද වැනි වූ උතුම් බිනර පොහෝ දිනක ය.

මහියංගණයේ පෙරහර උත්සවය සිදු කරන්නේ ද මෙම බිනර පුන් පොහොය දිනයේයි.

රජගහ නුවර වේලුවනයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි අවස්ථාවක ළමයින් පිරිසක් මහා කාශ්‍යප හිමියන්ට කැවුම් පූජා කිරීම නිමිති කරගෙන… එම ළමා පිරිස මුල් කරගෙන ධර්ම දේශනා කරන අවස්ථාවේ කෙනෙක් ජනප්‍රිය වීමට, ගෞරවයට භාජන වීමට හේතුවන කාරණා පහක් පැහැදිලි කර ඇත. එම කරුණු පහ වර්තමාන සමාජයේ අප කාහටත් එකසේ ප්‍රයෝජනවත් වන ඒවා ලෙසද සඳහන් කල යුතුයි.

විශේෂයෙන් මනාපය යනු, නායකත්වය බලාපොරොත්තු වන සැමට ඉතා වැදගත් වේ.

1. පළමු වැනි කාරණය වන්නේ සිල්වත් බවයි. කය, වචනය දෙක සංවර කරගෙන ශීලාචාරීව ජීවත් වන්නේ නම්, එවන් පුද්ගලයා කා අතරත් ජනප්‍රිය ගෞරවයට පාත්‍ර වන බව යි.

2. දෙවැන්න මනා දර්ශනයක් ස්ථිරසාර වැඩපිළිවෙළක් ඇතිව කටයුතු කරන්නකු විය යුතුය. අනාගතයේ ඉලක්කයක් ඇතිව ක්‍රියා කරන්නකු විය යුතුය. ‘දස්සන’ යන්නෙන් අදහස් කළේ එයයි.

3. තෙවැන්න ‘ධම්මට්ඨං’ යන දැහැමි ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, තනතුර ආදිය බලාගෙන තම ප්‍රතිපත්ති පාවා නොදෙන, ඍජුව කටයුතු කිරීම මෙයින් අදහස් කෙරේ. එවන් පුද්ගලයාට ගෞරවය, මනාපය, නායකත්වය ලැබීමට හැකිය.

4. හතර වැනි කාරණය වන්නේ සත්‍යවාදී වීමයි. නොසඟවා ඇත්ත කතා කරන බොරුව, වංචාව, කපටිකම වැනි කූට අදහස් නැති අවංකව, යථාවාදී තථාකාරී ගුණයෙන් යුතුව හෙවත් කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයාට කවුරුත් කැමති වේ. පිළිගැනීමක් ඇත.

5. පස් වැනි කාරණය තමාට පැවරෙන වගකීම් කාර්යභාරය අතපසු නොකර ඉතා මැනවින් කලට වේලාවට ඉටු කිරීම තුළින් ආයතනයක් හෝ සංවිධානයක් හෝ ඕනෑම ස්ථානයක් මනාව පවත්වාගෙන යෑමට හැකි වේ.

එවන් පුද්ගලයන් ආයතන පිළිබඳ රටවැසියාගේ පිළිගැනීම මනාපය ගොඩනැ‍ඟෙන වර්ධනය වන බව කිව යුතුයි. ගැටලු ප්‍රශ්න ඇති වන්නේ කලට වේලාවට තම රාජකාරී වගකීම් නොකිරීම නිසා බව සමාජය පිළිබඳ විමසිලිමත්ව බලන විට පැහැදිලි වේ.

ඉහත කාරණා පහ යමෙක් මනාව අනුගමනය කරන්නේ නම් ඔහුට සමාජයේ ගෞරවය මනාපය හිමිවේ. එවන් උදාර පුද්ගලයකු වීමට අපි සැම අදිටන් කර ගනිමු.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ “චතුරාර්ය සත්‍යය”ද අවබෝධ කර ගත හැකි වන්නේ පුද්ගල සිත අනුවය. උන්වහන්සේ සිත පිළිබඳව සිදු කළ දේශනාවන් අද සමාජයට ඉතා වැදගත් වෙයි. සමාජයේ බොහෝ අකටයුතුකම් සිදු වන්නේ එම ක්‍රියාවන් සිදු කරන පුද්ගලයාගේ සිතුවිලි මතය. වර්තමාන සමාජයේ නොයෙක් අපරාධ වැඩි වී තිබෙන්නේ ඒ අනුවයි. අද දක්නට ලැබෙන අඬ දබර, පුද්ගල ඝාතන, වංචා දූෂණ බොහෝ සෙයින් වර්ධනය වී තිබෙන්නේ ඔවුනොවුන්ගේ පාපකාරී සිතිවිලි නිසාය. ඔවුන් පින් පව් ගැන නොසිතයි. බොහෝ සෙයින් හිතන්නේ එම ක්‍රියාවන් සිදු කිරීමෙන් තමන්ට ලැබෙන සතුට, වාසි පිළිබඳව පමණි. අනිත්‍ය දහම තුළ අප ලබන්නා වූ මේ කිසිවක් ස්ථිර නොවෙයි, තාවකාලික දෙයක් පමණි.

ඒ සඳහා මේ උතුම් බිනර පුන් පොහෝ දිනයේ අප සියලු දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගනිමින් රටට සමාජයට යහපත් පුරවැසියෙකු වන්නට සිත තුළ අධිෂ්ඨාන කර ගත යුතුය.

තෙරුවන් සරණයි !

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X