Temples of Sri Lanka

චර්යා ධර්මයන්හි අවබෝදය කාලීන අවශ්‍යතාවක්..

මනුෂ්‍යයා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් නිසා යැයි කිව හැකිය. එකක් නම් සත්ත්වයන්ට නොමැති බුද්ධි ශක්තියක් මනුෂ්‍යයා සතු වීමය. එම බුද්ධි ශක්තිය වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය වුවත් ඈත අතීතයේ මානව වර්ගයා අන්‍ය සත්ත්වයන් හා සමීපව සිටි අවධියේ මනුෂ්‍යයාත් අන්‍ය සත්ත්වයනුත් අතර වෙනසකට තිබෙන්නට ඇත්තේ ඔවුන්ට වඩා ඉතා ස්වල්ප වශයෙන් වැඩි වූ බුද්ධි ශක්තියක් වූ නිසා බවට සැක නැත. මානව සත්ත්වයාගේ පරිණාමය පිළිබඳ ගවේෂණයන් මගින් දැනට ශේෂ වී ඇති කපාලයන්හි ප්‍රමාණය පරීක්‍ෂා කොට මේ අනුමානය ඉදිරිපත් වී තිබේ. එම අනුමානය ම අනුව අපට සිතිය හැක්කේ මනුෂ්‍ය සත්ත්වයාගේ ප්‍රාථමික මී මුත්තන් වූ සත්ත්වයන් හා අන්‍ය සත්ත්වයන් අතර වෙනසක් නොතිබුණු යුගයක් ද තිබෙන්නට ඇති බවය. ඒ අනුමාන කෙසේ වෙතත් අද දින අප යථාර්ථය ලෙස දකින්නේ මානව සත්ත්තවයා අන්‍ය සියලු සත්ත්වයන් අභිභවා අසහාය බුද්ධි ශක්තියකින් යුක්තව සිටිමින් තම වාසස්ථානය වූ පෘථිවිය පමණක් නොව සමස්ත විශ්වයම තම ග්‍රහණයට හසුකර ගැනීමේ ශක්තියකින් යුතුව සිටින බවයි.

මනුෂ්‍යයා අන්‍ය සත්ත්වයන්ගෙන් වෙසෙසා දැක්වෙන අනෙක් කාරණය වන්නේ ඔහු විසින් ගොඩනඟා ගෙන ඇති චර්යා ධර්ම සමූහය යි. චර්යාව යනු හැසිරීම යි. ධර්මය යනු උසස් යැයි, උතුම් යැයි පිළිගැනෙන තත්ත්වයකි. චර්යා ධර්ම යන්නෙන් අදහස් වන්නේ මනුෂ්‍යයන් විසින් අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි පැවතිය යුතු ආකාරය ගැන පොදුවේ පිළි ගැනීමට පත් කරගෙන ඇති විශ්වාස සමූහයකි.

නොයෙක් සමාජවල පවත්නා චර්යා ධර්ම පද්ධති සංසන්දනය කරන විට ඒවායේ බොහෝ පොදු ලක්‍ෂණ තිබෙන බව පෙනී යයි.

“සමානකම් කොතරම් ද කිවහොත් හැම සමාජයකට ම සාධාරණ වූ චර්යා ධර්ම පද්ධතියක් තිබේ යැයි සිතීමට ඉඩ තිබේ. මුසාවාදය සාවද්‍ය බව හැම සමාජයක් විසින් ම පිළිගනු ලැබේ. ඇතැම් සමාජයක “ප්‍රාණ ඝාතය” යන්නෙහි අර්ථය මනුෂ්‍යයන් මැරීමට සීමාවන බවත් යුද්ධයක දී සතුරන් මැරීම ප්‍රාණ ඝාතය ලෙස නොගැනෙන බවත් පෙනෙන නමුදු පොදුවේ ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් ලෙස හැම සමාජයකම පිළිගනු ලැබේ. මෛථූනය ගැන නොයෙක් අයුරේ තහංචි කවර සමාජයක හෝ වේවා පවතී.

සත්ත්ව ලෝකයේ එබඳු සීමා පැනවී නැත. අසුවල් දේ කිරීම නුසුදුසු ය සාවද්‍යය යනාදී ධර්මමය විනිශ්චයන් එහි ක්‍රියාත්මක නොවේ. අසහාය බුද්ධි ශක්තියකින් යුත් මනුෂ්‍යයා තම බුද්ධිය අධාර්මික සාවද්‍ය නොමනා යනාදි වශයෙන් හැඳින්විය හැකි දේ සඳහා යොදා නොගන්නේ ඔහු චර්යා ධර්ම පිළිබඳ පොදු එකඟතාවට අනුගතව ක්‍රියාකරන හෙයිනි. උදාහරණ වශයෙන් මනුෂ්‍යයා තම බුද්ධි මහිමයෙන් නිපදවා ගත් විෂබීජ ආයුධ හෝ න්‍යෂ්ටික ආයුධ භාවිත කිරීමෙන් වැළකී සිටින අයුරු දැක්විය හැකිය. මේ මූලධර්මය එබඳු ආන්තීය සිද්ධියක් සඳහා පමණක් නොව කුඩා පරිමාණයේ සිද්ධියක් කෙරෙහි ද යෙදවිය හැකි ය. එනම් තමන් අත ඇති බලය අනිසි ලෙස නොයෙදීම හැන්ද තමන් අත ඇති කල තමන්ට වාසිදායක සේ බෙදා ගැනීම ආදී වශයෙනි. සෑම මනුෂ්‍ය සමාජයක ම මේ කාරණය ගැන පොදු එකඟතාවක් ඇතැයි කිව හැකිය.

අන්‍ය සත්ත්වයන් හා සසඳන කල මනුෂ්‍යයා තුළ ඇති මෙම චර්යා ධර්මය විශේෂතාව ආගමික ශාස්තෘවරුන් විසින් ද පෙන්වා දී තිබේ. ආගමික ශාස්තෘවරුන් “ශික්ෂා පද” යනුවෙන් දක්වා ඇත්තේ මනුෂ්‍යයන්ගෙන් අපේක්‍ෂිත චර්යා ධර්ම බව පෙනේ. ශික්ෂා පද අනුගමනය කරන්නෝ මෙලොව හා පරලොව සුගතියට පත්වෙති. නොකරන්නෝ දුගතිය ලබති. එබඳු චර්යා ධර්මයන් ක්‍රියාත්මක නොවන විලෝපන අවස්ථාවන් පිළිබඳ විස්තර ද ඇතැම් විට ආගමික සාහිත්‍යයන්හි දැකිය හැකිය. කලි යුගය- ‘මුරුගසං වර්ෂාව’ වැනි අවස්ථා උදාහරණ වේ.

සමාජය විසින් පිළි ගැනුණු ප්‍රතිමාන හෙවත් චර්යා ධර්ම පද්ධතීන් බිඳ වැටුණු තත්ත්වය සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ අනෝමීය (Anomic) වශයෙනි. මෙම සංකල්පය පළමුවෙන් හඳුන්වා දුන් එමිල් දුර්ඛයිම් සිය ස්වයං ඝාතනය (Suicide) නම් ග්‍රන්ථයෙහි පළකොට ඇති ඇතැම් අදහස් ආගමික ශාස්තෘවරුන්ගේ අදහස්වලට සමාන ය. තිරිසන් සතුන් හුදෙක් භෞතිකමය හෙවත් ශාරීරික අවශ්‍යතාවන් එක එල්ලේ ක්‍රියාත්මක කරන නමුත් මනුෂ්‍යයා ඔවුන්ගෙන් වෙනස් වන්නේ සිතා මතා ක්‍රියා කරන හෙයිනි යි කියන දුර්ඛයිම් මෙසේ ද පවසා තිබේ.

“බැහැරින් කිසියම් බලවේගයක් විසින් පාලනය නොවුණහොත් අපේ හැඟීම්වලට සීමාවක් නැත්තේ ය. එවිට එය ම වධයක් බවට පත් වේ. (එහෙයින්) අපේ තෘෂ්ණාවන් සීමා කළ යුතුව ඇත. ඒවා අපේ හැකියාවන් හා සුසංයෝගී කොට තෘප්තිමත්භාවය ලැබිය හැක්කේ එවිට පමණි. එහෙත් පුද්ගලයාට තම හැඟීම් තමා විසින් ම පාලනය කර ගැනීමේ හැකියාව නොමැති බැවින් එය ඔහුගෙන් පරිබාහිර වූ බලවේගයක් විසින් කළ යුතුව තිබේ. එය ඔහු පැකිලීමකින් තොරව ගරු කරන අධිකාරීත්වයකින් සිදු විය යුතුය. පොදු සාමූහිකත්වයක් වශයෙන් හෝ ස්වකීය සංස්ථාවක් මගින් හෝ මෙම කාර්යය සිදුකළ හැක්කේ සමාජයට පමණකි.”

දුර්ඛයිම් මෙහි ලා විශේෂයෙන් සඳහන් කරන්නේ සමාජයට පුද්ගලයා පාලනය කළ හැක්කේ පුද්ගලයා සමාජයේ විනිශ්චයට ගරුකරන තාක් පමණක් බවයි. ඔහු සමාජයේ විනිශ්චයට බිය නිසා නොව ගෞරවය නිසා කීකරු විය යුතු ය” යනු ඔහුගේ අදහසය.

මෙහි දී අපට සිහිපත් වන්නේ ගුත්තිල කාව්‍යයේ මූසිලට බඹදත් රජතුමා දෙන මේ ඔවදන ය.

ඇතත් සිත අසා
තම දිවි රැකුම උදෙසා
සිටි මව්පිය ලෙසා
නොකිය බස් ගුරුවරුන් වෙසෙසා

ගුරුවරුන්ගේ සිත් නොරිදවිය යුතුය, ඔවුන් කෙරේ අත්‍යන්ත ගෞරවය දැක්විය යුතුය, යන සමාජ සාරධර්මයට අනුගත වන ලෙසටය රජතුමා මූසිලට කියන්නේ. එසේ නැතිව ඔහුට දඬුවම් කිරීමේ තර්ජනයක් නැත. “මිනිසාගේ සුවිශේෂ වරප්‍රසාදය වන්නේ ඔහු අනුගත වන බන්ධනය ශාරීරික නොව සදාචාරමය එකක් වීමයැ”යි පවසන දුර්ඛයිම් එයට මෙය ද එක් කරයි.

“ඔහු තමන් මතට බලහත්කාරයෙන් ආරෝපණය වූ භෞතික පරිසරය විසින් පාලනය වනවා නොව තමන්ට වඩා උත්කෘෂ්ට වූ හෘදය සාක්ෂියකින් පාලනය වන්නේ ය. සමාජ සාරධර්මයන් චිත්තයෙහි තැන්පත් ව පවතින හෙයින් මනුෂ්‍යයාගේ චර්යාවන් ඒ අනුව ක්‍රියාත්මක වනු ඇත. සමාජයක උපදින දරුවන් ක්‍රමයෙන් හැදෙන වැඩෙන විට ඔවුන් සමාජානුයෝජනයට පත්වන්නේ මේ “හොඳ නරක පිළිබඳ සංකල්ප ඔවුන්ගේ සිත්හි තැන්පත් කිරීමෙනි. මෙය ඍජු අවවාද ලෙසින් හෝ අන්‍යයන් නිරීක්‍ෂණයෙන් බැස ගන්නා නිගමන මගින් සිදු වේ.

සමාජ සාරධර්මයන්හි වටිනාකම ප්‍රත්‍යක්‍ෂ වන්නේ ඒවා බිඳ වැටුණු අවස්ථාවක් ගැන මෙනෙහි කරන විටය. දුර්ඛයිම් විසින් අනෝමීය තත්ත්වයක් ලෙස පෙන්වා දී ඇත්තේ ඉහත කී සාරධර්ම මගින් සමාජ පරිපාලනය සිදු නොවන්නා වූ ද හෘදය සාක්ෂියෙහි ග්‍රහණය ගිළිහී ගියා වූ ද අවස්ථාවකි. මෙබඳු තත්ත්වයන් ආර්ථිකය කඩා වැටීම නිසා මෙන් ම ක්ෂණිකව විශාල බලයක් හෝ ධනයක් අත්පත් වීමෙන් සිදුවිය හැකිය.

තෙරුවන් සරණයි 🙏
සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

Home

You might also like
en English
X
X