Temples of Sri Lanka

එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය උදෙසා බුදුරදුන්ගෙන් ආදර්ශ..

 

පණිවිඩ හුවමාරුව හෙවත් සන්නිවේදනය කියන්නෙම ජීවිතේ එදිනෙදා කටයුතු වලදී අපට ඉතා වැදගත් දෙයක්.. සං + නි යන උපසර්ග පූර්ව-විද් (ජානෙන) යන ධාතු මූලයෙන් පරව ‘අන’ යන කෘදන්ත ප්‍රත්‍යය යෙදීමෙන් එය සකස් වී තිබේ… මෙහි තේරුම දැනීම, දැන්වීම, අන්‍යොන්‍යාවබෝධය යනාදී වශයෙන් දැක්විය හැකිය.

සාර්ථක සන්නිවේදන කාර්යයක් සඳහා කරුණු කීපයක් අවශ්‍ය වේ. එහි පළවැනි කාරණය හැටියට යවන්නා සහ පණිවුඩය දැක්විය හැකිය. යවන්නා සහ පණිවුඩය අන්‍යොන්‍ය ප්‍රතිබද්ධය. ‘යවන්නා’ යි කී විට පණිවුඩයත් ‘පණිවුඩය’ යි කී විට යවන්නාත් සාමාන්‍යයෙන් ගම්‍යමාන වේ. එනිසා මේ දෙක වෙනුවට එක වචනයක් වුව ද භාවිත කළ හැකිය. පණිවුඩය කාලීන හෝ සර්වකාලීන අගයකින් යුක්ත විය යුතුය. කෙටියෙන් පැවසුවහොත් එය සෙසු අය දැනගත යුතු වටිනාකමක් ඇති පණිවුඩයක් විය යුතුය. මෙම පණිවුඩය සතු එය ප්‍රදානය කරන පක්ෂය සන්නිවේදනයේදී ප්‍රේරක වශයෙන් ද හැඳින්වේ. දෙවන පක්ෂය වන්නේ ග්‍රාහක පිරිසයි. මොවූහු විවිධ කුල, ශ්‍රේණි, වර්ණ, බුද්ධි, දෘෂ්ටි, දැනුම්, ප්‍රඥා ඇත්තෝ වෙති. ඒ නිසා සන්නිවේදනයේ ග්‍රාහක පක්ෂය අතිශයින් සංකීර්ණ වන අතර ඔවුන්ගේ ප්‍රතිචාරය ද විවිධ විය හැකිය. මේ දෙපක්ෂයට අමතරව පණිවුඩය ග්‍රාහක වෙත ගෙනයන මාධ්‍යයක් ද තිබිය යුතුය. මෙය ද සන්නිවේදනයේ ප්‍රධානාංගයකි. අද වනවිට ලෝකයේ මුද්‍රිත හා විද්‍යුත් යනාදී වශයෙන් විවිධ සන්නිවේදන මාධ්‍යයන් බිහිව ඇත. නමුත් පැරණි කාලයේ සාම්ප්‍රදායික සන්නිවේදන ක්‍රම අතර දේශනයට හෙවත් කථාවට ප්‍රමුඛස්ථානයක් ලැබිණි. ග්‍රාහකයා වෙත පණිවුඩය ගෙනයන ප්‍රධාන මාධ්‍යය වූයේ මෙයයි. මෙහිදී ඔවුනොවුන් දෘෂ්ටි ගෝචර වන හෙයින් ප්‍රතිචාරය ද ඒ වෙලාවෙහිම දැනගැනීමට පිළිවන. මෙය ප්‍රතිපෝෂණය වශයෙන් හැඳින්වේ. මෙම ප්‍රේරක, මාධ්‍යය, ග්‍රාහක, ප්‍රතිපෝෂණය යන සියලු කරුණු එකතු වූ විට සාර්ථක සන්නිවේදන කාර්යයක නිමාව සිදු වේ.

බුදුරදුන් ධර්මය අවබෝධ කළ නිසා මහජනතාවට දීමට පණිවුඩයක් තිබිණි. එම පණිවුඩය හැම අතින්ම වැදගත්ය. ඒ සම්බන්ධයෙන් වූ අවබෝධයේ හෙවත් දැනුමේ කිසිදු අඩුපාඩුවක් නොමැත. එබැවින් සර්වසම්පූර්ණ මිනිසා, සත්ත්වයා, පුද්ගලයා, පරිසරය හා බැඳුණු සකලවිධ අංග ප්‍රත්‍යංගවල යථා තත්ත්වය තේරුම් ගත්හ. වචන භාවිත කිරීමේදී ප්‍රවේශම් වූහ. සත්‍යය වුව ද තව කෙනකුට නොවැටහේ නම් අයථා අයුරින් භාවිත කරමින් ළාමක අධ්‍යාසයන් සපුරා ගැනීමට මඟක් වන්නේ නම් ප්‍රකාශ නොකළහ. එනිසා මුවින් පිටවූ වචන හරවත් සාර්ගර්භ විය. සමස්ත මානව සමාජයටත් ගස්, වැල්, ඇළ, දොළ, ගංගා හිරු එළියාදී පරිසරයටත් හිතවත් විය. ඒ පිළිබඳ උන්වහන්සේ තුළ වූ අවබෝධයද පරිපූර්ණය. එනිසා සරල අවස්ථාවේ සිට ගැඹුරටත්, ගැඹුරුම අවස්ථාවේ සිට සරල අවස්ථාවටත්, මැද සිට අවසානයට හෝ මුලටත් ගමන් කිරීමට පුළුවන් විය. සත්ත්වයන්ගේ ශක්තිය, වාසනා ගුණය හඳුනාගෙන අදාළ පරිසර සාධක ද ඇසුරු කොට ඔවුන් රැගෙන යා යුතු තැනට ගෙනයෑමට හැකි විය. එහිලා සැකයක්, අවිශ්වාසයක්, පසුතැවිල්ලක් නොවීය. එනිසාම ජනතාවගේ පූර්ණ විශ්වාසය දිනාගත හැකි විය. මනා සන්නිවේදකයකු වූ බුදුරදුන් තුළ පැවැති මෙම අවබෝධය කරුණු තුනක් යටතේ සංග්‍රහ කොට දැක්විය හැකිය. එනම්:

ආය කෝසල්ල :
කෙනකුගේ අභිවෘද්ධිය සිදුවන ආකාරය. ඒ සඳහා ක්‍රියා කළ යුතු පිළිවෙත නිරවුල්ව දැනගැනීමේ ශක්තිය හෙවත් කුසලතාව.

අපාය කෝසල්ල:
කෙනකුගේ අනභිවෘද්ධිය සිදුවන කරුණු දැනගෙන ඒවායින් බැහැරව හෙවත් වෙන්වී හසු නොවී ක්‍රියා කිරීමේ ශක්තිය හෙවත් කුසලතාව.

උපාය කෝසල්ල:
අභිවෘද්ධිදායක හා අනභිවෘද්ධිදායක පිළිවෙථෝ මනාව අවබෝධ කරගෙන අවස්ථාථෝචිත පරිදි තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමේ ශක්තිය හෙවත් කුසලතාව යනුයි.

සන්නිවේදකයකු තම කාර්යය මනාව ඉටු කිරීමට නම් ඉහත ආකාරයට සුදුසුකම් සහිත පුද්ගලයකු විය යුතුය. ජනතාවට යා යුතු මඟ පෙන්වා දිය හැක්කේත්, ඔවුන්ගේ විශ්වාසය දිනාගත හැක්කේත් එවිටය.

එකිනෙකට වෙනස් වූ චරිත ගති ස්වභාවයන්ගෙන් යුක්ත වූ ග්‍රාහකයන් ගැන අනවබෝධයෙන් සන්නිවේදන කාර්යය නිසියාකාරව සිදුකළ නොහැකිය. පුද්ගලයා ජීවත් වන සමාජය, ඔවුන්ගේ විවිධ ජීවන ක්‍රම, රැකීරක්ෂා සහ මානසික ස්වරූපය පිළිබඳ අවබෝධය කරුණු අවබෝධ කරවීමට හෙවත් සන්නිවේදනයට අත්‍යවශ්‍ය වේ. බුදුරදුන් තුළ පණිවුඩය සම්බන්ධයෙන් මනා වැටහීමක් පැවතුණු අයුරින්ම ග්‍රාහකයා පිළිබඳව ද මනා වැටහීමක් විය. පුද්ගලයා සතු වටපිටාව ජීවන වෘත්ති සතා සිවුපාවුන් ගහ කොළ ද හඳුනාගෙන සිටියහ. එසේ වුවද පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් හෝ කීර්ති ප්‍රශංසාවෙන් හෝ මිනිසුනට අහිත පිණිස පවතින කිසිවක් නොකළහ. ජීවිතය ගැන කලකිරී ප්‍රශංසාවෙන් හෝ මිනිසුනට අහිත පිණිස පවතින කිසිවක් නොකළහ. ජීවිතය ගැන කලකිරී එය විනාශ කර ගැනීමට කැත්තක් ඉල්ලාගෙන පැමිණි කෙනකුට විස පෙවූ කිනිස්සක් දී විනාශය ඉක්මන් නොකළහ. ග්‍රාහකයාගේ අපේක්ෂාවයැයි භාවාත්මක හැඟීම් කුපිත කරන හැම දෙයක්ම දීමට මෙහිදී උන්වහන්සේ ඉදිරිපත් නොවූහ. සන්නිවේදකයා තුළ ප්‍රඥාවෙන් දැල්වෙන කරුණා, දයා, මෛත්‍රී යන සංකල්පයන්ගෙන් තෙත්ව ගිය මොළයක් සහ හදවතක් පැවතිය යුතුය. එනිසා මිනිසුන් අතර සන්නිවේදකයා සුවිශේෂ කෙනෙකි.

මීළඟට අප සලකා බැලිය යුත්තේ බුදුරදුන් පණිවුඩය ග්‍රාහකයා වෙත දීම සඳහා භාවිත කළ මාධ්‍යය පිළිබඳව ය. උන්වහන්සේ ඒ සඳහා ප්‍රධාන වශයෙන් දේශනය උපයෝගී කරගත්හ. මාධ්‍යය ද සත්ත්වයන් දැනුවත් කිරීමේ ප්‍රාමාණික ගති ලක්ෂණයන්ගෙන් යුක්ත විය යුතුය. බුදුරදුන්ගේ කථනය හෙවත් දේශනයත් සමග නිකුත් වන හඬ අපා, දෙපා, සිවුපා, බහුපා, සත්ත්වයන්ගේ හෘදයග්‍රාහී විය. ගහකොළ පවා එම නාදයෙන් ප්‍රීතියට පත්විය. පණිවුඩය ග්‍රාහකයා වෙත ප්‍රදානය කිරීම සඳහා යොදාගත් මෙම කථන මාධ්‍යය බ්‍රහ්මස්වරය තරම් මිහිරි වූ බව පැවසේ. එය අංග අටකින් සමන්විතය. එනම්:

විස්සට්ඨ (සිනිඳු බව)
මඤ්ජු (මිහිරිකම)
විඤ්ඤෙය්‍ය (පහසුවෙන් වැටහෙන බව)
සවනීය (ඇසීමෙන් තව තවත් රුචිය ඇති කිරීම)
අවිසාරි (අවුල් සහිත නොවීම, පැහැදිලිකම)
බින්දු (ඒකමිතිය)
ගම්භීර (ගැඹුරුකම)
නින්නාද (නාද ප්‍රතිනාද දෙමින් අස්සක් මුල්ලක් නෑර පැතිර යෑම) යනුවෙනි.

බුදුරදුන් සතු වූ මෙම මිහිරි කඩහඬට තරමක් වත් සමාන වනුයේ හිමාලයේ වෙසෙන කුරවිකෙවිල්ලාගේ හෙවත් කුරවීක පක්ෂියාගේ නාදය බව අටුවාචාරීහු පෙන්වා දෙති. මෙම වටිනා මාධ්‍යය භාවිතය ගැන ද උන්වහන්සේට මනා අවබෝධයක් විය. ධර්මය දේශනා කරන විට හෙවත් පණිවුඩයක් ග්‍රාහකයා වෙත ප්‍රදානය කරන විට ඇතැම් අවස්ථාවක මහජනතාව අරමුණු කරගත්හ. දසදහසක් සක්වළ අසනු කැමැති දකිනු කැමැති ප්‍රාණීන්ට ඇසෙන හා පෙනෙන පරිදි පණිවුඩය ප්‍රදානය කළහ. ඇතැම් විටෙක සන්නිවේදනය පරිමිත විය.

රැස්ව සිටින පිරිසට පමණක් දෘෂ්ටි ගෝචර හා ශ්‍රව්‍යගෝචර විය. නූතන සන්නිවේදකයන්ට ද මෙම කාරණා වැදගත් වේ. මාධ්‍යයේ බාධක පැවතියහොත්, මාධ්‍යය භාවිතය මනාව පුරුදු පුහුණු නොකළහොත් විශේෂයෙන් වගකීම මැනවින් භාර නොගතහොත් සන්නිවේදන කාර්යය දුර්වල වේ.

අඩුපාඩු සහිත වේ. එමෙන්ම ග්‍රාහකයා නොමඟ යෑමට ද පුළුවන. ඒ අනුව පණිවුඩය ග්‍රාහකයා මාධ්‍යය යන අංග පිළිබඳ මනා අවබෝධය මිනිසා දැනුවත් කිරීමට මහෝපකාරී වෙයි. මෙහිදී මාධ්‍යය භාවිතය ගැන විශේෂයෙන් අවධානය යොමු කිරීම වැදගත් වේ. මිනිස්සු භින්න රුචිකත්වයෙන් යුක්ත වන බැවින් ද ඔවූහු විවිධ චරිතස්වභාවයන්ගෙන් සමන්විත වන බැවින් ද විවිධත්වයට කැමැති වෙති. ඒකාකාරිත්වයට අකැමැති වෙති. ඒ අනුව සන්නිවේදකයා ද වෙනස් විය යුතුය. බුදුරදහු මෙය මනාව අවබෝධ කළහ. උන්වහන්සේගේ දේශනා විවිධ ස්වරුප ගෙන ඇති බව පෙනේ. එකම ආකාරයට කරුණු ඉදිරිපත් කොට නැත. ඒවා පහත ආකාරයට අපට දළ වර්ගීකරණයකට භාජන කළ හැකිය.

ඒකංස ව්‍යාකාරණ
පටිපුච්ඡා ව්‍යාකාරණ
විභජ්ජ ව්‍යාකාරණ
අට්ඨුප්පත්ති ව්‍යාකාරණ
ඨපනීය ව්‍යාකාරණ

වශයෙනි. බුදුරදුන් තම සිතැඟි පරිදි ප්‍රශ්න නඟමින් ඒවාට පිළිතුරු දීම් වශයෙන් කළ දේශනා ප්‍රථම ගණයට අයත් වේ. මෙහිදී ප්‍රශ්න අසන්නා හා පිළිතුරු දෙන්නා බුදුරදුන්ම වේ. ධම්මචක්කප්පවත්තනාදි බොහෝ සූත්‍ර මේ ගණයට ඇතුළත් කළ හැකිය.

පටිපුච්ඡා යනුවෙන් දැක්වෙන්නේ කෙනකුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම හෝ කෙනකුගෙන් ප්‍රශ්න ඇසීම, ඒවා විමර්ශනයට භාජනය කිරීම, යන ක්‍රමයට සංවාදශීලී අයුරින් ධර්මය සාකච්ඡා කිරීමයි. සොණදණ්ඩ, පොට්ඨපාද වැනි සූත්‍ර මෙහිලා නිදසුන් සේ දැක්විය හැකිය.

විභජ්ජ යනුවෙන් දැක්වෙන්නේ බෙදා වෙන් කරමින් කරනු ලබන දේශනාය. සංගීති, සලායතන, විභංගාදි සූත්‍ර මීට ඇතුළත් කළ හැකිය. ධර්ම කරුණු ක්‍රමානුකූල පිළිවෙළකට සංග්‍රහ කිරීමක් මෙහිදී දැකිය හැකිය. උද්ග්‍රහණ ධාරණ දෙකට පහසු බවක් මින් සැලසේ.

කිසියම් හේතුවක්, කාරණයක් මුල්කරගෙන කළ දේශනා අට්ඨුප්පත්ති යනුවෙන් දැක්වේ. බුදුරදුන්ගේ දේශනා අතර විශාල ප්‍රමාණයක් මීට ඇතුළත් කළ හැකිය. බුදුරදුන් අනුගමනය කළ අපූරු සන්නිවේදන ක්‍රම මෙම සූත්‍ර තුළ දැකිය හැකිය. දිනක් බුදුරදහු පස් ස්වල්පයක් තම නියපිට තබා නියපිට වූ පස් වැඩි ද? එසේ නොමැති නම් පෘථිවියේ ඇති පස් වැඩි දැයි අසති. එවිට භික්ෂූන් පෘථිවියේ පස් වැඩි බව දැක්වූ පසු එය එසේ බව තහවුරු කොට චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපාගත වන මිනිසුන් ද එසේම අධික බව උන්වහන්සේ වදාරති. මෙසේ සරල උපමා භාවිතය හෙවත් මිනිසාට පළපුරුදු භෞතික පරිසර සාධකQ ආධාර කරගෙන දහම් කරුණු සන්නිවේදනය කිරීම උන්වහන්සේගේ සුවිශේෂ සන්නිවේදන උපක්‍රමයකි. කසීභාරද්වාජ සූත්‍රය ද මීට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.

මිනිසුන් සමග සාකච්ඡා කරන විට ප්‍රතිඵල රහිත කතා බැහැර කෙරිණි. ඒවා සාකච්ඡා කිරීමෙන් පුද්ගලයාගේ මෙලොව හෝ පරලොව අභිවෘද්ධියක් සිදු නොවේ. කාලය විනාශ කර දැමීම සිදුවේ. එබඳු අර්ථ ශූන්‍ය කතා කළත් ප්‍රයෝජනයක් නැති දේ ඨපනීය වශයෙන් හැඳින්විය හැකිය. මේ අනුව බුදුරදුන් නිතර අදාළ සුදුසුම දේ කතා කළ බව අපට මැනවින් වැටහේ. විවිධ දෘෂ්ටීන්ගෙන් හිස පුරවාගෙන සිටි පඬිවරු බුදුරදුන් හමුවේ ඒ නිෂ්ප්‍රයෝජන සියල්ල බැහැර කොට දැමුණු පුද්ගලයන් බවට පත්වූහ. එසේ සිදුවූයේ යල්පැන ගිය අදහස් වෙනුවට නවතම පණිවුඩයක් ඔවුන්ට ලැබුණු නිසාය. මෙහිදී අපේ විශේෂ අවධානය යොමු කළ යුත්තේ ග්‍රාහකයා කැමැති වන හැමදේම සන්නිවේදකයා දිය යුතු ද යන්න කෙරෙහිය. බුදුරදුන් ඉහත දුන් ආදර්ශයෙන් පැහැදිලි වන්නේ එසේ නොකළ යුතු බවයි. එය මාධ්‍යයේ වගකීම සේ සැලකිය හැකිය. මේ කරුණ සැලකිල්ලට ගෙන බුදුරදුන් කළ ධර්ම සන්නිවේදනය සූත්‍රයක් ඇසුරින් සලකා බැලීම වැදගත් වේ. නූතනයේ ජනසන්නිවේදනය නමින් හැඳින්වෙන සන්නිවේදන කාර්යයට සමාන බුදුරදුන්ගේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව මෙහිදී අවධානයට ලක්කෙරේ.

මෙම සූත්‍රයෙහි පණිවුඩය වන්නේ කාමසුඛල්ලිකානුයෝගයත් අත්තකිලමථානුයෝගයත් අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීම තුළින් චතුරාර්ය සත්‍යය හෙවත් නිවන අවබෝධ කළ හැකි බවයි. මේ කාලය වනවිට කිසිවකුත් මේ පණිවුඩය ලෝකයට දී තිබුණේ නැත. එනිසා මෙය නවතම පණිවුඩයක් විය. එසේම එය සියල්ලන් විසින් දැනගත යුතු ඉතාම වටිනා හරවත් දෙයක් විය. එය මහජනයාට තම තමන් විසින් අවබෝධ කළ යුතු දැන ගත යුතු පණිවුඩයකි. මෙහි ග්‍රාහක පක්ෂය වූයේ පස්වග මහණුන් දෙවිවරුන් බ්‍රහ්මයන් ඇතුළු දසදහසක් සක්වල ප්‍රාණීන්ය. කථන මාර්ගය මාධ්‍යය විය. දේශනාවගේ කෙළවර කොණ්ඩඤ්ඤ තවුසා ආර්ය ශ්‍රාවක බවටත් (අඤ්ඤාකොණ්ඤ්ඤ) දෙවියන් බ්‍රහ්මයන් සහිත සෙසු ප්‍රාණින් සාධුකාර දී ධර්මය පිළිගත් බවටත් සාක්ෂි ලැබේ. ඒ අනුව එතෙක් නොදැනගෙන සිටි දෙයක් දීම තුළින් දැනුම ලබාදී ඇති අතර ඒ සමඟම ආකල්පවල වෙනසක් සිදුවී ඇත. ඊට අනුරූපව කුසලතා වර්ධනය කරගෙන ඇති අතර චර්යාවන්හි වෙනස්කමක් ද සිදුකරගෙන ඇත. සන්නිවේදනයක ප්‍රතිඵලය විය යුත්තේ මෙයයි. සන්නිවේදනය තුළින් මෙම කාර්යයන් ඉටු නොවන්නේ නම් එය සාර්ථක සන්නිවේදනයක් ලෙස අගය කිරීම දුෂ්කරය.

තෙරුවන් සරණයි 🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X