Temples of Sri Lanka

දන් දීමෙන් , පිංකම් සිදු කීරීමෙන් අපේ ප්‍රාර්තනාව සිදු කල යුත්තේ කෙසේද..?

දන් පින් දී භව භෝග සැප සම්පත් පතා අවසානයේ නිවන පැතීම සුදුසුද???

මෙය බොහෝ දෙනාට තිබෙන පැනයක්.

මෙකල පින් කරන බොහෝ දෙනා සිරිතක් වශයෙන් ම භව භෝග සම්පත්ති ය, නිවනය යන දෙක ම පතති.

දෙපැත්ත ම පතා කරන ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට වැටේද? යන බව සැලකිය යුත්තකි.

භවභෝග සම්පත් පැතුවේ ද අවසානයට බෝධිය හා නිවන පතන බැවින් ඒවා පාරමී නො වෙති යි නො කිය හැකිය. එහෙත් ඒවා භව භෝග සම්පත් පිළිබඳ වූ තෘෂ්ණාවෙන් දූෂිත බැවින් ඉක්මනින් බෝධිය කරා, නිවන කරා පැමිණවීමට සමත් කුශලයෝ නො වෙති. ඒ බව පෙර බරණැස් නුවර පසේ බුදු කෙනකුන්ට උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගේ කථාවෙන් තේරුම් ගත යුතු ය.

ඒ මෙසේ දක්වමු..
පෙර මේ කපින් අනූ එක්වන කපෙහි බරණැස් නුවර විසූ සහෝදරයෝ දෙදෙනෙක් උක් කෙතක් වැවූහ. ඔවුන් වැවූ උක් වර්ගය පැණි ගැනීමට නො මිරිකිය යුතු වූ කැපූ තැනින් පැණි සියල්ල ගලා බස්නා වූ උසස් වර්ගයකි. ඒ වර්ගයේ උක් වර්තමාන ලෝකයේ ඇති බව අසන්නට නැත. ඔවුන් දෙදෙනාගන් බාල සහෝදරයා දිනක් උක් කෙත බලන්නට ගොස් හැරී එනුයේ තමාගේ ප්‍රයෝජනයට එකක් ගැනීමට හා වැඩි මහලු සහෝදරයාට එකක් දීමට ද සිතා උක් දඬු දෙකක් ද කපා ගෙන ආවේ ය. ඔහුට අතර මගදී පසේ බුදුවරයන් වහන්සේ නමක් හමු විය. ඔහු පසේ බුදුන්ට පැහැදී උතුරු සළුව එලා එහි උන්වහන්සේ වැඩ හිඳුවා, තමා පිණිස ගෙනා උක් දඬුව ගෙන පැණි ගලා නො යනු පිණිස එය වසා බැඳ තිබූ රෙදි කඩ ඉවත් කොට එහි පැණි පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයට එලවී ය. උක් පැණියෙන් පාත්‍රය පිරී ගියේය. පසේ බුදුන් වහන්සේ එය වැළඳූ කල්හි වඩාත් පහන් වූ සිත් ඇති පුරුෂ තෙමේ “වැඩි මහලු සහෝදරයා මුදල් ගන්නේ නම් මුදල් හෝ පින් ගන්නේ නම් පින් හෝ ඔහුට දෙමි”යි සිතා දෙවන උක් දඬුවේ පැණි ද පසේ බුදුන් වහන්සේට ම පුදා පසඟ පිහිටුවා වැඳ “ස්වාමීනි, මා විසින් යම් අග්‍ර රසයක් නුඹ වහන්සේට පුදන ලද ද, ඒ පිනෙන් දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සම්පත් වළඳා අවසානයේ දී නුඹ වහන්සේ පැමිණි ධර්මයට ද පැමිණෙම්වා”යි ප්‍රාර්ථනය කළේ ය.
ඔහු ගෙට ගිය කල්හි වැඩි මහලු සහෝදරයා “කොහි ගියෙහිදැ?” යි විචාළේය. හේ උක් කෙත බලන්නට ගිය බව හා උක් දඬු දෙකක් ගෙන ආ සැටිත් ඒවා පසේ බුදුන් වහන්සේට පිදූ සැටිත් කියා ‘ඔබ ගේ උක් ගසට මිල ගන්නේහි ද? පින් ගන්නෙහිදැ’යි ඇසීය. වැඩි මහලු සහෝදරයා පසේ බුදුන් වහන්සේ කළ කී දේ විචාර ඔහුගේ උක් ගසේ පැණි පසේ බුදුන් වහන්සේ විසින් අහසින් ගන්ධමාදන පර්වතයට ගෙන ගොස් පන්සියයක් පසේ බුදුවරයන් වහන්සේට දුන් සැටි කී කල්හි, මහත් සතුටට පැමිණි හෙතෙමේ මිළයක් නො ඉල්ලා නොයෙක් දේ නො පතා “තමා මෙ උක්ගස් පැණි දුන් පිනෙන් තමාට ද ඒ පසේ බුදුන් වහන්සේ විසින් දක්නා ලද ධර්මය අවබෝධ කරගන්නට, දක්නට ලැබේවා’යි කෙළින් ම නිවන ප්‍රාර්ථනය කෙළේ ය.
මෙම උක් පැණි දන් දුන් සහෝදරයෝ දෙදෙන ආයු ඇති තාක් සිට මරණින් මතු දෙව්ලොව ඉපද, බොහෝ කලක් දිව සැප වළඳා විපස්සී බුදුන් වහන්සේ ගේ කාලයේදී දෙව් ලොවින් චුත ව, බන්ධුමතී නගරයේ එක් කුලගෙයක වැඩිමහල්ලා වැඩිමහලුව ද, බාලයා බාලව ද උපන්හ. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා “සේන” නම් විය. බාලයා “අපරාජිත” නම් විය. ඔවුන් වැඩිවිය පැමිණ වෙසෙන කල්හි, වැඩිමහලු සහෝදරයා බුදුන්වහන්සේ වෙත දහම් අසන්නට යන්නවුන් හා විහාරයට ගොස් දහම් අසා සසර කලකිරී බුදු සස්නෙහි පැවිදි ව නොබෝ කලකින් ම විදසුන් වඩා සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය.
උක් පැණි දන් දුන් කුශලයේ මූලිකයා වූ බාල සහෝදරයා බොහෝ බණ අසා ද වස්තුකාම ක්ලේශ කාමයන් දුරු කරන්නට නො සමත් වීමෙන් ඒ බුදු සස්නෙහි දී නිවන් දකින්නට නො සමත් විය. හේ ඒ බුදු සස්නෙහි ද බොහෝ පින් කොට නැවත ද දෙව්ලොව උපන. විපස්සී බුදුන් වහන්සේගේ කාලයෙන් කල්ප සැටකට පසු මේ කපින් එක්තිස් වන කපෙහි “සිඛීය, වෙස්සභුය” යි බුදුවරයෝ දෙනමක් ලොව පහළ වූහ. අපරාජිත ඒ බුදුවරයන්ගේ සසුන්වල දී ද නිවන් දක්නට නො සමත් විය.
ඉන් පසු මෙ කප කකුසඳ, කෝණාගම, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූහ. උන් වහන්සේලාගේ සසුන්වලදී ද හේ නිවන් නො ලැබුවේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ සස්න ද ඉක්මී අප බුදුන් වහන්සේ ලොව පහළ වූ පසු උන්වහන්සේ ගේ කාලයෙහි “ජෝතිය” නම් සිටුවරයකුව උපන් අපරාජිත, බුදු සස්නෙහි පැවිදි ව, තමා හා එකට පින් කොට නිවන පමණක් පැතූ සහෝදරයා නිවන් දැක කල්ප අනූවකින් පසු, බුදුවරයන් වහන්සේලාගේ සසුන් පසක් ඉක්ම ගියාට ද පසු, නිවන් දුටුවේ ය. භවභෝග සම්පත් ද සමග නිවන් පතන්නා වූ තැනැත්තාට සසර දික් වන සැටි, ලෙහෙසියෙන් නිවන් නො ලැබෙන සැටි, මේ කථාවෙන් තේරුම් ගත යුතුය.

මෙය දීර්ඝ කථා වස්තුවෙකි. එය විස්තර වශයෙන් දනු කැමැතියන් විසින් දම්පියා අටුවාවෙන් බලා ගත යුතු.
භවභෝග සම්පත් සහිත ව නිවන පතන්නා ගේ කුශලය තෘෂ්ණාව නිසා දුබල වන බැවින් එබඳු පින් කළ තැනැත්තා හට බුදු සස්නක් හමු වූ විටෙක දහම් හඬ ඇසුනේ ද කාමයන් හැර දැමීමට තරම් ශක්තියක් නො ලැබේ.

ඔවුනට නිවන් ලැබීමට කල් ගත වන්නේ එහෙයිනි. භවභෝග සම්පත් නො පැතුයේ ද බෝධිය හෝ නිවන පමණක් හෝ පතා පින් කරන්නා හට අඩුවක් නැතිව භවභෝග සම්පත් ලැබෙන්නේ ය. හේ ලැබෙන භවභෝග සම්පත්වල ඒවා පැතු තැනැත්තන් පමණට නො ඇලෙන්නේ ය. දීමට හා සම්පත් හැර දැමීමට හේ සමත් වන්නේ ය. එබැවින් හේ දන් දීමෙන් උසස් ලෙස භවභෝග සම්පත් ද ලබන්නේය. සුදුසු අවස්ථාව දුටු විට ඒවා හැර පැවිදි වන්නට ද සමත් වන්නේ ය. එබැවින් හේ ඉක්මනින් නිවන් දක්නේ ය.
මෙකල බොහෝ දෙනා පිනක් කළ කල්හි බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේ දී මෙතේ බුදුන් දැක නිවන් දක්නට ද පතති. “පින් කොට පතන හැම දෙයක් ම එසේ සිදුවේය” යන වැරදි හැඟීමක් ද බොහෝ දෙනාට තිබේ. පින් කොට පතන දේවල් සිදුවන්නේ පතන දේ සිදු වීමට තරම් බලයක් ඇති වුවහොත් පමණෙකි. බර කරත්තය මොටෝරියක් යන වේගයෙන් ගමන් කරවිය නො හෙන්නාක් මෙන් දුබල පිනක් කොට මහත් දෙයක් පතා නො ලැබිය හැකිය. එබැවින් පැතූ පමණින් ම මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නො වන බව දත යුතු ය.
පිනක් කොට මෙතේ බුදුන් දැක නිවන් දක්නට පැතූ කල්හි ඒ පිනෙහි එබඳු ශක්තියක් නැති කමින් හෝ යම් කිසි අන්තරායකින් හෝ එය සිදු නො වුවහොත් එයින් ඒ පිනේ බලය ද කෙළවර වී, එය මතු හෝ නිවන් දැකීමට ද හේතු නොවී අහෝසි වී යන්නට ඉඩ තිබේ. එබැවින් මෙතේ බුදුන් ගේ සස්නෙන් නිවන් දක්නට පැතීමට වඩා අනියමින් නිවන පැතීම යහපත් බව කිය යුතු ය.

වර්තමාන ජනයා අතර මේ බුදු සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් ඇති අය ද නැතය යි නො කිය හැකි ය. සමහර විට බොහෝ ඇති විය හැකි ය.

මෙතේ බුදුන් වහන්සේ ගැන ම බලාපොරොත්තු වීම මේ සස්නෙහි ම නිවන් දැකීමට හේතු සම්පත් තිබේ නම් එයින් ප්‍රයෝජන නො ලැබී යාමට ද කරුණෙකි. නිවන් දැකීමට හේතු සම්පත් ඇත ද එය සිදු කර ගැනීමට උත්සාහයක් නො කරන ඒ ගැන බලාපොරොත්තු හැර සිටින තැනැත්තා කරා පින් බලයට ඉබේ නිවන පැමිණෙන්නේ නො වේ. එය ලැබීමට උත්සාහ කළ යුතුය.
චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේට පවා නිවන් දැකීමට සය වසක් දුක් ගන්නට සිදු විය. අන්‍යයන් ගැන කියනු ම කිම? උත්සාහයක් නැතිව, බලාපොරොත්තුවක් නැතිව, සිටින තැනැත්තාගේ හේතු සම්පත්තිය මහ ධන සිටු පුත්‍රයාගේ හේතු සම්පත්තිය මෙන් නිෂ්ඵල වන්නේ ය.

ලාභ කීර්ති ප්‍රශංසා ආදී දේ ගැන අපේක්ෂාවක් නැති ව කරුණාව පෙරටු කරගෙන පින් පවු හඳුන්වා දීම වශයෙන් ධර්මය දේශනා කිරීම ධර්ම දානය වේ.

සත්වයන් නිවන් මග ට පමුණුවමින් ආර්යසත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය යි. බණ නො අසන්නන් ට බණ ඇසීම ට සැලැස්වීම, ධර්ම කථිකයන් ලවා ධර්මය දේශනා කිරීම, බණ පොත් ලිවීම, මුද්‍රණය, මිලට ගෙන පූජා කිරීම, ධර්මය ඉගෙන ගන්නා අය ට පොත්පත් ආදිය සැපයීම ආදී ධර්මයේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය උදෙසා කළ හැකි කිනම් දෙයක් වුව ද,ධර්ම දානය ම වේ.
සියලු දානය අතරින් ධර්ම දානය අග්‍ර වේ.
“සබ්බ දානං ධම්ම දානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බ රතිං ධම්මරතිං ජිනාති
තන්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය සියලු දානයන් දිනන්නේ ය. ධර්ම රසය සියලු රසායන යටපත් කරන්නේ ය. ධර්මයේ ඇලීම සියලු ඇලීම් යටපත් කරන්නේ ය. තණ්හාව ක්ෂය කිරීමෙන් සියලු දුක් යටපත් කරන්නේ ය.

තෙරුවන් සරණයි…!🙏

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

You might also like
en English
X
X