Temples of Sri Lanka

සාර්ථක යුග දිවියකට මඟ හෙළි කරන බුදු වදන

සමාජයක ජීවත් වන්නන් අතරින් සසර එතෙර වීම සඳහා උත්සාහ කරන්නේ ඉතා ස්වල්ප දෙනෙක් .බොහෝ දෙනෙකු එම සංසාර ජීවිතය ප්‍රිය කරනවා .

ඒ බව…

අප්පකා තේ මනුස්සේසු
යෙ ජනා පාර ගාමිනෝ
අථා යං ඉතරා පජා
තීර මේවානු ධාවතී

යන ධම්මපද පාඨයේ සඳහන්ව පවතී. සංසාරික ජීවිතය දුක බව බුදු සමය අවධාරණය කළ ද සංසාරයේ සැරිසරන මිනිසාට එම කාලය තුල සිය සමාජයීය ජීවිතය පවත්වාගෙන යාමට මනා උපදෙස් රැසක් ම බුදු සමයේ දැක්වේ.

මෙහිදී සමාජයේ මූලික ම ඒකකය වන පවුලක ආරම්භය සිදුවන විවාහය ,සාර්ථකව ගත කිරීමට ,සදූපදේශ ගණනාවක් බුදු සමයේ දක්නට ලැබේ .

සමාජ සංස්ථාවන්ගේ ප්‍රභවය, පරිණාමය ගෙනහැර දක්වන දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ශරීරයන්හි රමණීයත්වය ලිංගික ආකර්ශනයට පදනම් වූ අයුරුත්, කාම චේතනාව නිසා ස්ත්‍රී – පුරුෂ ඇසුර ඇතිවී පවුල නම් වූ ප්‍රභාව ඇතිවන ආකාරයත් මෙම සූත්‍රයේ මනාකොට දේශනා වී තිබේ .

ඒ අනුව විවාහ ජීවිතය තුළ දී අඹුසැමියන් ගැලපෙන ආකාරය අනුව වර්ග හතරක පවුල් ජීවිත ඇති බව බුදුසමය පෙන්වයි.

දේව පුත්‍රයකු දෙව්දුවක සමඟ විසීම

දේව පුත්‍රයකු මළ මිනියක සමග විසීම

මළ මිනියක් දෙව් දුවක සමඟ විසීම

මළමිනියක් මළමිනියක් සමග විසීම

මෙහිදී දේව යන්නෙන් සදාචාරවත් විනීත පුද්ගලයන් ද, මළමිනිය යන්නෙන් පහත් චරිත ඇති නො දැහැමි පුද්ගලයන් ද හඳුන්වා ඇත.

මෙහි සාර්ථකම විවාහ දිවිය වන්නේ දේව පුත්‍රයකු දෙව්දුවක සමඟ විසීම යි.

වධකයකු වැනි
හෙරක් වැනි
අධි පතිනියක වැනි
මවක් වැනි
නැගණියක් වැනි
මිතුරියක සම
දාසියක වැනි

යන මෙම භාර්යාවන් අතරින් මුල් තිදෙනා ඉතාමත් අයෝග්‍ය බව ද, පසු හතර දෙනදෙනා යහපත උදා කරන්නියන් බව ද දේශනා කර ඇත.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී ,විවාහ දිවිය සාර්ථක කරගැනීමට ස්වාමිපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම ඉටු කළ යුතු යුතුකම් දේශනාකර ඇත. ඒ අනුව කුල පුත්‍රයා විසින් සිය භාර්යාව සඳහා ….

ගරු කිරීමෙන්
අවමන් නොකිරීමෙන්
භාර්යාව නොඉක්ම වීමෙන්
ඓශ්චර්යය පැවරීමෙන්
ආභරණ ගෙන දීමෙන්

යුතුකම් ඉටු කළ යුතු අතර , මෙලෙස සංග්‍රහ ලබන භාර්යාවක විසින් සිය සැමියාට ඉටුකළ යුතු යුතුකම් ද මෙසේ දක්වා තිබේ .

එනම් ….

කර්මාන්ත මනාකොට සංග්‍රහ කිරීමෙන්

පිරිවර ජනයාට මනාකොට සංග්‍රහ කිරීමෙන්

නො ඉක්මවා හැසිරීමෙන්

රැස් කළ දේ රැකීමෙන්

හුදු මහත් කටයුතු වල අනලස්ව කටයුතු කළ යුතුය.

මෙලෙස දෙදෙනාගෙන් අනෙකාට විය යුතු යුතුකම් ඉටුකිරීම තුළින් එම දෙදෙනාගේම අයිතිවාසිකම්ද තහවුරු වන අතර එමගින් එම පවුල වඩාත් ශක්තිමත් ලෙස බැඳෙයි. එසේම මෙහිදී බිරිඳ සැමියාට කීකරු ව සිටින අතරම සැමියා බිරිඳට නිවසේ ඓශ්චර්ය භාර දී තිබේ. මෙමඟින් ,විවාහය ගෞරවය හා ප්‍රේමය මත පදනම් වූ චර්යා මාර්ගයක් විනා ප්‍රමුඛස්ථානය පිණිස වන තරගයක් නොවන බවද අවබෝධ කරගත හැකි බව පෙන්වා දී ඇත.

විවාහ දිවිය ගත කරන පතිනියන් විසින් පිළිපැදිය යුතු උපදෙස් රැසක් විශාකාවගේ පියා විසින් විශාඛාවට ප්‍රකාශ කර ඇත.

ඇතුළත ගිනි පිටතට නොදෙන්න
පිටත ගිනි ඇතුලට නොදෙන්න
දෙන්නන්ට දෙන්න
නො දෙන්නන්ට නොදෙන්න
දෙන්නන් ටත් නො දෙන්නන් ටත් දෙන්න
සුවසේ හිඳින්න
සුවසේ සැතපෙන්න
සුවසේ හිඳගන්න
පිරිමසන්න
ඇතුළු ගෙයි දෙවියන් පුදන්න

විශාඛාව මෙම කරුණු මනා කොට පිළිපැදීම නිසා, ඉතා සාර්ථක වූ ගිහි දිවියක් ගත කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි .

බුදුරජාණන් වහන්සේ “උග්ගහ මෙන්ඩුක නත්තු” සූත්‍රයේ දී මෙවැනිම සදුපදේශ ගණනාවක් දේශනා කළ සේක.

මනා කොට සිය යුතුකම් ඉටු ඉටු කරමින් ගත කරන විවාහ දිවිය බුදුරජාණන් වහන්සේගේ ඇගයීමට ලක්ව ඇත. එවැනි අවස්ථාවක් ලෙස නකුල මාතා නකුල පිතා යුවළ මහත් සේ ප්‍රශංසා කොට ඔවුන් “පරම විස්සාසිකා” හෙවත් ඉතා කුළුපග පෙම්වත්තු ලෙසින් ගෞරවාදරයට පත් කිරීමෙන් පෙනී යයි .

මනා විවාහ දිවියක් ගත කරන්නන් දෙවියන්ගේ පවා වන්දනාමානයට පාත්‍ර වන බව ශක්‍රදේවේන්ද්‍රයා මනුලොව වන්දනාමාන කරමින් ප්‍රකාශ කළහ .

යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තා උපාසකා
ධම්මේන ධාරං පොසෙන්ති
තං නමස්සාමි මාතලී

මාතලී නම් ගෘහස්ථ සිල්වත් උපාසකයෙක් පින්දහම් කරමින් තම පවුල ධර්මානුකූලව පෝෂණය කරයි . මම ඔහුට වඳිමි .මෙලෙස යහපත් ලෙස පවුල් දිවිය ගත කරන්නන් බුදුරජාණන් වහන්සේගෙන් ද දෙවියන් ගෙන් ද ප්‍රශංසා ලබා තිබේ.

යහපත් වූ පතිනිය පිළිබඳව යශෝදරා තෙරණිය පිරිනිවන් පෑමට පෙර මෙසේ ප්‍රකාශ කළ සේක ….

මෙලොව යහපත් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකුගේ විවාහය, රථ චක්‍ර දෙකේ සම වූ යෝගයෙන් සමග ගමන් කරන රථයක් වැනියහ. එහෙයින් සමාදහස් ලැබිය යුත්තාහ. යහපත් පතිනිය විසින් තම සැමියාට අවංකව ආදරය කළ යුතුය. දෙවියන් සත්ගුරු සේ මවුපියන් සේ සිතිය යුත්තාහ. පුරුෂයන්ට අනාදරය කළා වූ ස්ත්‍රිහු එම පවින් අපාගත වන්නාහ.

පුරුෂයින්ට ආදරය කළා වූ ස්ත්‍රීන් ඒ පිනින් සුගතියෙහි උපදින්නේය. මේ සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා සදූපදේශ රාශියක් බුදුසමය විමර්ශනය කරන කොට ගෙන ලද හැකි බවයි.

මෙමගින් යහපත් ජීවිතයක් ගත කිරීමට හොඳ මඟ පෙන්වීමක් ලබා දී තිබේ. මෙයින් පෙනී යන්නේ, විවාහය සදාචාර ධර්ම ප්‍රගුණ කිරීමට තෝතැන්නක් කර ගත හැකි බව ත් එබඳු විවාහය බුද්ධාදී උතුමන් විසින් පසස්නා ලද බවත් ය .

විවාහ දිවියට පත් බෞද්ධ සහෝදරත්වය සමග රැඳී සිටින ඔබ අප බැඳුණු මේ බැම්මත් සමග තව තවත් ජීවිතේ සාර්ථකත්වය කරා ඉදිරියට පිය මැනීමට දහම් කරුණු මඟින් ඔබ පොහොසත් කිරීම අප සතු බෞද්ධ සත්කාර යයි .ඒ බව වටහා ගත් නිසාම , ඔබ වෙනුවෙන් බෞද්ධ සහෝදරත්වයෙන් ඔබට පිදූ තවත් ජීවිත සත්කාරයක් ..

You might also like
en English
X
X