Temples of Sri Lanka

ගනේෂ් චතුර්ති මහෝත්සවය අදයි

ගනේෂ් එනම් ගණපති දෙවිඳුන්ගේ උපන්දිනය වන ගනේෂ් චතුර්ති දිනය අද ඉන්දියාවේ මෙන්ම ලොව පුරා වෙසෙන බැතිමතුන් විසින් සමරනු ලබයි.

මෙම උත්සවය ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන අතර එය ඉන්දියාවේ ප්‍රධාන වශයෙන්ම සමරනු ලබන්නේ මහාරාෂ්ට්‍ර, ගුජරාට්, ගෝවා, මධ්‍ය ප්‍රදේශ්, කර්නාටක සහ තෙලන්ගානා ඇතුළු ප්‍රාන්තවල ය.

ගනේෂ් දෙවිඳුන්, ධනය, විද්‍යාව, දැනුම, ප්‍රඥාව සහ සමෘද්ධිය යන අංශ සඳහා ප්‍රකට දෙවියන් ලෙස හඳුන්වන අතර ඕනෑම වැදගත් කටයුත්තක් ආරම්භ කිරීමට පෙර බොහෝ හින්දු භක්තිකයින් ගනේෂ් දෙවියන් සිහිපත් කර ආශිර්වාදය පතන්නේ එබැවිනි.

ගනේෂ් දෙවියන්, විග්නහර්ත, විනායක, ගජානන වැනි විවිධ නම් 108 කින් හඳුන්වයි.

ගනේෂ් චතුර්ති, විනායක චවිති යනුවෙන්ද හැඳින්වේ . එය හින්දු උත්සවයක් වන අතර එය සෑම වසරකම දින 10 ක් තිස්සේසමරනු ලබයි. උත්සවය සාමාන්‍යයෙන් හින්දු දින දර්ශනයට අනුව අගෝස්තු මාසයේ මැද සිට සැප්තැම්බර් මාසය දක්වා සැමරේ.

ගණපති දෙවියන්ට යාඥා කරන බැතිමතුන්ගේ ප්‍රාර්ථනාවන් හා ආශාවන් ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයිද විශ්වාස පවතී. ගනේෂ් චතුර්ති මහෝත්සවයේ ප්‍රධාන හරය නම්, ඔහුට යාඥා කරන බැතිමතුන් පාපයෙන් නිදහස් කරවීමට දෙවිඳුන් උදව් කරන අතරම බැතිමතුන් ගේ දැනුම වර්ධනය හා ප්‍රඥාවේ මාවතට යොමු කරයි.

මෙම ඓතිහාසික උත්සවය ශිවාජි රජුගේ කාලයේ සිට සමරනු ලබයි. ලෝකමාන්‍ය තිලක් විසින් ගනේෂ් චතුර්ති උත්සවය සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයින්ට එකට එකතු වී යාඥා කර එක්සත් විය හැකි නිදහස් උත්සවයක් බවට පත් කළේ ඉන්දියාවේ නිදහස් අරගලයේදී ය. වසර ගණනාවක සිටම ඇතිවූ අධ්‍යාපනික හා ගුණාත්මක සංවර්ධනයත් සමගම ගනේෂ් චතුර්ති උත්සවය සැමට පොදු උසස්ම ආකාරයෙන් පරිසර හිතකාමී ලෙස හා මිත්‍රශීලී ලෙස සමරන්නට පටන් ගත්හ. ස්වාභාවික මැටි වලින්(මිට්ටි) සෑදූ ගනේෂා පිළිමය සහිත තොරණ අලංකාර කිරීම සඳහා මල් සහ ස්වාභාවික දේ පමණක් භාවිතා කිරීම වැනි පරිසර හිතකාමි අංග ද මෙයට ඇතුළත් කරන ලදී.

දින 10 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවය තුළ සිදු කෙරෙන ප්‍රධාන චාරිත්‍ර හතරකි. ඒවා නම්

ප්‍රාණප්‍රතිෂ්තා

ෂෝඩශෝපචාරා

උත්තර්පූජා

ගණපති විසාර්ජන් ය.

ගනේෂ් චතුර්ති උත්සවය ආරම්භ වීමට සති කිහිපයකට පෙර සිටම සෑම පෙදෙසක්ම උත්සවශ්‍රීයෙන් ඇළලී යයි. කලා ශිල්පීන් විවිධ ඉරියව් වලින් සහ ප්‍රමාණයන්ගෙන් යුත් ගනේෂාගේ මැටි පිළිම සකස් කිරීමට පටන් ගනී. නිවෙස් වල, පන්සල් වල හෝ ප්‍රදේශ වල මනරම් ලෙස අලංකාර කර ඇති තොරණක ගනේෂා පිළිම සවි කර ඇත. පිළිමය මල්, මල් මාලා සහ විදුලි පහන් වලින් ද සරසා ඇත. එමෙන්ම ප්‍රාණප්‍රතිෂ්තා නම් චාරිත්‍රය අතර තුර පූජකවරුන් විසින් ජීවිතයේ විවිධ අවස්ථා උදෙසා මන්ත්‍ර ස්තෝත්‍ර ගායනා කරනු ලැබේ.

විවිධ ආකාර 16 කින් ගනේෂ දෙවිඳුගේ පිළිමයට යාඥා කෙරේ. මෙම චාරිත්‍රය හැඳින්වෙන්නේ ෂෝඩශොපචාරා යනුවෙනි.

බැතිමතුන්ගේ ආගමික ගීත ගායනයෙන් හා වාදනයෙන්, බෙර පද තාලයට නැටීමෙන්, රතිඤ්ඤා පත්තු කිරීම වැනි දෙයින් මෙම උත්සවශ්‍රීය තවත් වැඩි වේ. පසුව උත්තරපූජා චාරිත්‍රය සිදු කෙරෙන්නේ ගනේෂ් දෙවිඳුන්ට හද පිරි ගෞරවයෙන් සමු දීම සඳහාය.

ගනේෂ් ප්‍රතිමාව ජලයේ ගිල්වා තබන උත්සවයක් වන ගණපති විසාර්ජන් උත්සවය සිදු කෙරෙන්නේ ඉන් පසුවය. ප්‍රතිමාව මුහුදට ගෙන යන විට සහ එය ගිල්වීමේදී මිනිසුන් සාමාන්‍යයෙන් මරාති භාෂාවෙන් ගායනා කරන්නේ ‘ගණපති බාප්පා මෝර්යා, පූර්ච්‍යා වර්ෂි ලෞකාරියා’ යන ගීතාවලීන් ය. එහි අර්ථය වන්නේ ‘සුභ ගමන් ස්වාමීනි, කරුණාකර ලබන වසරේ ආපසු එන්න’ යන අරුතයි.

සමහර බැතිමතුන් මෙම උත්සවය නිවසේදී සමරන අතර තවත් සමහරු පොදු ස්ථාන වලට ගොස් ගනේෂ් දෙවියන් බැහැදැක පුද පූජා පවත්වති. මිනිසුන් ගනේෂ් දෙවිඳුන් ට නිසි ගෞරවය, යාඥා සහ පූජා ඔප්පු සිද්ද කරති. මෙහිදී ගනේෂ් දෙවියන්ගේ ප්‍රියතම කෑම වර්ග වන,මෝදක්, පූරන් පොලි සහ කරන්ජි වැනි කෑම වර්ගද, තමන්ගේ මිතුරන් , පවුලේ අය සහ අමුත්තන් සඳහාද සූදානම් කිරීම සිදු වෙයි.

           

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X