Temples of Sri Lanka

හිතුවොත් බැරිද … මේවායින් මිදෙන්න…..

පෙර සිටම පැවතෙන නින්දා …ප්‍රශංසා …

“පෝරාණ මෙතං අතුල
නෙතං අජ්ජතනාමිව
නින්දන්ති තුන්හිමාසිනං
නින්දන්ති බහු භාණිනං
මිතභාණිනම්පි නින්දන්ති
නත්ථි ලෝකේ අනින්දිතෝ ”

අතුල ය, මේ නින්දා ප්‍රශංසා දෙක අද පටන් ගත් දෙයක් නොවේ. එය පෙර සිට පැවත එන පැරණි සිරිතකි. නිහඬව සිටින්නාට ද නින්දා කරති. බොහෝ සේ කතා කරන්නාට ද නින්දා කරති. පමණ දැන ස්වල්පයක් කතා කරන්නාට ද නින්දා කෙරෙති. ලෝකයෙහි නින්දාවක් නොලබන කෙනෙක් නැත්තේ ය .

කෙනෙකුට වරෙක යහපත් ලෙස පෙනෙන දෙය තව මොහොතකින් අයහපත් අහිතකර දෙයක් ලෙස වැටහෙනු ඇත. කෙනෙකු කෙරෙහි පැහැදී ඔහුගේ ක්‍රියාවන්ට ප්‍රශංසා කරන පුද්ගලයා තවත් අවස්ථාවක ඔහුට අවඥාවෙන් නින්දා කරන්නට පෙළඹෙයි. මෙය මැනීම ඇතිතාක් ලෝකය තුළ පවත්නා ධර්මතාවක් ය .

මිනිසා සිතුවිලිත් සමග ඔහුගේ නිගමනයන් හා පිළිගැනීම් මොහොතකින් මොහොතක් පාසා වෙනස් වීමට භාජනය වෙයි. විශේෂයෙන් මෙහි දී මේ වෙනස්වීම් ඇති වන්නේ පුද්ගලයා සෑම දෙයක් සම්බන්ධයෙන්ම තමා මුල්කොට මැනීමක් කරන්නට යෙදෙන බැවිනි. වෙනත් පුද්ගලයෙකුගේ ක්‍රියාවකින් තමාට වාසියක් යහපතක් අත් වූයේ නම් එය හොඳ දෙයක් ලෙස සලකා ඔහුට ප්‍රශංසා කිරීමට එම පුද්ගලයා ඉදිරිපත් වේ. අයහපතක් හෝ අවාසියක් සිදුවී නම් නොවළහා එම පුද්ගලයාට නින්දා කිරීමටද ඔහු ඉදිරිපත් වන්නේ නිරායාසයෙනි.

මේ අනුව සමාජය තුළ ඒ ඒ කරුණු සම්බන්ධයෙන් පවතින මැනීම් , පුද්ගලයාගේ ආකල්ප අනුව ඇති කරගත් ඒවා මිස සර්ව සාධාරණ වූ ඒවා නොවන බව පැහැදිලි වෙයි .

“මම” යන ආත්මාර්ථකාමී හැගීම අන්තගාමී ලෙස දැඩිව අල්ලා ගත් බොහෝ පුද්ගලයින්ට මිනිස් සිතුම් පැතුම් දෙස සානුකම්පිතව බලන්නට තරම් සාධාරණ අදහස් පහල නොවෙයි. මේ නිසාම ඔවුහු තමා පසුපස ගමන් කරමින් උසස් භාවයට පත්වන සෑම කෙනෙක් දෙසම ඊර්ෂ්‍යාවෙන් හා කුරිරු හැඟීමකින් බැලීමට තරම් පහත් තත්ත්වයකට ඇද වැටී ඇත. බොහෝ විට කෙනෙකු තවත් කෙනෙකුට නින්දා කරන්නේ ඔහු තුළ ඇතිවූ නින්දා සහගත පහත් සිතිවිල්ල නිසාමයි .

ලෝක තුළ යථාර්ථය සොයා එය මැනවින් අවබෝධ කොටගෙන ලෝක සත්ත්වයාගේ යහපත පිණිස ගම් නියම්ගම් හි හැසිරෙමින් බුදුරජාණන් වහන්සේ එම ශ්‍රේෂ්ඨ සත්‍යය දේශනා කරන විට විචාරශීලි භාරතීය ජනතාව උන් වහන්සේ වටා රොක් වන්නට වූහ.

මෙය එවකට ශාස්තෘන් වහන්සේ වශයෙන් පෙනී සිටි නොයෙක් දෙනාගේ ලාභ ප්‍රයෝජන සහ කීර්ති ප්‍රශංසාවට මහත් තර්ජනයක් ද විය. මේ නිසා ඔවුහු නොයෙක් උපක්‍රම යොදා බුදුරජාණන් වහන්සේට නින්දා කිරීමට ප්‍රයත්න දැරූහ .

සුන්දරිය නම් රූමත් කාන්තාවක් දීර්ඝකාලීන කුමන්ත්‍රණයකින් පසුව මරා ජේතවනාරාමය පිටුපස වළදමා පසුව ගොඩ ගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතිව සිදු වූවක් ලෙස මහජනයාට පෙන්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නොයෙක් අතවර කරවූහ.

ඇතැම් අවස්ථාවක සල්ලාල පිරිස් ලවා උසුළු විසුළු කරවූහ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට නොයෙක් අතවරද කරවූහ.

ඒ අතරතුර බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි පැහැදුනු බලසම්පන්න මහා රජවරු සිටුවරු හා නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී මුවපුරා ප්‍රශංසා කළහ .

උන්වහන්සේ ගේ කීර්තිය ලොව පුරා පැතිර ගියේය. එහෙත් පහ කළ රාග ඇති උන්වහන්සේ නින්දා වේදීත් ප්‍රශංසාව දීත් කම්පාවට හෝ උද්දාමයට පත් නොවීය.

චංචල භාවයෙන් තොරව උපේක්ෂා සහගත වූහ. උන්වහන්සේගේ ධර්මය අනුගමනය කළ ශ්‍රාවකයෝ ද එයම පිළිපැද්දහ. උසස් වර්ණනා බලාපොරොත්තුවෙන් කිසිවිටෙකත් ප්‍රාතිහාර්ය පෑම වැනි දේ කිරීමට ඉදිරිපත් නොවූහ .තමන්ගේ නිහතමානී බව අන් අයට කියා දීමට නිරන්තරයෙන් උත්සාහ ගත්හ .

මිනිස් සිත පොලඹවමින් සිදු කරන මෙම අණුවන ක්‍රියාවන් නිසා මුලු මහත් සමාජයටම සිදුවන්නා වූ දූශිත ස්වභාවයන් හා අකටයුතු කම් පිලිබදව අප දැඩි සේ සතියෙන් පසු විය යුතුයි.

නොදැනුවත්ව සිදු කරන බොහෝ ක්‍රියා වන් හරහා අප ලඟා කර ගන්නා අසීමිත වූ අකුසල් වලින් තුරන් වූ ජීවිතයක් තුල වූ ආස්වාදය විඳීමට අප අනෙකා තුල ඇති යහපත මතුකර දැකීමට හුරු විය යුතුයි.

නිරන්තර දොස් පරොස් සඳහා විවර වූ සිත තුළ නින්දා අපහාසයන් ගෙන ඒමට ද සිත හරහා වැට කඩුලු නැතිව යයි.

සිත් තුල සංකා නොමැති,සිත් තුල වෛරය නොමැති,මනරම් සිතුවිලි වල සුවඳ වහනය වන අවංක පිවිතුරු සිත් වලින් මෙවැන්නක් අපේක්ශා කල නොහැකිය.

සුන්දර සිතැති,සුන්දර අවටක් අපේක්ශා කරන ,නිරන්තර මිනිස් හදේ වහනය වන සුවඳ දැනෙන හිත් ඇති උතුම් මිනිස් ගුන වපුරන සහෘදයෙක් ලෙස සමාජ ගුන දම් වඩමු.ඒ පිවුතුරු වූ මිනිසත් ගුණ පිරි හෙටක් උදෙසායි…

කළ කී දෑ තුල හා විදි නොවිඳි දේ තුළ ඇති සාර්ථක අසාර්ථක භාවයන් සිහිපත් කරන්නට යෙදෙන ජීවිතේ සැඳෑ සමය තුළ සුන්දර ආස්වාදයන් අත් විඳින්නට නම් ….එකිනෙකා තුළ වූ සෙනෙහස වර්ධනය කරගැනීම නින්දාව කින් අපහාසය කින් තොරව සිත සතුට ළඟා කර ගැනීමට හැකිවන ආකාරයේ සුන්දර සිතක් නිර්මාණය කර ගැනීමට , ගතවන කාලය යොදා ගන්නට සිත් පහන් කරමු .මේ නිර්මාණය ධර්මයට බාරදෙමු .දැහැමි ලෙස සිත් වඩන්නාට ජීවිතයේ සැදෑ සමය ආලෝකවත් කර ගැනීමට හැකි සිතක් පහළ වීම නිතැතින්ම නිර්මාණය වන්නක් …

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X