Temples of Sri Lanka

ජීවිත සඳ, අමාවක නොවන්නට….

උදා ගිරින් හිරු නැගී බැස යනවා. අමාවකක් නොවේ නම් සඳ හිනහෙනවා.කිසිදු ධර්මතාවය කින් වෙනස් නොවන්නාවූ මෙය ස්වභාවයේ ස්වභාවයන්ට ම යා වෙමින්. පැමිණියවුන් යමින් සිටිනවා .ආවොතින් යායුතුයි. නොගොසින් යළි එනු බැරිය.

මේ ලොව ඇත්තේ යාම් ඊම් පමණයි කියා එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියා තැබුවේ මේ සත්‍යයි . එය ද අන් කිසිවකින් වෙනස් කළ නොහැකි ධර්මතාවක්. ආ අප යා යුතුමයි .

මේ ජීවිත තුළ අප සියල්ලන්ටම බොහෝ සැලසුම් තිබෙනවා. සැලසුම් මත පිහිටා ජීවිතය ගත කරන්නට අප පුරුදු පුහුණු වුණේ ළමාවියේ සිටයි. ළමා වියේ අපට නින්දට යද්දී එළඹෙන දිනයේ මේ මේ ආකාරයෙන් කටයුතු කරන්න කියලා අදිටන් කර ගත්ත දේවල් හිඟයක් තිබුණේ නැහැ. ඇතැම්විට ඒ ඉදුණු පේර ගෙඩියක් කෑම වැනි දෙයක් වෙන්නත් පුළුවන්.

අද මෙනෙහි කොට බලනකොට ඉතා සුළු කරුණක් වුනත් ඒ කාලයේ එවැනි දේවල් තමයි අපට තිබූ විශාල ම දේවල්. වයසින් වැඩෙත්ම සැලසුම් සහගතව අධිෂ්ඨාන කරගන්න දේවල් යම් යම් වෙනස්කම් සිදු වුණත් අපේ ජීවිත තුළ සැලසුම් කර ගනිමින් ඉලක්ක තබා ගන්නා ස්වභාවය කිසිවිටෙකත් වෙනස් වුණේ නෑ. මරණය තෙක්ම එය එසේමයි. මේ මියයන සියල්ලන් වූවත් ජීවිතය ඉලක්ක ඇතිව ඒවා අත්පත් කර ගන්නට මහත් සේ වෙහෙස වූවන්. ඒවා එසේම තිබියදී ඔවුන් ජීවිතය හැර යන්නට සිදු වුණේ නැද්ද?

අපේ උරුම ඊට වඩා වෙනස් වෙයි. එදින අප සතුට ලුහුබඳිමින් ජීවත් වෙනවා. ජීවිතය සමහර දේවල් අපට හොඳට මතකයි.සමහර දේවල් කොහෙත්ම මතක නෑ .ජීවිතේ ගෙවුණ සමහර කාල ගැන අපි දන්නවා. අප ගෙවා දැමූ එහෙත් අපට මතකයක් නැති ඇතැම් කාලයක් ගැන දෙමාපිය වැඩිහිටියෝ සිහිපත් කරල දෙනවා. මේ ජීවිතවල සමහර කාල ගැන අප තබා ඒ කිසිම කෙනෙක් දන්නේ නෑ. ඔහොම දෙයක් තමයි අපි ලැබුවේ මේ ජීවිතේ. අම්මගෙ කුසේ කලලයක් විදිහට අපි ගියපු කාලයක් තිබුණා අතපය ඇස කන හොඳට තියෙන දරු සිඟිත්තෙක් තමයි අම්මට අම්මාට තාත්තාට උවමනා වුණේ. අම්මාට තාත්තාට උවමනා වුණේ ඒ කාලේ අප ඉන්නේ කොහෙද වෙන්නේ මොනවදවත් නොදැන තමාගේ කුස ඇතුළෙ දරුවා හොඳින් නිමවන්න. අපිත් හිටියා විතරයි අපට අපේක්ෂාව තිබුනෙ නෑ කටට රහට කන්න ඉන්න හිටින්න හොඳ ගෙයක් දොරක් හදාගන්න හොඳට ඉගෙන ගන්න හොඳ රස්සාවක් කරන්න ඔය කිසිම දෙයක් ඒ කාලෙ අපට වුවමනා වුණේ නෑ. අම්ම තාත්ත හීන දැක්කා ලොකු තැන්වලට පත් වන දැවැන්ත ප්‍රතිරූප.එය දකින්න පටන් ගත්තා ඒත් අපිට ඒ කාලේ වගකීමක් තිබුණෙ නැහැ.

මලමූත්‍ර ගොඩේ හඬ හඬ අපි හිටිය. යන්තමින් හිනා වෙන්නත් අපි පටන් ගත්තා. පැත්තට පෙරලුනා මුනින් පෙරලුණා. බඩ ගෑවා දත් ආවා වචනයෙන් වචනය බොළඳ වෙවී කියන්න පටන් ගත්තා. දන ගෑවා .ඉඳගත්තා. හිටගත්තා. අල්ලගෙන ඇවිදින්න පටන් ගත්තා. ටිකෙන් ටික ලොකු උනා.

ඕන්න දැන් අපට තෝරා බේරා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රිය ලෙස කෑම බීම පවා ටික ටික වෙන් වෙන්න වුණා .ඒ වගේම අකමැත්ත ප්‍රකාශ කරන්න පුරුදු උනා .අකුරු ඉගෙන ගත්තා.පෙර පාසල් ගියා. ඔන්න අපට ඇහෙන්න ගත්තා පන්තියේ පළමුවැනියා වෙන්න කියලා. අපි ඒ වෙනුවෙන් මහන්සි වුනා. ශිෂ්‍යත්ව පාස් වෙන්න ඕන කිව්වා. අපි ඒකටත් මහන්සි වුනා. හොඳ ඉස්කෝලෙකට යන්න හොඳම ප්‍රතිඵල ගන්න අපට ඉලක්ක ලැබුණා .

පාසලක උපකාරක පන්ති වල තරගකාරී ඉදිරියට යන්න අපව උනන්දු කෙරෙව්වා. සාමාන්‍ය පෙළින් ඉගෙනීම ඉවර වුනා. එතන ඉඳන් රස්සා කරන්නත් සමහර අයට සිද්ධ වුණා .පිරිසක් උසස් පෙලින් විශ්ව විද්‍යාලයට ගියා කොටසක් එතනින් නතර වෙලා රස්සා කරන්න පටන් ගත්තා . සමහරු ඒ කාලෙම විවාහ වුණා. සමහරු උපාධි අරගෙන විවාහ වුණා. සමහරු විවාහ වෙන්න අය හොයන්න ගොඩක් මහන්සි වුනා. තවත් සමහරු විවාහයට ආව බාධාවලින් ගොඩක් පීඩාවට පත්වුණා. ප්‍රේම සම්බන්ධතා වලිනුත් එකක් ඉවර වෙද්දි තව එකක් වශයෙනුත් පීඩා විඳි අයත් අප අතර හිටියා ඔය විවිඳි අයත් අප අතර හිටියා.

ඔය විදිහට වැඩි යද්දි දැන් වුවමනයි ගෙයක්, දොරක් වාහනයක්, ඉඩම් කඩම්, මුදල්වලින් කටයුතු අධිකයි. එනිසා ආර්ථික කටයුතු වල නියැලෙන්න සිද්ධ වෙනවා. ලස්සනම ගෙයක් හදන්න කොහොමහරි වාහනයක් ගන්න හොඳම වාහනයක් ගන්න ඉස්තරම්ම විදියට අඳින්න පළඳින්න නිතරම සුපිරි තැන්වලින් කන්න බොන්න. ඔය විදිහට තම තමන්ගේ ඉල්ලන තැන්වල අපේ හිත් නතර වුණා . එකක් අත්පත් කර ගන්නකොට තවත් ඉලක්ක අපේ ජීවිතවලට එකතු වුණා .

ඔය අතරේ දරුමල්ලො උපන්න. පොඩි එවුන්ගේ ඇතුලට එබිලා අපි මහා දැවැන්ත ප්‍රතිරූප හොයන්න පටන් ගත්තා. අපි ඒ අය තුළ දැවැන්තයො හෙව්වට එයල දන්නවනම් ඒ බව… හරියට ඒ කාලේ අපි වගේ …හැම වෙලේම අපි හිතෙන දේවල් ….

හොඳට කල්පනා කරලා බලන්න .ජීවිතයේ වැඩිම වාර ගණනක් අප කැමැති , ආශා කරන දේ, ඒවා හොය හොයා වෙහෙස වී තමයි අපේ ජීවිත කාලය ගෙවුනේ. යම් කාලයක් තිබුන හැම අතින්ම අපි ශක්තිමත් වුණා. ඒ කාලේ සිරිපාදේ ගිය කෙනෙක් නම් ඔබ…. ඔබට මතක ඇති, ඔබේ වගේම තවත් ගමන් මලු පවා ගෙනියන්න පුළුවන් බව .

ඔබ උපකාරයෙන් කිහිප දෙනෙකුගේ ගමන් පහසු වූ බවත්, ඔබට මතක ඇති. හැකියාවට මොකද උනේ .නැති වෙලා ගියා. ඉතිරි ටිකත් නැතිවෙලා යනවා. උඩ පැනලා පුටුවක වාඩි වෙන්න පුළුවන් යුගයක් ජීවිතේ තියෙනවා. ඒ ජීවිතේටම ආයෙමත් කාලයක් එනවා විනාඩියක් දෙකක් අරගෙන හිමින් අතගගා පුටුවක වාඩිවෙන්න සිද්ද වෙන.

පුටුවකින් නැගිටිද්දි කිසිම පැකිලීමක් නැතුව ඉක්මනින්ම නැගිට ගන්න පුළුවන් කාලයක් අපි කාටත් තියෙනවා. ඒ වගේම පුටුවෙන් නැගිට ගන්න තව කාගෙන් හෝ උපකාරයක් ඇදලා ගන්න සිදුවන කාලෙකුත් අපේ ජීවිතයට එනවා. කාලයක් තිබුණා යතුර තිබුණු තැන වතුර දැමූ නොදැමූ බව හොඳින් මතක ඇති. නමුත් කෙටි කාලෙකින්ම අප ඒ ගැන සැක සහිත වන්නට පටන් ගන්නවා.

හරියටම අවිශ්වාසයට පත්වෙනවා. මතක ශක්තිය ටික අපි අහිමි වෙලා යනවා. රසවිදීමේ හැකියාවක් ටිකෙන් ටික අපට අහිමි වෙනවා. හයි හක්තිය ටිකෙන් ටික අහිමි වෙනවා. ඇඟපත ටික ටික රැලි වෙනවා. කෙස් පැහෙනවා. හම රැලි වැටෙනවා . ආයෙ ආයෙමත් අහන්න සිද්ධ වෙනවා මේක එක්කෙනෙකුට දෙන්නෙකුට සිද්ධ වෙන දුර්ලභ දෙයක් නෙමෙයි. හැමෝටම පොදු කතාවක් පුද්ගලිකව මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන කතාවක්.

ජීවිතය නො නවත්වා සිද්ධ වෙන මේ නොවැළැක්විය හැකි වෙනස් වීම අපට පෙනෙන්නේ එකපාරටම. කෙස් පැහිලා කියලා අපි දැක්කේ අහම්බෙන් හැබැයි කෙස් පැහෙන්න ගත්තෙ කාලයක් තිස්සේ. ඇස් පෙනීම අඩු වෙලා කියලා අපට තේරුනේ හිටිහැටියේ හැබැයි ඇස් පෙනිම අඩු වුණේ හිටිහැටියේ නෙමෙයි. කයට වුන ඒ හැම වෙනසක් ම කාලයක් පුරා සිදු වෙමින් තිබූ දේවල්. හැබැයි අපි ඒ වෙනස් වීම හදුනා ගන්නේ ගොඩක් ප්‍රමාද වෙලා .

මේ කය තරම් අපි ආදරයෙන් රැකබලා ගන්නා දෙයක් තවත් නැති තරම් .වෙලාවට කවනවා පොවනවා පෝෂණය කරනවා බොහොම පරිස්සම් කරවනවා. එහෙව් කය සිද්ධ කරන මේ වෙනස්කම් අපට පෙනුණේ නැහැ නේද?

ඇයි එහෙම වුණේ… ඒ දේ හඳුනා නොගන්නා තරමට අපට මොකක්ද වුණේ කියන එක බුද්ධ කාලීන සිදුවීම මෙසේ දැක්වෙනවා…

කාලය ආශාවෙන් වැහුව කියන එකයි ඒ කියන්නේ… කාලය ආශාවෙන් වැහුවාම ඇත්ත පේන්නේ නෑ. ජීවිත යථාර්ථය දවසෙන් දවස දිරා යන දවසෙන් දවස අබල දුබල වන දෙයක් කියන එකයි. සිද්ධ වුණෙත් ඒ දෙයයි නමුත් එය නොපෙනුණේ අපේ ජීවිත කාලයේ ආශාවන්ගෙන් වැහිලා තිබුන නිසයි. අපට අපගේ ජීවිතය හා බැඳුණු අනෙකා අනෙක් දේවල් ගැනත් තිබුණ හීනවලින් ජීවිතයේ ඇත්ත වැහිලා ගියා .

දුකට පත් දුක හි පිහිටි ලෝකයේ පරීක්ෂණයට මාවත උන්වහන්සේ විවර කළා. ඒ සම්බුදු රජාණන් වහන්සේ .සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අපට කියා දෙන්නේ ජරා මරණ දුක් ඉක්මවන දුක් රහිත ශෝක රහිත කෙලෙස් දැවිලි රහිත අමා නිවන් සුවය සාක්ෂාත් කරන ප්‍රතිපදාව.

ආශාවන් නිසා අපට නොපෙනී ගිය ජීවිත යතාර්ථයට සංවේදී වෙමු. ඇස් පනාපිට පෙනෙන ඇත්ත පසෙකලා හීන පොදි බැඳීම මෝඩකමක්. හීන තුළ ජීවත් නොවී ජීවිතය දෙස බලන්න.ජීවිතේට කා සමගවත් බෙදාගත නොහැකි අසරණ කම අපට පෙනෙයි. ඒ කරන අසරණකමට අවබෝධයෙන් ම සංවේදී වුණ හොත් ලොව පෙළෙන ජරා මරණ දුක් ඉක්මවා යාම පිණිස මඟ විවර කළ ඒ සුගත තථාගත සම්බුදු පියාණන් වහන්සේ අපි හදවතින් ම සරණ යාවි.

ඒ සරණ පමනමයි ඔබවත් මාවත් මේ ජරා මරණ අභියස ඇති වන අසරණ කමින් මුදවා ලන්නේ. ආශාවන්ගෙන් නොනැවතී ජීවිත යථාර්ථයට සංවේදීව යථාවබෝධය උපදවාගෙන සසර දුකින් නිදහස් වූ මුනිවරුන් වැඩමකළ මාවතේ පිය සටහන් මතින් ගෙන යන්නට අපට ද වාසනාව ලැබේවා…

සහෝදරත්වයෙන් එක්වෙමු!
© Buddhist Brotherhood

You might also like
en English
X
X